×

ඇමරිකාවේ අනාගත ජනාධිපති ආර්යාව ගුරුවරියකි. ඈ එය වෙනස් කරන්නට යන්නේ නැත!

ප්‍රජා විද්‍යාලයක උගන්වන්නට ගත් තීරණයෙන් ආචාර්‍ය ජිල් බයිඩන් සම්මතය කඩා බිඳ දමා ඇති අතර, එතෙක් කාලාවරෝධී වූ ජනාධිපති ආර්‍යා භූමිකාව නූතනකරණය කරන්නී ය.


තම වෘත්තිමය ජීවිතය 1970 දශකයේ දී ආරම්භ කළ ආචාර්‍ය බයිඩන්, ඉංග්‍රිසි ගුරුවරියක ලෙස යොවුන් මනෝ වෛද්‍ය රෝහලක, උසස් පාසල්වල සහ ප්‍රජා විද්‍යාලවල සේවය කර ඇත්තේ, ඒ අතර ම ශාස්ත්‍රපති උපාධි දෙකක් සහ අධ්‍යාපනය සම්බන්ධ ආචාර්‍ය උපාධියක් දිනා ගනිමිනි.

නමුත් එදා එලීනර් රූස්වෙල්ට් හට කවදා හෝ ජනාධිපති ආර්‍යාවක් වීමට වුවමනා වූයේ නැත. ඇය ගේ සැමියාට අනුව නම්, ඇය ඔහු 1932 වසරේ දී එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පත් වීම ගැන ‘සතුටු’ වූවා ය. එපමණකි.

මාස කිහිපයකින් ඇය ධවල මන්දිරයට ගිය පසු ඈට ඇගේ ගුරු වෘත්තිය අතැර දමන්නට සිදුවනු ඇති බව ඈ දැන සිටියා ය. “මම කරපු හැම දේකට ම වඩා මං උගන්වන්න කැමැතියි.” ඇය පුවත්පත් වාර්තාකරුවකුට කීවා ය. “ඒත් ඊට යන්න දිය යුතු යි,” ඇය එකතු කළා ය. මෙය ඇය ඉතා අපහසුවෙන් ගත් තීරණයක් විණ.

තියඩෝර් රුස්වෙල්ට් ජනපතිවරයාගේ ආර්යාව එලීනර් රුස්වෙල්ට්

ආසන්න වශයෙන් දශක නවයකට පසු, ජිල් බයිඩන්, ධවල මන්දිරයේ වසන්නට සැරැසෙන ගුරුවරියක, ඊට වඩා වෙනස් තීරණයක් ගන්නා බව අඟවා තිබේ.

“ජනාධිපති ආර්‍යාවක ගෙන් බලාපොරොත්තු වන දෙය සැමවිට ම අවම වශයෙන් එක් පරම්පරාවක් හෝ පිටුපසිනි.” -කැතරින් ජෙලිසන්, ඔහායෝ සරසවියේ ඉතිහාසය මහාචාර්‍ය

තම සැමියා උප ජනාධිපති ධූරයේ සේවය කළ විට ද ඇය ඉගැන්වීම අත්හළේ නැත; ජෝ බයිඩන් උප ජනාධිපති ධූරයේ දිවුරුම් දී දින කීපයකට පසුව ඇය පන්ති කාමරය වෙත ගියා ය. ඇය ඈ විසූ දෙලොව අතර ගමන් ගත්තේ විශ්ව විද්‍යාලයෙන් කෙළින් ම රාජ්‍ය රාත්‍රී භෝජනයකට යන්නට රැකියා ස්ථානයට ඇඳුම් පැළදුම් ගෙන යමින් සහ හැකි සෑම විට ම තම සිසුන් ගේ පිළිතුරු පත්‍ර ලකුණු කරමිනි. සිසුන් ඇය උප ජනාධිපති සමග විවාහව සිටින්නේ දැයි ඇසූ විට, ඇය සරලව තමා ඔහු ගේ ඥාතියකු යැයි පිළිතුරු දුන්නා ය.

එළඹෙන ජනවාරියේ ඇයගේ සැමියා ගේ තනතුර වෙනස් වන විට ඇගේ තනතුරු නො වෙනස් ව පවතිනු ඇත: එතෙක් ඇමරිකානු ඉතිහාසයේ අනෙකුත් ජනාධිපති ආර්‍යාවන්ට වෙනස් ව යමින්, ඇය ඇගේ පූර්ණකාලීන රැකියාවේ නිරතවනු ඇති බව ජිල් බයිඩන් කියා තිබේ.

“මං දිගටම උගන්වනවා,” CBS Sunday Morning සමග අගෝස්තුවේ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ඇය කියා සිටියා ය. “ඒක වැදගත් – පුද්ගලයන් ගුරුවරුන් ගේ වටිනාකම වටහාගැනීමට මට උවමනා යි.”

ආචාර්‍ය බයිඩන් මේ පෙන්වන ජනාධිපති ආර්‍යාවක ගෙන් අපේක්ෂිත වගකීම්වලින් එහා යන වෘත්තිමය බලාපොරොත්තු සහිත බව ඇමරිකානු ජනාධිපති පවුල් කෙතරම් එරට සාමාන්‍ය පවුල් නියෝජනය නො කරනවා ද යන්න පිළිබඳ කතිකාවතක් වෙත අප ගෙන යයි.

පැරණි පන්නයේ ‘මව සහ ගෘහණිය‘ භූමිකාව

අඩු ම වශයෙන් 1950 සිට පටන් ජනාධිපති පවුල් – ධවල මන්දිරයේ සිටින කාලවකවානුව තුළ දී හෝ – පැරැණි තාලයේ විවාහව දරුවන් සිටින විෂමලිංගික යුවල ගේ උදාහරණය අනුගමනය කර තිබේ; සැමියා පොදු භූමිකාවක් රඟදක්වයි, නිවෙසට ආදායමක් රැගෙන එයි, නිවසේ සිටින, ආහාර පානවල සිට නත්තල් සැරැසිලි දක්වා පාලනය කරන මවගේ භූමිකාව බිරිඳ රඟදක්වයි.
1950 සහ 1960 දශකය වන විට මේ මොඩලය ඒ කාලවකවානුවේ ඇමරිකානු පවුල් සැලැසුම් බහුතරයේ ප්‍රතිබිම්බයක් විය; එය විවාහය, පන්තිය, සහ සම්ප්‍රදායික ස්ත්‍රී, පුරුෂ සමාජභාවීය භූමිකා පිළිබද එරට පොදු ආකල්පය කියා පෑවේ ය.

එහෙත් 1970 සහ 1980 දශකවලදී කාන්තා ව්‍යාපාර සහ අඩු වෙමින් පැවැති වැටුප් එක් ආදායමකින් පමණක් නඩත්තු කළ හැකි පවුල් ප්‍රායෝගික නොවන යමක් බවට පත් කළේ ය.
“බොහෝ කාන්තාවන් ශ්‍රම බලකායට එක් වූවා. ඇතැමෙක් ඊට එක්වූයේ තමාට නිවසේ සිරගත වූ ස්වභාවයක් දැනුණ නිසා, ඇතැමෙක් එසේ කිරීමට ඔවුනට සිදුවූ නිසා” යැයි එවර්ග්‍රීන් රාජ්‍ය විද්‍යාලයේ සමාජ ඉතිහාසඥ ස්ටෙෆනි කූන්ට්ස් පවසයි.

එහෙත් මෙය ජනාධිපති ආර්‍යාවන්ට බලපෑවේ නැත. තමා වෙනුවෙන් වෘත්තියක්, අනන්‍යතාවක් තෝරාගෙන සිටි අයවලුන්ට පවා තම සැමියා ජනාධිපති ධූරයට පත් වූ පසූ සම්ප්‍රදායික ජනාධිපති ආර්‍යාවගේ භූමිකාවට අනුගත වන්නට සිදුවිය.

“ජනාධිපති ආර්‍යාව යන තත්ත්වය සමාජ තත්ත්වයක්. සරලව ම ගත් කළ එය සමාජය තුළ ජනාධිපතිවරයා ගේ ආර්‍යාව වීම පිළිබදව යි,” ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපති ආර්‍යාවන්ගේ එකතූන් පිළිබද ජාතික කෞතුකාගාරයේ ලීසා කැත්ලීන් ග්‍රැඩී කියයි. මේ භූමිකාව දහනව වැනි සියවසේ අමුත්තන් තුටු කරන්නට අයකු ධවල මන්දිරයට අවශ්‍ය වීමෙන් ඇරැඹිණ. එවකට මෙය ජනාධිපති ආර්‍යාවගේ ම වගකීම වූයේ නැත. එය, ජනාධිපති දූවරු, නෑනාවරු අතින් ද සිදුකෙරිණ.

“සතුටු නිවෙස් පාලිකාව” නොහොත් ‘මැමී මොඩලය‘

මෙය වෙනසකට බදුන් වූයේ 1950 දශකයේ මාධ්‍ය විසින් “සතුටු නිවෙස් පාලිකාව” ලෙස(happy home manager) උත්කර්ෂයට නැංවූ මැමී අයිසන්හවර් විසින් විශාල කණ්ඩායමවලට ආගන්තුක සත්කාර කිරීමත් සමග ය. මෙය බෙටී බොයිඩ් කැරොලි තම “First Ladies: The Ever-Changing Role, From Martha Washington to Melania Trump” කෘතියේ ලියා තැබුවා ය.

ඇය “අල්ලපු ගෙදර ගැහැණිය මෙන් හුරුපුරුදු, සම්ප්‍රදායික” බවකින් යුතුව හඳුන්වනු ලැබූ බව ද, රෝස පැහැ බෙඩ් ජැකට්ටුවක් හැද රෝස පැහැ පීත්ත පටියකින් කොණ්ඩය ගැටගසා ගෙන තම ඇඳේ බොහෝ වේලා ගත කළ බව ද කැරොලි ලියයි. ඇගේ නම සදාකාලිකව ම කොණ්ඩා මෝස්තරයක් සහ චොකලට් ෆජ් වර්ගයේ ආහාරයක කෑම වට්ටෝරුවක් සමග ඈඳී තිබේ.

එවකට, බිරිඳ “දෙවැනි පෙළ සහ සහයෝගය දක්වන” භූමිකාවකට සීමා වූ අතර, ජනාධිපති ආර්‍යා අයිසන්හවර් එම භූමිකාවේ මනා නියෝජනයක් බව ද කැරොලි කියා සිටියි.

ඒ වන විට සිටි ළමුන් ගෙන් 18%ක් පමණක් මව්පියන් දෙදෙනා ම රැකියාවන් කළ පවුල්වලට අයත් බව “American Families: A Multicultural Reader” කෘතිය ද රචනා කළ කූන්ට්ස් කියා සිටියි.

සමීක්ෂණයකට අනුව අඩකටත් වඩා ඇමරිකානුවෝ සැමියාට මූල්‍යමය වශයෙන් පවුලට සහය දිය හැකි නම් බිරිද ද රැකියාව කිරීම අනුමත නොකළ බව ද කියැවේ.

එහෙත් 1960 දශකයේ දී ස්ත්‍රීවාදී කාන්තා ව්‍යාපාරයේ නැගීමත් සමග මැමී මොඩලය කල්ඉකුත්වූ වගක් පෙනෙන්නට ගත් අතර පසු කාලීන ජනාධිපති ආර්‍යාවෝ සෙමින් තම සීමා බිඳහෙලුවෝ ය.

ජැකලීන් කෙනඩිගේ ‘ගෘහාශ්‍රිත ව්‍යාපෘති‘

ජැකලීන් කෙනඩි සහ රොබට් කෙනඩි නිව්යෝක් නුවරදී 1962.

විලාසිතා සම්බන්ධයෙන් නමක් දිනා සිටි ජැකලීන් කෙනඩි ධවල මන්දිරය ඇමරිකානු කලාව සහ ඉතිහාසය පෙන්වන පරිදි නැවත අලංකරණය කළා ය. පුරාවස්තු සහ කලාකෘති එක්‍ රැස් කළ ඇය ඒවා එරට ජාතික රූපවාහිනියේ පෙන්වූවා ය. විධිමත් ව්‍යාපෘතියක් කළ ප්‍රථම ඇමරිකානු ජනාධිපති ආර්‍යාව ඇය වන අතර, එසේ වුවත් එය ගෘහාශ්‍රිත කටයුත්තක් විය.

කෙනඩිවරුන් සම්බන්ධ 1962 නිව්යෝක් ටයිම්ස් පුවත්පත් ලිපියක මෙසේ සදහන් විය. “දැන් කාන්තාවකට බුද්ධිමත් වීම සහ සංස්කෘතික වීම ඉතා හොඳයි, ඇය ඇගේ බුද්ධිය කාන්තා ආකාරයකට භාවිත කරන තෙක්.”

ක්ලෝඩියා ඇල්ටා “ලේඩි බර්ඩ්” ජොන්සන් මේ ව්‍යාපෘතිය තුළ තවත් අඩියක් ඉදිරියට තැබුවේ ඇගේ ඇමරිකානු නගර අලංකරණ සහ පරිසරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සමගිනි. මෙය ඇය තිරසාර පොදු සහ දේශපාලනික කටයුත්තක් කළ පළමු වැනි ජනාධිපති ආර්‍යාව බවට පත් කළේය.

1970 දශකයේ සිට, ගැහැණුන් කෙමෙන් නිදහස් ජීවිත ලබා ගත්හ; ඔවුහු ඉහළ ප්‍රතිශතවලින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගෙන, විවාහය සහ දරුවන් වැදීම පසුපසට කළහ. තම නිවසෙන් පිටත රැකියාව කරන කාන්තාවන් පිළිබද අදහස ඇමරිකානුවෝ වැළඳ ගත් අතර, වසර ආරම්භයේ කාන්තාවන් පඩිපත් සහිත රැකියා පිරිමින්ට වඩා කරන සහ 77%ක් මව්වරු රැකියා කරන හෝ රැකියා සොයන තත්ත්වයට 2019 දි ඇමරිකාව පත්ව තිබේ.

තත්ත්වය එසේ වුවත් මෙම සැපපහසුකම් ධවල මන්දිරය වෙත පැමිණි වගක් පෙනෙන්නට නැත; මුතු සහ අඩි උසැති පාවහන් ලාගෙන තම සැමියාට සහයෝගය දක්වන කාලාවරෝධී බලාපොරොත්තුව තවදුරටත් නූතන ජනාධිපති ආර්‍යාවන් මතට පැවැරී තිබේ.

වමේ සිට – නැන්සි රේගන්, ක්ලෝඩියා ඇල්ටා ‘ලේඩි බර්ඩ්‘ ජොන්සන්, හිලරි ක්ලින්ටන්, රොසැලීන් කාටර්, බෙටී ෆෝර්ඩ් සහ බාබරා බුෂ් ඇමරිකාවේ 1994 වසරේ පැවති ජනපති ආර්යාවන්ගේ පළමු උපහාර උත්සවය සඳහා සහභාගි වීමට සූදානමින්.

ජනාධිපති ආර්‍යාවක ගෙන් බලාපොරොත්තු වන දෙය සැමවිට ම අවම වශයෙන් එක් පරම්පරාවක් හෝ පිටුපසින් වන්න බව ජනාධිපති ආර්‍යාවන් පිළිබද පර්‍යේෂණ පවත්වා ඇති ඔහායෝ සරසවියේ ඉතිහාසය පිළිබද මහාචාර්‍ය කැතරින් ජෙලිසන් කියා සිටියි. “ප්‍රසිද්ධියේ කලිසමක් ඇඳ ප්‍රථම ජනාධිපති ආර්‍යාව 1970 දශකයේ දී, පැට් නික්සන් ය. මේ භූමිකාව රඟ දැක්වූ කාන්තාවන් ගෙන් බලාපොරොත්තු වන දෙය කෙතරම් ආපස්සට ගොස් ඇති ද යන්න පිළිබද එය එක් උදාහරණයක් පමණයි.”

ගුරු වෘත්තිය අතහැර දැමූ පසු රූස්වෙල්ට් මහත්මිය සඟරාවකට ලියූ අතර, එහි ආදායම් රතු කුරුසය වැනි ආයතනවලට පරිත්‍යාග කළේ විචාර මගහරවා ගන්නට ය.

හිලරි ක්ලින්ටන් ද අවසානයේදී කුකීස් හැදුවාය !

වසර විසිහයක් නීතීඥ වෘත්තියේ කටයුතු කර, පසුකාලිනව සමාගම් නීතීඥයකු ව ඉලක්කම් හයක වේතනයක් ලැබූ හිලරි රෝඩම් ක්ලින්ටන්ට ද තම සැමියා ගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට සහය දෙන්නට තම ප්‍රතිරූපය මෘදු කරගන්නට සිදු වූ බව කැරොලි පවසයි. ජනාධිපතිවරණයට පෙර ඈට බාර්බරා බුෂ් සමග කුකී වර්ගයේ විස්කෝතු සෑදිමේ අවස්ථාවකට සහභාගි වන්නට සිදු වූ අතර, ජනාධිපති ආර්‍යාව ලෙස ඇගේ ප්‍රථම සම්මුඛ සාකච්ඡාවේ දී ධවල මන්දිරයේ ආහාර වට්ටෝරුව පිළිබඳ අදහස් දක්වන්නට සිදු විණ.

මුල් අවධියේ දී ක්ලින්ටන් මහත්මිය තම සැමියා සමග සෞඛ්‍ය සේවා නව්‍යකරණ කාර්‍යය බලකායක මුල් පුටුව හොබවමින් වැදගත් ප්‍රතිපත්ති වෙනසකට මුල පිරූ නමුදු එය – ප්‍රධාන වශයෙන් ම මාධ්‍ය අතර සහ සහයකයන් අතර – අසාර්ථක වීම නිසා ඇයට වඩාත් ආරක්ෂිත සම්ප්‍රදායික ජනාධිපති ආර්‍යාවකගේ භූමිකාවට පසු බසින්නට සිදු විය. ක්ලින්ටන් මහත්මිය දරුවන් උස්මහත් කිරීම සහ ආහාර වට්ටෝරු පිළිබද පොත් රචනා කළ අතර තම සැමියා ගේ මතවාදයට තුඩු දුන් දෙවැනි වාරයේ දී ඔහු සමග සිටිමින් ලොව පුරා කාන්තා අයිතිවාසිකම් ගැන හඩක් නැගුවා ය.
හිලරි ක්ලින්ටන් ගේ පසුකාලීනයන් ඇගේ කතාව තම ආරක්ෂාව තහවුරු කරගත යුතු වීම සම්බන්ධයෙන් වන කතාවක් ලෙස පිළිගත්තත් නො ගත්තත්, ලෝරා බුෂ් සහ මිෂෙල් ඔබාමා කතා බහට ලක්වන සුලු, දේශපාලනික ව්‍යාපෘතිවලින් ඉවත්ව සිටියහ.

මිෂෙල්ගේ මධ්‍යස්ථ ව්‍යාපෘති

හාවර්ඩ්හි උගත් නීතීඥවරියක වන මිෂෙල් ඔබාමා තම සැමියා ගේ ඡන්ද ව්‍යාපාරය උත්සන්න වනවාත් සමග ම එරට ප්‍රථම කළු ජාතික ජනාධිපති ආර්‍යාව ලෙස අත්විඳිය හැකි වාර්ගිකත්වය පදනම් කරගත් නිරීක්ෂණයන්ට ලක් වූවා ය. ඇය “කෝපාන්විත”, “රළු” සහ “අධිපතිවාදී” යැයි හැඳින්විණ. චිකාගෝ සරසවියේ රෝහල්වල ඉහළ නිලයක් දැරීමෙන් ඇය ලද ඉලක්කම් හයේ වේතනය සැකසහිත යැයි කියනු ලැබිණ.

“සම්ප්‍රදායික නොවන දේ කළ විට එය ඇය වෙත ඍණාත්මක ලෙස ආපසු ආවා, ඇතැම් විට එය වර්ගවාදී ස්වරූපයක් ගත්තා,” ජෙලිසන් කියයි. “ඒ නිසා ඇයට පරිස්සමින් කටයුතු කරන්න සිදුවුණා.”

ඇය ධවල මන්දිරයට පැමිණි පසු දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ වූ මිලිටරි පවුල් සහ ළමාවිය ස්ථුලභාවය වැනි ගැටලු පිළිබඳ කටයුතු කළා ය. ඇය ධවල මන්දිරයෙන් නික්මුණ පසු මෑත ඉතිහාසයේ ඉතා ජනප්‍රිය දේශපාලන චරිතයක් බවට පත්ව සිටියේ මඩගැසීම් අතරතුර නැගී සිටි චරිතයක් ලෙස කීර්තියක් ද අත්පත් කර ගනිමිනි.

ඉතා අවම මට්ටමෙන් මහජනයා ඉදිරියේ පෙනි සිටි මලානියා ට්‍රම්ප් එසේ කළේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ දියණිය වන ඉවැන්කා ජනාධිපති ආර්‍යාව ගේ භූමිකාව රග දක්වනු ඇතැයි යන බලාපොරොත්තුව නිසා යැයි ද කියැවිණ. මෙය මැමී මොඩලය ද ඉක්මවා යන සම්‍ප්‍රදායික මොඩලයක් වනු ඇතැයි විශේෂඥයෝ මත පළ කළහ.

මේ වන විට, තම මහාචාර්‍ය ධුරයේ කටයුතු කරන්නට තීරණය කර ඇති ආචාර්‍ය බයිඩන් ධවල මන්දිරය සහ වෘත්තියවල නියැලෙන ඇමරිකානු කාන්තාවන් අතර ඇති වෙනස අවම කරනු ඇතැයි බලාපොරොත්තු වනු ලැබේ.

“බයිඩන්වරු වැඩ කරන පන්තිය වෙත පිවිසෙනවා යැයි කියන්නට එය තවත් විදියක්” ජෙලිසන් කියයි.

මුල් ලිපිය

Newyork Times: Jill Biden Is a Teacher. And She’s Not About to Change That.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි