×

ඇවිළෙන ගින්නට පිදුරු දමන නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය.

තායිවානය පිළිබඳව පසුගිය දා ජෝ බයිඩන් හා ෂි ජින් පින් අතර පැවැති දුරකතන සංවාදයකදී චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ ගින්නත් සමඟ සෙල්ලම් කරන අය පිළිස්සෙන බවයි.


එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි විසින් ඊයේ(02) දිනයේදී ඇගේ ආසියානු සංචාරයේ ප්‍රථිපලයක් වශයෙන් තායිවානයට ගොඩ බසින ලදි. මෙම කරුණ වඩාත් වැදගත් වන්නේ පසුගිය දින කිහිපය පුරාම චීනය විසින් එක්සත් ජනපදය හා තායිවානය අතර මිත්‍රත්වය දිගින් දිගටම ප්‍රතික්ෂප කිරීමත්, තායිවානය සිය අභ්‍යන්තරික කටයුත්තක් වශයෙන් සැලකීමත් හේතුවෙනි. තායිවානය පිළිබඳව පසුගිය දා ජෝ බයිඩන් හා ෂි ජින් පින් අතර පැවැති දුරකතන සංවාදයකදී චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ ගින්නත් සමඟ සෙල්ලම් කරන අය පිළිස්සෙන බවයි. මෙවැනි මතභේදාත්මක අවස්ථාවක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය යනු ඇවිළෙන ගින්නට පිදුරු දැමීමකි.

නැන්සි පෙලෝසිගේ 25 වසරැති දේශපාලන ජීවිතය තුළ අවධානම් සහගතම සංචාරය මෙය බව විචාරකයන් අදහස් දක්වා තිබේ. කෙසේ නමුත් ඇය මෙම සංචාරයේදී විදේශ අමාත්‍ය ජෝසප් වු සහ තායිවානයේ එක්සත් ජනපද නියෝජිත සැන්ඩ්‍රා ඕඩ්කර්ක් විසින් පිළිගනු ලැබූ අතර බදාදා(03) උදෑසන ජනාධිපති සායි ඉන්ග්-වෙන් හමුවීමට අපේක්ෂා කෙරේ.

නැන්සිගේ සංචාරය සම්බන්ධයෙන් ඊයේ(02)දිනයේදී, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු එක්සත් ජනපදයට නොසැලකිලිමත්කම පිළිබඳව චෝදනා කළ අතර, චීනයේ ස්වෛරීභාවයට සහ ආරක්ෂක අවශ්‍යතාවලට හානි කිරීම සඳහා වන්දි ගෙවීමට සිදුවන බව පවසා තිබිණ.

මෙම සංචාරය චීන, තායිවාන සහ එක්සත් ජනපද හමුදා අතර ඉහළ මට්ටමේ මිලිටරි ව්‍යාපාරයක් සහ සූදානමක් ඇති කර ඇති බව පෙනේ. තායිවානය තම භූමිය ලෙස සලකන චීනය, පෙලෝසි සංචාරය කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට යලි යලිත් අනතුරු අඟවා තිබීම හේතුවෙන් මේ වන විට එක්සත් ජනපද නාවික හමුදාව විසින් තායිවානයට නැඟෙනහිර දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේ ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් ඇතුළුව එක්සත් ජනපද යුද නැව් හතරක් ස්ථානගත කර ඇති බව රොයිටර් වාර්තා කර තිබේ.

චීනයේ මහජන විමුක්ති හමුදාව (PLA) තායිවාන් සමුද්‍ර සන්ධියේ චීනය සහ තායිවානය අතර යුද නැව් සහ ගුවන් යානා කිහිපයක් ගෙන ගිය බව වාර්තා වේ. තායිවානයේ පිටත කිංමන් දූපතේ සිට සැතපුම් තුනක් (කිලෝමීටර් 5) ක් පමණ දුරින් පිහිටි චීන ප්‍රධාන නගරයක් වන ෂියාමෙන් හරහා ටැංකි සහ අනෙකුත් සන්නද්ධ වාහන දුසිම් ගණනක් ධාවනය කර ඇත. තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ අඟහරුවාදා තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට (ADIZ) චීන ගුවන් යානා 21 ක් ඇතුළු වූ බව නිවේදනය කර තිබේ. එහි චීනයේ දියුණු ප්‍රහාරක ජෙට් යානාවලින් එකක් වන Shenyang J-16 යානා 10ක් ඇතුළත් වන බව කියැවේ.

නැන්සිගේ සංචාරයට ප්‍රතිචාරයක් වශයෙන් තායිවානය හා සම්බන්ධ වෙළඳ භාණ්ඩ වාරණයක් ඊයේ දින සිට චීනය ක්‍රියාත්මක කර තිබේ. එනම්, චීන බලධාරීන් තායිවාන ආහාර සමාගම් 100 කට වැඩි ගණනකින් ආනයනය කිරීම හදිසි තහනමක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම සංචාරය පිළිබඳව රුසියාව ප්‍රකාශක් නිකුත්කර ඇති අතර එහි සඳහන්ව ඇත්තේ මෙය පැහැදිලි ප්‍රකෝප කිරීමක් ලෙසයි. තමන්ගේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට පියවර ගැනීමට චීනයට අයිතියක් ඇති බව ඔවුන් වැඩිදුරටත් තහවුරු කර තිබේ.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : “ගින්න සමඟ සෙල්ලම් කරන අය පිළිස්සේනු ඇත” ෂී ජින් පින්, ජෝ බයිඩන් වෙත අනතුරු අඟවයි.

“ගින්න සමඟ සෙල්ලම් කරන අය පිළිස්සේනු ඇත” ෂී ජින් පින්, ජෝ බයිඩන් වෙත අනතුරු අඟවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි