Sriwijaya ගුවන් සේවාවට අයත් SJ 182 නමැති මෙම ගුවන් යානය ජකර්තා අගනුවර සිට බෝර්නියෝ දූපත් බලා පියාසර කරමින් සිටියේය. විනාඩියක් ඇතුළත එය අඩි 10,000 ක් පහළට කඩා වැටී ඇති අතර, ඉන්පසු සියලු සම්බන්ධතා ගිලිහී ගොස් තිබේ. මෙසේ සිදුවී තිබෙන්නේ යානය ගුවන් ගත කර විනාඩි 4කට පමණ පසුව ය.
මේ වන විට ගළවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර, ජකර්තාව අවට තවුසන්ඩ් අයිලන්ඩ්ස් ආශ්රිත මුහුදෙන් ලෝහමය සුන්බුන් කැබලි හමු වෙමින් තිබේ. ඒවායේ අනන්‍යතාවය සනාථ කර නැතත්, විශ්වාස කෙරෙන්නේ ඒවා මෙම ගුවන් යානයේ කොටස් බවයි.
මෙම යානයේ ගුවන් සේවකයන් ඇතුළු 62 දෙනෙකු සිටියෝය. එයින් දස දෙනෙක් දරුවන් වූ බව වාර්තා වේ.
ජකර්තාවේ සිට පොන්ටියානක් (බෝර්නියෝ දූපත්) වෙත ගමන් ගන්නා ගුවන් යානාවක් වැඩි වශයෙන්ම ගමන් ගත යුත්තේ ජාවා මුහුදට ඉහළිනි. එය විනාඩි 90 ක ගමනකි. සිරිවිජය ගුවන් සේවාව ඉන්දුනීසියාවේ බජට් ගුවන් සේවාවක් වන අතර, විශාල ඩිස්කවුන්ට් ලබාදෙන බවට ද ප්‍රකට ය. එය අන්තර්ජාතික ගමනාන්ත බලා ද පියාසර කරයි.
ලෝකයේ විශාලතම කොදෙව් රාජ්‍යය වන ඉන්දුනීසියාවේ ජීවත් වන මිලියන 260 ක ජනතාව අතරින් බොහෝ අය අභ්‍යන්තර ගමන් සඳහා ගුවන් යානා භාවිතා කරති.
සුමාත්‍රා දිවයින අසලදී 1997 වසරේදී ගරුඩා ගුවන් යානය කඩා වැටීම ඉන්දුනීසියාව මෙතෙක් මුහුණ දී ඇති විශාලතම ගුවන් අනතුර වන අතර, එහිදී 234 දෙනෙක් මරණයට පත් වූහ.
ඉන්දුනීසියාවෙන් මෑත භාගයේ ගුවන් යානා අනතුරු ගණනාවක් වාර්තා විය. වඩාත්ම මෑතකදී සිදුවූ ‘ලයන් එයා‘ වර්ගයේ Lion Air 737 MAX ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටුණේ ද මේ අන්දමින්ම ජකර්තාවෙන් අහසට නංවා විනාඩි කිහිපයක් ඇතුළත ය. එහිදී එහි ගමන් ගත් 189 දෙනාම මරණයට පත් වූහ. අනතුරුව බෝයිං මැක්ස් වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශාල කතාබහක් ඇති විය. මේ අතර, 2014 දෙසැම්බරයේදී සුරබයා ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ එයා ඒෂියා වර්ගයේ ගුවන් යානාවක් ද එහි ගමන් ගත් 162 දෙනා සමග කඩා වැටුණේය.
ප්‍රධාන ඡායාරූපය – අතුරුදන් වූ SJ 182 යානය
Photos: Sky News