×

ඇමරිකාවෙන් උතුරු කොරියාවේ ආරක්ෂක ඇමති ඇතුළු තිදෙනෙකුට සම්බාධක

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සමීපතමයෙකු ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකුට ඇමරිකාව විසින් නව සම්බාධක පනවා ඇත.


ඔවුන් වන්නේ කොරියාවේ කම්කරු පක්ෂයේ අධ්‍යක්ෂ චෝ රොන්ගේ හේ, උතුරු කොරියානු රාජ්‍ය ආරක්ෂක ඇමති ජොන් ක්යොන්ග් තායෙක් සහ කම්කරු පක්ෂයේ ප්‍රචාරණ ප්‍රධානී පාක් ක්වොන්ග් හෝ ය.

මෙම නව සම්බාධක පනවමින් ඇමරිකාව කියා තිබෙන්නේ මේවා, උතුරු කොරියාව විසින් සිය පුරවැසියෙකු වූ ඔටෝ වැම්බියර් හට සිදුකළ ‘බිහිසුණු සැලකීම‘පිළිබඳ සිහිපත් කිරීමක් බවයි. 2016 වසරේදී වැම්බියර් උතුරු කොරියාවේ ප්‍රචාරණ පෝස්ටරයක් සොරකම් කිරීමට ගිය අවස්ථාවේදී උතුරු කොරියානුවන්ගේ අත්අඩංගුවට පත් වූ අතර, එහිදී ඔහුට දරුණු ලෙස වධහිංසා පමුණුවා තිබිණි. සිහිසුන් තත්වයෙන් ඇමරිකාවට පැමිණ මද දිනකින් ඔහු මිය ගියේය.

වැම්බියර් - The Independent

වැම්බියර් – The Independent

උතුරු කොරියාවේ රාජ්‍ය අනුග්‍රහය ලබන අවරෝධී ක්‍රියාවන්, මානව හිමිකම් උල්ලංඝනයන් හා අපහරණයන් ඇතුළු සෙසු අපචාරයන් සඳහා සෘජුව දායක වන රාජ්‍ය නිලධාරීන්‘ වශයෙන් ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මේ තිදෙනා හඳුන්වා තිබේ.

පසුගිය නොවැම්බරයේ ආර්ජන්ටිනාවේ පැවති G20 සමුළුවේදී ජනපති ට්‍රම්ප් කියා තිබුණේ උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික බලයෙන් තොර රාජ්‍යයක් බවට පත්වන්නේ නම් කිම් ජොන් උන් පිළිබඳ මීට වඩා ලිහිල් ලෙස සලකා බලන බවයි. නමුත් මෙය සිදුවන තෙක් සම්බාධක ඒ අයුරින්ම පවත්වාගෙන යන බවට ඔහු දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් සමග එහිදී ගිවිස ගත්තේය.

කෙසේ නමුත් උතුරු කොරියාවේ ප්‍රධාන නිලධාරීන් තිදෙනෙකුට ඇමරිකානු සම්බාධක පැනවීමේ මෙම සිදුවීම වාර්තා වන්නේ, මාස කිහිපයක් ඇතුළත කිම් ජොන් උන් විසින් මූන් ජේ ඉන් ජනපතිව සියොල් අගනුවරදී මුණ ගැසීමට නියමිතව තිබියදී ය. එය එසේ වන්නේ නම්, උතුරු කොරියානු නායකයෙකු දකුණු කොරියාවට ගිය පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත වනු ඇත. එසේම උතුරු කොරියානු නායකයා ඇමරිකාවට ද සංචාරය කළ හැකි බවට මේ සම්බන්ධයෙන් සුබවාදී මතයක් පළ වී තිබිණි. කෙසේ නමුත් නව සිදුවීම සමගින් දකුණු කොරියාව සමග උතුරේ පවතින සම්බන්ධතා තවදුරටත් පළුදු වේ දැයි බියක් පවතියි.

උතුරු කොරියාව වෙත ඇමරිකාවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් පනවනු ලැබූ සම්බාධක පිළිබඳ නිවේදනය මෙතැනින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි