×

ඇමරිකාවේ නගර 50 ක එකම වෙලාවේ Gota Go Home උද්ඝෝෂණ​ …

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට බල කිරීමේ උද්ඝෝෂණ මාලාවක් ඇමරිකා එක්සත් ජනපදයෙහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් විසින් 2022 මැයි 1 වනදා පැවැත්වීමට නියමිත ය​.


සංවිධායකයන්ගේ අරමුණ වන්නේ එකම වෙලාවක ඇමරිකා එක්සත් ජනපදය පුරා ස්ථාන ගණනාවකදී මෙම උද්ඝෝෂණ පැවැත්වීම ය​. මේ අනුව මැයි 1 වනදා ඇමරිකාවේ නැගෙනහිර වෙලාවෙන් (Eastern Time) සවස 2 ට මෙම උද්ඝෝෂණ ආරම්භ වීමට නියමිත ය​.

නිව් යෝර්ක් නගරයේ ටයිම් චතුරශ්‍රය​, වොෂිංටන් ඩී.සී., කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගර​, ඇට්ලන්ටා නගරයේ CNN මූලස්ථානය අසළ යනාදී ස්ථාන පනහක පමණ එකම වෙලාවේ මෙම උද්ඝෝෂණ ආරම්භ කෙරෙනු ඇති බව සංවිධායකයෝ අප හා පැවසූහ​.

මීට පෙර ද ඇමරිකාවේ විවිධ ස්ථානවල රාජපක්ෂ ජනාධිපතිවරයාට​ ඉල්ලා අස්වන ලෙස බලපෑම් කෙරෙන උද්ඝෝෂණ පැවැත්වුණි. කෙසේ වෙතත් එම විරෝධතා තනි තනිව සංවිධානය වූ ඒවා විය​.

මැයි 1 වනදා උද්ඝෝෂණ මාලාවේ අරමුණ එක්සත් ජනපදය පුරා ඒකාබද්ධ විරෝධතාවයක් සංවිධානය කිරීමයි.

ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන අතරම​, ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව එරට මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙම ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කර තිබේ.

මේ අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇමරිකාවේ මිලදී ගෙන ඇති බව කියන​ දේපල පිළිබඳ පරික්ෂා කරන ලෙස ඉල්ලීම් කෙරෙන සන්දේශයන් එරට ප්‍රාන්ත සෙනට් සභිකයන්ට​, ප්‍රාන්ත කොන්ග්‍රස් සභිකයන්ට මෙන්ම ප්‍රාන්ත රාජ්‍ය ලේකම්වරුන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් ද සංවිධානය කර තිබේ.

මෙහිදී එම මහජන නියෝජිතයන් හමුවීමට ගොස්, පුද්ගලිකව කරුණු දක්වා එම සන්දේශ බාරදීමට අපේක්ෂිත ය​.

ඇමරිකාවේ වාසය කරන වෘත්තිකයන්, ශිෂ්‍යයන් ආදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ජාති, ආගම් සහ දේශපාලන පක්ෂ භේද නොමැතිව මෙම උද්ඝෝෂණයට සහභාගී වීමට නියමිත ය​.

මෙහි දිස්වන උද්ඝෝෂණවල ඡායාරූප කලින් පැවති උද්ඝෝෂණ කිහිපයක අවස්ථා ය.

(LNW)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි