×

ඉතින් ඇමරිකානුවන් වසරකට ගස් මිලියන 100 ක්වත් සිටවිය යුතුය!

ඇමරිකානුවන්ගෙන් 80%ක්ම ජීවත් වන්නේ නගරවල ය. තවද ඇමරිකානු ජනගහනයෙන් බහුතරය ජීවත් වන්නේ නැගෙනහිර සහ බටහිර වෙරළබදව පිහිටා ඇති වන වැස්ම සහිත පෙදෙස් වල ය.


මෙසේ නාගරික සහ ග්‍රාමීය පෙදෙස්වල දිවි පෙවෙත ගත කරන ඇමරිකානුවෝ වසර 5කට ගස් මිලියන 36 බැගින් කපා බිම හෙළන බව අලුත්ම වාර්තාවලින් (US Forest Service) හෙළිදරව් වේ. මෙම වාර්තාව අදාළ වන්නේ 2014-2019 කාල සීමාවට ය. මීට පෙර වාර්තාව, එනම් 2009-2014 කාල පරිච්ඡේදයේදී ඔවුන් විසින් කපා දැමූ ගස් ප්‍රමාණයට වඩා 1%ක අඩුවීමක් පමණි.

මේ තත්වය පෙන්වා දෙන්නේ ලෝකයම පරිසර සංරක්ෂණය ගැන කතා කළත්, ඇමරිකාවේ ඇස් ඇරෙන්නට තව බොහෝ කල් ගත විය හැකි බව ය. පැරිස් සම්මුතියට පයින් ගැසූ ජනාධිපතිවරයෙකු සිටින රටකින් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද යන පැනය ද මේ සමගම නැගේ.

ට්‍රම්ප් පවා නිරුත්තර වූ තැන

පසුගිය සමයේ දේශපාලනික වශයෙන් අනාථ තත්වයකට මුහුණ දී සිටි ඇමරිකානු ජනපති ට්‍රම්ප් පවා අවසානයේ මේ වන විට තුරු රෝපණය සිය ‘වරද නිවැරදි කර ගැනීමේ මාර්ගය‘ ලෙස තෝරාගැනීමට පෙළඹී ඇති ආකාරය ද මේ සමගම දැකගත හැකිය. පසුගිය පෙබරවාරි 04 වැනිදා සිදුකළ සිය ‘යුනියන් කතාවේ‘ දී (union speech) පාරිසරික විපර්යාස ගැන වචනයක්වත් කතා නොකළ ඔහු, ඒ වෙනුවට තුරු රෝපණය වෙනුවෙන් ඓතිහාසික සහායක් පළ කළේය. ඒ, ගස් ට්‍රිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියකට සහාය පළ කරමිනි.

“To protect the environment, days ago, I announced that the United States will join the One Trillion Trees Initiative, an ambitious effort to bring together government and the private sector to plant new trees in America and all around the world,” යැයි එහිදී ඔහු කීවේය.

විචාරකයන් මේ තත්වය විග්‍රහ කළේ, දේශපාලනික වශයෙන් සුරක්ෂිත නව පරිසර සැලැස්ම‘ යනුවෙනි.

තුරු වදුල අතුරුදන් වන කාරණා

ඇමරිකානු වන සංරක්ෂණ සේවයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥයෙකු වන ඩේවිඩ් නොවාක් පෙන්වා දෙන පරිදි ඇමරිකාවට තුරු වදුල අහිමි වීම සඳහා ස්වභාවික හේතු ද බලපායි. හරිකේන්, ටෝනේඩේ, ලැව් ගිනි, කෘමි උවදුරු මේ අතර වේ. මේ කාරණා සොබාදහම විසින්ම ලබාදෙන දඬුවම් වන හෙයින් එහිදී මිනිසාට කළ හැකි දෙයක් නොමැත. නමුත්, මේ සාධක හැරුණු විට සෙසු ප්‍රධානම සාධකය වන ගස් කපා දැමීම, මිනිසාට වළක්වා ගත හැකිය.

‘‘අතීතයේ ඇමරිකා එක්සත් ජනපදයේ ඡායාරූපවල අප දුටු තුරු වැස්ම වෙනුවට අද දැකගත හැක්කේ උස් ගොඩනැගිලි රාශියක්..‘‘ ඔහු පවසයි.

වසරකට ඇ.ඩො. මිලියන 96 ක ආර්ථික පාඩුවක්

‘‘අපි පාරක් හදන හැම විටමක, අපි ගොඩනැගිල්ලක් හදන හැම විටකම – කපා දමන ගසක් වෙනුවට අලුත් ගසක් සිටුවන්නට අපට නොහැකි නම්, ඉදිරි පරපුර අනතුරේ..‘‘ යැයි ද ඔහු පවසයි.

මෙසේ තුරු කපා දැමී නිසා වළක්වා ගත හැකිව තිබූ වායු දූෂණය සහ බලශක්ති අපතේ යාමේ ආර්ථික හානිය ද ඔවුන් විසින් මේ වන විට ගණනය කර තිබේ. එය වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 96 කි!

එනිසා ඇමරිකාවේ පරිසරකාමී සංවිධාන සහ මිනිසුන් මේ වන විට තුරු මිලියන 100 ක් සිටවීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් සැලසුම් කරමින් සිටිති. ට්‍රම්ප් කුමක් කීවත් – කළත්, ඇමරිකාවේ බහුතරය තවමත් ට්‍රම්ප්ට වඩා සබුද්ධික හෙයින් ඔවුන් මේ සඳහා වැඩ කරනු ඇත.

Cover Photo: Bussiness Insider Singapore



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි