×

ඉතාලියේ මරණ ගණන 20,000 පසුකරද්දී නිව්යෝක් මරණ ගණන 10,000 පසු කරයි – කොවිඩ් ලෝක සිතියම

ගතවූ පැය 24 ඇතුළත කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලෝක සිතියමේ සිදුවූ වෙනස්කම් සමාලෝචනය


ඉතාලිය මරණ 20,000 පසුකරයි.

අද දිනයේ ඉතාලිය, කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ ගණන 20,000 පසුකළය. ඒ ගතවූ පැය 24 ඇතුළත 566 දෙනෙකු මිය යාමත් සමග ය. එය, ඉරිදා දිනයට වඩා 135 දෙනෙකුගේ වැඩි වීමකි. අද දිනයේ සිදුව ඇති මරණ අතරින් භාගයකටත් වඩා වාර්තා වන්නේ ලොම්බාර්ඩි ප්‍රදේශයෙනි. උතුරු ඉතාලියේ පිහිටා ඇති ලොම්බාඩිය, රටේ ඉතාම දරුණු ලෙස කොවිඩ් වසංගතයට ගොදුරු වූ කලාපයයි.

ඇමරිකාව උපරිම මරණ සංඛ්‍යාවට ළඟා වෙමින් සිටියි

ගතවූ පැය 24ක කාලය තුළ ඇමරිකාවේ නිව්යෝක් ජනපදයෙන් මරණ 10,000 කට වඩා වාර්තා විය.

මේ අතර Centres for Disease Control and Prevention (CDC) හෙවත් ඇමරිකාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂ රොබර්ට් රෙඩ්ෆීල්ඩ් පැවසුවේ ඇමරිකාව මේ වන විට උපරිම අවදානම් තත්වය පසුකරමින් සිටින බවයි. මන්ද යත් එතැන් පටන් ආසාදිතයන් මරණයට පත් වීමේ සීඝ්‍රතා චක්‍රය අඩුවීමට නියමිත නිසා ය.

ගෝලීය කොවිඩ් මරණ ගණන 116,000

අද දිනයේ ගෝලීය කොවිඩ් මරණ ගණන 116,000 ක් ලෙස සටහන් විය. මේ වනවිට ලෝක ජනගහනයෙන් මිලියන 1.8 ක් ආසාදිතයන් බවට පත්ව සිටියි. නමුත් ඒ, වාර්තා වන පිරිස පමණකි.

එක්සත් රාජධානියේ 717 ක් මරුට

අද දිනය වන විට එක්සත් රාජධානියේ රෝහල්වලින් මරණ 11,329 ක් වාර්තා විය. ඒ, ගතවූ පැය 24 ඇතුළත රෝගීන් 717 ක් මිය යාමත් සමගිනි.

බෙල්ජියමේ තත්වය ඉතාලියටත් වඩා නරකයි

ගතවූ පැය 24 ඇතුළත බෙල්ජියමෙන් මරණ 303 ක් වාර්තා වූයේ, මිය ගිය මුළු ගණන 3,903 ක් බවට පත්කරමිනි.

මෙයින් අදහස් වන්නේ බෙල්ජියම තුළ කොරෝනා වසංගතය, ඉතාලියටත් වඩා දරුණු ලෙස පැතිරෙමින් තිබෙන බවයි.

සිංගප්පූරුවේ වැඩිම රෝගීන් ගණන අද

සිංගප්පූරුවෙන් ගතවූ පැය 24 ඇතුළත රෝගීන් 386 ක් වාර්තා වූයේ වැඩිම රෝගීන් වාර්තා වූ දිනය බවට පත් වෙමිනි. මේ අනුව දැනට සිංගප්පූරුව තුළ රෝගීන් 2,918 ක් සිටියි.

මේ වන විට සනාථ වී තිබෙන්නේ වැඩිම ආසාදන සංඛ්‍යාවකට වගකිව යුත්තේ සංක්‍රමණි කම්කරුවන් බවයි. ඔවුන්ගේ නිදන ශාලා ආශ්‍රිතව වසංගතය සීඝ්‍ර පැතිරීමකට ලක් වූ බව සොයාගෙන ඇති අතර, සිංගප්පූරුව ඔවුන් නිරෝධායනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ද පසුගියදා දියත් කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි