×

ඇමරිකාවේ සැබෑ මාරයා කෝවිඩ් නොවේ – මිනිස් බෝම්බයක් බවට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

නාට්‍යානුසාරී ගතියකින් යුතුව ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණ සිටියි. ඒ, දින 3 ක් රෝහල්ගත වී සිටීමෙන් පසුව සහ, එක් වරක් කැම්පේන් කිරීම සඳහා ජීවිත ගණනාවක් අවදානමේ හෙළමින් රෝහලෙන් පිටව යාමෙන් පසුව ය.


ධවල මන්දිරයට පැමිණි වහා හමුදා වර්ගයේ විජයග්‍රාහී හස්ත ලකුණකින් සිය ආධාරකරුවන්ට අත වැනූ ට්‍රම්ප් එතැනින් ටෘෘමන් බැල්කනියට ගියේය.

එහි ගිය පසු ඔහු කළේ කුමක්ද? සීරියස් නාට්‍යයක ප්‍රධාන නළුවා මෙන්, බැල්කනිය මැද්දට ගොස් මුහුණු වැසුම ගළවා දැමීමයි.

එය ගළවා දැමුවා පමණක් නොව එය දෙකට නමා අතේ ගුලි කර ගනිමින් ඔහු මෙසේ කීවේය.

‘‘දැන් මට හොඳයි. ඒ වගේම මට දැන් ප්‍රතිශක්තියත් තියෙනවා..‘‘

“Now I’m better, and maybe I’m immune”

ට්‍රම්ප් තවමත් රෝග වාහකයෙක්

මෙහිදී ට්‍රම්ප්ට හතර ශ්‍රේණියේ ඇමරිකානු දරුවන් පවා දන්නා ප්‍රධාන කාරණයක් අමතක වෙයි. ඒ, තමන් තවමත් ආසාදිතයෙකු සහ රෝග වාහකයෙකු බව ය. සිය දහස් ගණනකට රෝගය බෝ කළ හැකි මිනිස් බෝම්බයක් බව ය.

මේ මරි මෝඩ වැඩය කළේ ජනාධිපතිවරයා නොව සාමාන්‍ය පුරවැසියෙකු වී නම්, ඇමරිකානුවන් ඔහුට ගල් ගසනු නිසැක ය.

නිරෝධායනයේ පසුවිය යුතු, සෙනග ගැවසෙන තැන්වලට යා නොයුතු සහ තවමත් වෛරස් වාහකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන දැන් රිපබ්ලිකන් පාක්ෂිකයන්ට පවා ලොකු ප්‍රශ්නයක් තිබේ.

ඇමරිකානුවන්ගේ සැබෑ මාරයා කෝවිඩ් ද ? එසේ නැතිනම් ඩොනල්ඩ් ට්‍රම්ප් ද?

හෙම්බිරිස්සාව සමග පටලවා ගනියි

ඊයේ දිනයේ ඔහු නැවත ට්විටර් යුද්ධය ද ආරම්භ කළේය. එහිදී කැම්පේන් ක්ලිප්ස් කිහිපයක් පෝස්ට් කළ ඔහු කළේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව (ෆ්ලූ) සහ කෝවිඩ්-19 සැසඳීමයි.

“Flu season is coming up!” ඔහු ලියුවේය.

“Are we going to close down our Country? No, we have learned to live with it, just like we are learning to live with Covid.”

‘‘අපි රට වහනවද? නෑ. අපි ඒකත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගෙන තියෙනවා. හරියට අපි කෝවිඩ් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගත්ත වගේ..‘‘

ඇමරිකාව කෝවිඩ් සමග ජීවත් වන හැටි

ට්‍රම්ප් කියන විදිහට ඇමරිකාව කෝවිඩ් සමග ජීවත් වීමට ‘ඉගෙන ගෙන‘ තිබේ. එයට අදාළ දත්ත සංඛ්‍යා ලේඛන පහත පරිදි ය.

– ඇමරිකාව තවදුරටත් කෝවිඩ්-19 වසංගතයෙන් බැටකන ලෝකයේ අංක 1 රට බවට පත්ව තිබේ.

– මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි. එනම් 210,000 කි.

– ඇමරිකාවේ කෝවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 7.4 කි.

මෙයට සාපේක්ෂව ශීත සෘතුවත් සමග හිස එසවූ ෆ්ලූ රෝගය නිසා 2019 ඔක්තෝබර් 1 සිට 2020 අප්‍රේල් 4 දක්වා කාලය තුළ ඇමරිකාවට සිදුවූ හානිය පහත පරිදි ය.

ෆ්ලූ වසංගතය නිසා සිදුවූ හානිය

මරණ ගණන – 24,000 – 62,000 අතර

දැන් මෙතැනදී ට්‍රම්ප්ට ලක්ෂ 2 පෙනී ගොස් තිබෙන්නේ පණස් දහසක් වැනි සංඛ්‍යාවක් සමග ය.

මේ අතර ට්‍රම්ප්ගේ ඇතුළු කවය තුළ තවදුරටත් කොවිඩ්-19 වසංගතය සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බව ද නවතම වාර්තාවල දැක්වෙයි.

මේ අතර ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් කියා තිබෙන්නේ ට්‍රම්ප් කොවිඩ්-19 අවදානමෙන් මිදෙන තෙක් මීළඟ විවාදයට සහභාගි නොවන බවයි.

වරක් කෝවිඩ්-19 වසංගතය වැළඳී සුව වූ අයෙකුට පවා නැවත කෝවිඩ්-19 වැළඳිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පවසයි. ට්‍රම්ප්ගේ පුද්ගලික වෛද්‍ය කණ්ඩායම පවා ට්‍රම්ප් සුවය ලබා ඇතැයි තවම නිල වශයෙන් සනාථ කර නැත.

ඇමරිකාවේ මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශන (US public health guidelines)වලට අනුව පළමු වරට රෝග ලක්ෂණ මතු වූ අයෙක් එතැන් සිට දින 10 ක් හුදෙකලාව ස්වයං නිරෝධායනයට ලක් විය යුතුය. එ් අනුව ට්‍රම්ප් හරිනම් සිටිය යුතු වූයේ බැල්කනියේ නොව කාමරයක් තුළ ය.

ට්‍රම්ප්ට මේ සියල්ලටම වඩා, තමන්ගේ හෝ ඇමරිකාවේ ජීවිතවලට වඩා වටින්නේ දෙවන වරටත් බලය ලබාගැනීමයි. ලෙඩ ඇඳේ සිටියදී වුවත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ගැනීමයි. ඒ සඳහා ගෙවන්නට නියමිත මිල කවරක්දැයි කිසිවෙකු දන්නේ නැත.

ඉතින් ඇමරිකානුවෝ මෙසේ අසමින් සිටිති.

‘‘ඇමරිකාවේ සැබෑ මාරයා කෝවිඩ් – 19 ද? නැතිනම් මිනිස් බෝම්බයක් බවට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි