×

ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය ගාන්ධි පරපුරෙන් ගැලවෙන ලකුණු – සෝනියා, රාහුල්, ප්‍රියංකා ඉල්ලා අස්වීමට සැරසෙයි

ඉන්දියාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමට සෝනියා ගාන්ධි, ඇයගේ පුත් රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි තීරණය කර තිබෙනවා.


මේ වනවිට ඔවුන්ගේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය ගාන්ධි පරපුරේ බූදලක් ලෙස සැලකෙන අතර පක්ෂය ආරම්භයේ පටන්ම ගාන්ධි පරපුරේ සාමාජිකයන්ගේ මෙහෙයවීම මත පක්ෂය ක්‍රියාත්මක විය.

කෙසේ නමුත් මේ වනවිට ඉන්දීය දේශපාලනය තුළ ගාන්ධි පරපුරට තිබූ ආකර්ශනීය බව දිනෙන් දින ගිලිහෙමින් තිබෙන අතර මේ වනවිට කොන්ග්‍රස් පක්ෂය තුළද ගාන්ධි විරෝධයක් උත්සන්න වෙමින් තිබේ.

එසේම සමස්තයක් ලෙස ඉන්දීය ජනතාව තුළද ගාන්ධි පරපුර පිළිබඳව දශක ගණනාවක් පුරා තිබූ ගෞරව හා විස්වාසය බිඳවැටී ඇති අතර එය පසුගිය දශකයකට ආසන්න කාලය තුළ මැතිවරණ ප්‍රතිඵලවලින් හොඳින්ම පෙන්නුම් කරයි.

සෝනියාගේ සහ ඇයගේ දරුවන්ගේ ඉල්ලා අස්වීමේ තීරණයට බලපෑ ආසන්නතම හේතුව පසුගිය මාස කිහිපය තුළ පැවති ප්‍රාන්ත මැතිවරණවලදී කොන්ග්‍රස් පක්ෂය ලැබූ දැවැන්ත පරාජයයි.

ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් කොන්ග්‍රසය දැවැන්ත පරාජයක් අත් කරගත් අතර එම මැතිවරණය මෙහෙයවූයේ රාහුල් සහ ප්‍රියංකාගේ සෘජු මැදිහත්වීම තුළයි.

කොවිඩ් වසංගත තත්වය මැද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දැඩි විවේචනයට ලක් වූ නමුත් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය සමත් විය.

කොන්ග්‍රසය සතුව තිබූ පන්ජාබ් ප්‍රාන්ත බලය මෙවර අහිමි වූ අතර එම ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට සමත් වූයේ ආම් ආද්මි පක්ෂයයි.

මීට අමතරව පැවති උත්තර්කාන්ද්, මනිපූර් සහ ගෝව යන ප්‍රාන්ත මැතිවරණවලින්ද කොන්ග්‍රසය පරාජය කර පහසු ජයක් ලැබීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය.

මෙම තත්වය මත 2024 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණය තනි අශ්වයෙකුගේ රේස් එකක් බවට පත්වන ලකුණු පහළ වී තිබේ. මහ මැතිවරණයට මුහුණදීමේ අරමුණින් කොන්ග්‍රසය තුළ දැවැන්ත වෙනසක් සිදුවිය යුතු බව පක්ෂයේ දෙවැනි පෙළ නායකයන් බොහෝදෙනෙකු තුළ තිබෙන අදහස වන අතර මේ නිසා සෝනියා ගාන්ධිට සහ ඇයගේ දරුවන්ට තනතුරුවලින් ඉවත් යා යුතු තරමට බලපෑම් එල්ල විය.

මෙම වසර තුළදී තවත් ප්‍රාන්ත මැතිවරණ 03 ක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරිපත් වියයුතු බවට පක්ෂය තුළම මතයක් නිර්මාණය වී ඇති අතර මෙය ගාන්ධිලාගේ තීරණයට දැඩි බලපෑමක් සිදුකර තිබේ.

2014 ඉන්දීය මහ මැතිවරණයේදී සෝනියා ගාන්ධිගේ නායකත්වය යටතේ කොන්ග්‍රසය දැඩි පරාජයක් ලැබූ අතර ඉන් අනතුරුව 2017 වසරේදී ඇය නායකත්වයෙන් ඉවත් වී සිය පුතු රාහුල් ගාන්ධි නායකත්වයට පත් කළේය.

ඒ 2019 මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ අරමුණෙනි. කෙසේ නමුත් කොන්ග්‍රසය ජයග්‍රාහී මාවතට ගෙනඒ්මට රාහුල් අසමත් වූ අතර මැතිවරණ පරාජයන් පසුව ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්විය.

ඉන්පසු නැවත සෝනියා නායකත්වයට පත් වූයේ අන්තර්වාර නායිකාවක ලෙසයි.

ගාන්ධිලාගේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේ කොන්ග්‍රසයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතව තිබිණි. බොහෝදුරට ඉන්දීය කොන්ග්‍රසය නව නායකත්වයක් අතට පත්වීම සිදුවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි