×

ඇමරිකාව, ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කරයි

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රටවල් ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කිරීමට තීරණය කර තිබේ.


ඉදිරි දින කිහිපය තුළ මෙම තීරණය ක්‍රියාවට නැංවීමට නියමිත ය.

මෙම නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යය, ඊශ්‍රායලය සමග පවතින ගැටළුව අවසන් කිරීමට අන්තර්ජාතික සහයෝගය පතමින් ප්‍රශංසනීය ලෙස කටයුතු කිරීම මෙයට හේතුව බව කියැවේ.

නොවැම්බර් 3 වැනිදාට යෙදී තිබෙන ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර සුඩානය ඊශ්‍රායලය සමග පවත්වන සබඳතා සාමාන්‍ය තත්වයට හැරවීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද එක් ඉලක්කයක් විය.

ඊයේ දිනයේ මෙම තීරණය දැනුම් දුන්නේ ද ට්‍රම්ප් විසිනි.

ඔහු මෙය, සිය විදේශ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන ආකාරය ද දැකගන්නට ලැබිණි.

2018 වසරේ පටන් තමා මේ සඳහා සුඩානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කළ බවත් ඔහු එහිදී පැවසුවේය.

මෙම ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කර දින දෙක තුනක් ඇතුළත දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍ය අතට හැරවිය හැකි බව ඇමරිකාවේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ද මතය වී තිබේ.

සුඩානයේ නව රජය මිලියන 335 ක් ගෙවීමට එකඟ වෙලා

ඊයේ දිනයේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෙළිකළ පරිදි, සුඩානයේ නව ආණ්ඩුව, සුඩානයේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් විපතට පත් වූ ඇමරිකානු පුරවැසියන්ට ඩොලර් මිලියන 335 ක් ගෙවීමට ද එකඟ වී තිබේ. ට්‍රම්ප් සිය ට්විටර් පණිවුඩයේ මිලියන යන්න කැපිටල් අකුරින් දක්වා තිබිණි.

‘‘ඒ මුදල් තැන්පත් කළ වහාම, මම සුඩානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කරනවා. අවසානයේදී ඇමරිකානු ජනතාවට යුක්තිය ඉටු වුණා. එය සුඩාන ජනතාවටත් විශාල පියවරක්‘‘ යැයි ඔහු ජයග්‍රාහී ලෙස සටහන් කර තිබේ.

වන්දි ලැබෙන්නේ කාටද? සුඩානයෙනුත් කොන්දේසි

ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ඇමරිකාව සුඩානයට ලබා දී තිබු කොන්දේසිය වූයේ වන්දි ගෙවීමයි.

ඒ අනුව 1998 වසරේදී කෙන්යානු හා ටැන්සානියානු තානාපති කාර්යාලවලට එල්ල වූ ප්‍රහාරවලින් සහ, 2000 වසරේදී ඇමරිකානු ප්‍රහාරක නෞකාවක්වූ ‘කෝල්‘ වෙත එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත් වූ ඇමරිකානුවන්ට ඩොලර් මිලියන 335 ක් ගෙවීමට සුඩානය එකඟ වී තිබේ.

මෙම මුදල් විශේෂ ගිණුමක තැන්පත් කර තබනු ඇත්තේ, සුඩානය වගකිව යුතු බවට සැලකෙන සෙසු ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් ඔවුන්ට විනිර්මුක්තිය ලබාදීමේ කොන්දේසිය පිට ය.

එම විනිර්මුක්තිය (දඬුවම් හෝ විපාක නොලැබීම) ලැබුණු පසු මුදල් ඇමරිකාව වෙත නිදහස් කෙරෙනු ඇත.

1993 වසරේ පටන් ලැයිස්තුවේ

සුඩානය, ත්‍රස්තවාදී සංවිධානවලට අනුග්‍රහය ලබාදෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබුණේ 1993 වසරේ පටන් ය.

ඒ වන විට සුඩානයේ පාලකයා ඕමාර් හසන්-අල්-බෂීර් විය. ඔහු හිස්බුල්ලා ඇතුළු පලස්තීන සන්නද්ධ කල්ලිවලට සිය රට තුළ රැකවරණය සහ සරණාගතභාවය ලබා දී තිබිණි.

ඇමරිකානු අධිකරණය විසින් ද පෙර කී තානාපති කාර්යාල සහ කෝල් නෞකාවට වගකිව යුත්තේ සුඩානයේ අනුග්‍රහය ලැබූ ත්‍රස්තවාදී කල්ලි බවට තීන්දු කර තිබේ.

එක්සත් අරාබි එමීර් සහ බහරේනය සම්බන්ධයෙන් ද ට්‍රම්ප් ඊශ්‍රායලය වෙනුවෙන් මැදිහත් වී සිටින්නේ ‘ලෝක පොලිස්කාරයා‘ගේ භූමිකාව සිහි ගන්වමිනි.

සුඩානයේ අස්ථාරව ආණ්ඩුව

කෙසේ නමුත් සුඩානයේ තවමත් පවතින්නේ අස්ථාවර සහ සංක්‍රාන්තික ආණ්ඩුවකි. නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය අනාවරණය කරන අන්දමට ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ සාමාජිකයන් අතර ද තවමත් දෙබිඩි ස්වභාවයක් තිබේ.

පසුගිය සතියේ ද සුඩාන අගමැති අබ්දල්ලා හම්දොක් ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම ඊශ්‍රායල සබඳතා යථා තත්වයට පත්කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැති බවයි.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබීම සඳහා සුඩාන – ඊශ්‍රායල ගැටළුව පාවිච්චි කිරීම ඔහු හැඳින්වුයේ ‘‘election-eve agreement‘‘ යනුවෙනි. ඊශ්‍රායලය හේතුවෙන් සිය රට තුළ නොසන්සුන්කාරී බව ඇති විය හැකි යැයි ද ඔහු පැවසුවේය.

පසුගිය මාසයේදී ඊශ්‍රායලයේ වාර්ෂික උද්ධමන අනුපාතිකය 212%ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ආහාරපාන, පාන් සහ ඖෂධවල දැඩි හිඟයක් ඇති කරමිනි.

1967 අරාබි _ ඊශ්‍රායල් යුද්ධය ට මැදි වු සුඩානය ඊශ්‍රායලය සමග පවත්වාගෙන ගියේ එදිරිවාදී සම්බන්ධයකි.

නමුත් පසුගිය අගෝස්තු මාසයේදී සුඩානයේ කාටූම් අගනුවරට ට්‍රම්ප්ගේ විදේශ ලේකම් මයික් පොම්පියෝ පැමිණියේය.

Secretary of State Mike Pompeo and Prime Minister Abdalla Hamdok of Sudan met in Khartoum in August.Credit…Agence France-Presse — Getty Images

පසුගිය මාසය වන විට අරාබි ලෝකයෙන් ඊශ්‍රායලය සමග විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වමින් සිටියේ ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවල් පමණි.

ඊශ්‍රායල් භූමිකාව

දැනට වසරක පමණ කාලයක පටන් ඊශ්‍රයාලය නිහඬව සුඩානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට වෙහෙසෙමින් සිටියේය. පෙබරවාරි මාසයේදී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු, එවකට සුඩානයේ නිල නොලත් නායකයා වූ ලුතිනන් ජනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් ව උගන්ඩාවේදී හමුවිය. මෙම හමුව සැලසුම් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් බව කියැවේ. එයින් දින කිහිපයකට පසුව සුඩානය, ඊශ්‍රායලයේ වාණිජ ගුවන් යානාවලට සිය රටට ඉහළින් පියාසර කරන්නට අවසර ලබාදුන්නේය.

ඇමරිකාව සියල්ල කරන්නේ ඊශ්‍රායලය වෙනුවෙන්ද?

මේ හමුවෙන් පසුව ඇමරිකානු විදේශ ලේකම් මයික් පොම්පියෝ, සුඩානයේ කාටුම් නුවරට පැමිණියේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර සිට ය. එහිදී පොම්පියෝ විසින් සුඩානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ යෝජනාව කරන්නට ඇතැයි සැලකේ.

නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය සඳහන් කරන්නේ, අනන්‍යතාවය හෙළි නොකරන මුලාශ්‍රයක් විසින් ඔවුන් සමග පැවසුවේ, මෙම ත්‍රස්ත ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කළ වහාම, සුඩානය විසින් ඊශ්‍රායලය වහාම පිළිගත යුතු යැයි ව්‍යංග කොන්දේසියක් පවතින බවයි.

The New York Times පුවත් සේවයේ පළ වූ  State Dept. to Remove Sudan From List of Terrorist States ලිපිය ඇසුරෙනි.

පසු සටහන – කෙසේ නමුත් මේ සමග බොහෝ විචාරකයන් අසන ප්‍රශ්නය වන්නේ ලෝකයේ අන්ත දිළිඳු රටක් වන සුඩානයට, ඇමරිකාවට වන්දි ගෙවීමට ඩොලර් මිලියන 335 ක් ලැබුණේ කෙසේද යන්නයි. එය අබිරහසක් බව ද ඇතැම්හු කියති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි