×

ඇමරිකාවේ දැන් මිය යන්නේ වැක්සින් නොගත් අය පමණයි- ඒකට ලංකාව..!

චීනයේ නිෂ්පාදිත කෝවිඩ් එන්නත්වල සාඵල්‍යතාවය ගැන තවමත් පවතින්නේ ආන්දෝලනයකි.


එන්නත් මාත්‍රා දෙකම ගත් අය පවා මරණයට පත් වන බවට තොරතුරු තිබේ. ඒවා නිල නොලත් තොරතුරු ය. දන්නා කියන අය මිය යන විට සමීපතමයන් හරහා සමාජයට සම්ප්‍රේෂණය වන තොරතුරු ය.

මේ අතර, ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරන ආකාරයට ඇමරිකාව ලෝකයට නිහඬ පාඩමක් කියා දෙමින් තිබේ.

එනම්, ලෝකයේ තත්වයෙන් ඉහළ හොඳම එන්නත් භාවිතා කරන ඇමරිකාවේ, මේ වන විට මිය යමින් සිටින්නේ බොහෝ වශයෙන්ම, එන්නත් නොගත් අය පමණක් බවයි.

‘‘Nearly all COVID deaths in US are now among unvaccinated‘‘ යනුවෙන් ඇසෝෂියේඩට් ප්‍රෙස් පුවත් සේවය මෙම පුවත වාර්තා කරයි.

ඒ අනුව ඔවුන් වැක්සින්කරණය 100%ක් දක්වා සාර්ථක කර ගැනීමට වෙහෙසෙති.

ලංකාව මෙන්ම දියුණු වෙමින් පවතින බොහෝ රටවලට ප්‍රධාන වශයෙන්ම රඳා පැවතීමට සිදුව තිබෙන්නේ චීන එන්නත් මත ය. ඉන්දියාවෙන් ඩෙල්ටා රැල්ල හට නොගත්තේ නම් මේ තත්වය වෙනස් විය හැකිව තිබුණේ ඔවුන් ගේ ඉන්දියානු එන්නත අපනයනය කිරීම නතර කිරීමට තීරණය කළ නිසා ය. ඉන්දුනීසියාව සහ තායිලන්තය වැනි චීන එන්නත් ගත් බොහෝ රටවල් මේ වන විට වෙනත් එන්නතක බූස්ටරයක් වෙත යමින් සිටිති.

කියවන්න –
ඩෙල්ටා වේරියන්ට් හමුවේ චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?

සිනොවැක් දුන් ඉන්දුනීසියාවේ ගෙන් ගෙට මළ මිනී එකතු කෙරේ

මේ සියල්ල මැද තවමත් චීන එන්නත් ලබාගන්නා රටක් වන ලංකාව, අරුම පුදුම පර්යේෂණක් ළඟදී සිදුකළේය. එය සිදුකළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගිනි. එහි ප්‍රතිඵලයෙන් කියැවුණේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම් (සිනොෆාම්) ඇතුළු චීන එන්නත් 95%ක් සාර්ථක බව ය. එය ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක ලෙස ඔරොත්තු දෙන බවත් කියැවුණේය. මෙයට අති දැවැන්ත ප්‍රචාරයක් ද ලබාදුන් අතර, එහි ප්‍රචාරක හොරණෑව ලෙස කටයුතු කළේ ආචාර්ය චන්දිම ජීවන්දර ය.

නමුත් මේ පර්යේෂණ වාර්තාවේ පිටු තිබෙන්නේ 26 කි. යොදාගෙන තිබෙන පර්යේෂණ නියැදිය 300 දෙනෙකි!

ජපුර සරසවියේ සම්පූර්ණ පර්යේෂණ වාර්තාව මෙතැනින් කියවන්නAntibody and T cell responses to Sinopharm/BBIBP-CorV in naïve and previously infected individuals in Sri Lanka

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව වැක්සිනයක කාර්යක්ෂමතාවය මැනීම කොතරම් සංකීර්ණ ක්‍රියාවලියක් ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. තවද මෙම ජපුර සරසවියේ අමුතු පර්යේෂණය ලෝකයේ කිසිදු පිළිගත් අන්තර්ජාතික ජර්නලයක ද පළ කර නැත.

බාගවිට සයිනොෆාර්ම් මේ තරම් සාර්ථක යැයි චීනය පවා නොදන්නවා විය හැකිය. උවමනා නම් අපට චීනුන්ගෙන් අඩු මිලකට සයිනොෆාර්ම් ලබාගෙන ඒවා ඇමරිකාව වැනි රටවලට විකිණීමටත් පුළුවන!

අද වන විට දිනකට 150 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයෝ කෝවිඩ් වසංගතයෙන් මිය යමින් සිටිති. ඔවුන් අතරින් කී දෙනෙක් වැක්සින් මාත්‍රා එකක් හෝ දෙකක් ලබාගෙන ඇති අය දැයි සොයාගැනීමට රජයට දත්ත නැත. ලංකාවේ කෝවිඩ් දත්ත හා තොරතුරුවල නිරවද්‍යතාවය ගැන මේ වන විට බරපතළ අර්බුදයක් මතු වෙමින් පවතියි.

මේ සියල්ලේම ප්‍රතිඵලය කුමක් විය හැකිද? මේ අවලස්සන වැක්සින් දේශපාලනයේ අවසානය කොතැනද? ඉදිරි සති කිහිපය තීරණාත්මක වන්නේ පොදු ජනතාවට ය. දේශපාලකයන්ට නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි