×

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 47%ක්ම වයස 40 ට අඩු අය!

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් හරි අඩක් පමණම, එනම් 47%ක්ම, වයස අවුරුදු 40 ට අඩු අය බව හෙළිදරව් වේ.


මෙය අතිශය වැදගත් හෙළිදරව්වක් වන්නේ යුරෝපයේ සහ ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන් සහ මිය ගිය අයගෙන් අති බහුතරය වයස අවුරුදු 60 ට වැඩි එනම් වියපත් අය බවට පත්වීමත් සමග, මෙම රෝගයට ගොදුරු වන්නේ වියපත් අය බවට විශාල මතයක් ලෝකය පුරා පැතිර ගිය බැවිනි.

ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතයේ දැකිය හැකි වැදගත් ලක්ෂණයක් වන්නේ ඔවුන් විසින් සාධනීය ලෙස තොරතුරු ප්‍රකාශයට පත් කිරීමයි. පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු මෙහිදී ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරයි. මේ අනුව පසුගියදා ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ වයස් කාණ්ඩ පිළිබඳ අතිශය වැදගත් ලේඛනයක් ප්‍රකාශයට පත් විය. වයස 40 ට අඩු අය වසංගතයට ගොදුරු වීමේ අධි අවදානමක් ඇති බව හඳුනා ගැනෙන්නේ ඒ අනුව ය.

මේ දක්වා ප්‍රකාශිත සංඛ්‍යා ලේඛන අනුව කොවිඩ් වසංගතයට ගොදුරු වී ඇති අති බහුතරය පිරිමි අය ය. එම ප්‍රතිශතය 74%කි. මිය ගිය අය අතරින් ද 73%ක් පිරිමි පාර්ශවයයි. ඔවුන් දුම්පානයට ඇබ්බැහි වීම මෙයට හේතුව ලෙස හඳුනා ගැනේ.

තවද ඉන්දියාවේ වසංගතයෙන් මිය ගිය අය අතරින් 86%ක්ම රෝගී තත්වයන්ගෙන් පෙර සිට පෙළෙමින් සිටි අය ය. දියවැඩියාව, නිදන්ගත වකුගඩු ආබාධ සහ හෘදාශ්‍රිත රෝග ඒ අතරින් ප්‍රධාන වේ.

වසංගතයට ගොදුරු වී ඇති පිරිස, වයස් කාණ්ඩ අනුව මෙසේ ය.

  • 47% – වයස 40ට අඩු

  • 34% – වයස 40-60 අතර

  • 19% – වයස 60 ට වැඩි

මේ අනුව කොරෝනා වෛරසයට ගොදුරු වන අයගෙන් අති බහුතරය වයස 60 ට වැඩි අය ය යන බටහිර මතය ඉන්දියාවේදී මිත්‍යාවක් බවට පත් වේ.

මේ සම්බන්ධයෙන් ලංකාවේ තත්වය කෙසේද? ලංකාවේ කොවිඩ්-19 වසංගතය කළමනාකරණයේදී දැකගත හැකි ඛේදනීය අංශයක් වන්නේ තොරතුරුවල හිඟතාවයයි. අවම වශයෙන් අපට ඉන්දියාවෙන් මේ සම්බන්ධයෙන් පාඩමක් ඉගෙන ගත හැකි නම්, ලංකාවේ කොවිඩ් වසංගත තත්වය පිළිබඳ මීට වඩා පැහැදිලි චිත්‍රයක් ලබාගැනීමට හැකි වනු නිසැක ය.

මේ වන විට අලුත්ම සංඛ්‍යාලේඛනවලට අනුව ඉන්දියාවෙන් ආසාදිතයන් 6725 ක් ද මරණ 226 ක් ද වාර්තා වේ.

මැයි මස 15 වැනිදා දක්වා ඉන්දියාවේ පාසල් වසාතැබීමට ද නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි