×

ඊශ්‍රායල් අගමැති නෙතන්නියාහු ධුරයේ සිටියදීම අධිකරණය ඉදිරියට!

ඊශ්‍රායල ඉතිහාසයේ ප්‍රථම වතාවට ධුරයේ සිටින අගමැතිවරයෙක් අධිකරණයක් ඉදිරියට පැමිණ සිටියි.


ඒ, මෙයට සතියකට පෙර නැවත වරක් අගමැති ධුරයේ වැඩ භාරගත් බෙන්ජමින් නෙතනියාහු ය. ඔහු දැන් ඊශ්‍රායලයේ සමගි ආණ්ඩුවේ නායකයා ය.

අල්ලස, වංචාව සහ සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පනවා ඇති නඩුව ජෙරුසලම දිසා අධිකරණයේදී අද ආරම්භ විය.

මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා පවසන්නේ තමන්ව කෙසේ හෝ බලයෙන් පහ කිරීමට විරුද්ධ බලවේගවලට අවශ්‍ය වී ඇති බවයි.

චූදිතයන්ගේ බංකුවේ වාඩිවීම ප්‍රතික්ෂේප කරයි

මුහුණු වැස්මක් පැළඳ අධිකරණයට පැමිණ සිටි නෙතනියාහු පැවසුවේ, තමන් ශක්තිමත් පිටකොන්දක් සහිත අයෙකු බවයි.

වාර්තාකරුවන් ඉවත්ව යනතෙක්ම ඔහු, චූදිතයන්ට වෙන් වූ බංකුවේ වාඩි වීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණ ශාලාව තුළ සිටගෙන සිටියේය.

නෙතනියාහුගේ ප්‍රතිවාදියා වන බෙනී ගාන්ට්ස්, වසරක් තුළ පැවැත්වූ තුන්වැනි මහමැතිවරණයෙන් ද ජයග්‍රාහකයා කවුදැයි නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමට අසමත් වූ වාතාවරණයක් තුළ නෙතනියාහු සමග බලය බෙදාගැනීමට කැමැත්ත පළ කර තිබීමත් සමග නව ආණ්ඩුවේ අගමැතිවරයා බවට නෙතනියාහු පත්ව සිටියි.

කෙසේ නමුත් එයට සතියකට පසු ඔහුට එරෙහිව නඩු විභාගයක් ආරම්භ වීම නිසා නව ආණ්ඩුවට ද ඇති වී තිබෙන්නේ අභියෝගාත්මක තත්වයකි.

දීර්ඝම කාලයක් බලයේ සිටි අගමැතිවරයා

GETTY IMAGES

ඊශ්‍රායල් ඉතිහාසයේ වැඩිම කාලයක් බලයේ සිටි අගමැතිවරයා වන්නේ බෙන්ජමින් නෙතනියාහු ය.  දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂයේ (right-wing Likud party) නායකයා වන නෙතනියාහු, වසර 2009 සිට මේ දක්වා අඛණ්ඩව බලයේ රැඳී සිටින අතර, මෙයට පෙර 1996-1999 අතර කාලයේ ද ඊශ්‍රායල නායකයා ව සිටියේය.

අමුතු නඩු 3 ක්

1,000, 2,000 සහ 4,000 යනුවෙන් හඳුන්වන නඩු 3කට මේ වන විට නෙතනියාහු මැදිව සිටියි. ඒවායේදී ඔහුට එරෙහිව නගා ඇති චෝදනා මෙසේ ය.

1,000 නඩුව – වංචාව සහ විශ්වාසය කඩ කිරීම – මේ යටතේ ත්‍යාග ලබාගැනීම සිදුකර ඇති බව පැවසේ. මේ ත්‍යාග අතරින් ප්‍රධාන තැනක් ගන්නේ සිගරට් සහ ෂැම්පේන් ය. ඒවා විවිධ වාසි ලබාදීම වෙනුවෙන් ව්‍යාපාරිකයන්ගෙන් ලද ත්‍යාගයන් ය.

2,000 නඩුව – වංචාව සහ විශ්වාසය කඩ කිරීම – තමන්ට වාසිදායක ප්‍රචාරයක් ලබාගැනීම සඳහා ඊශ්‍රායලයේ පළවන යෙදියොත් අහ්රොනොත් (Yediot Ahrono) නමැති පුවත්පතේ බෙදාහැරීමේ කටයුතුවලට දායක වී ඇති බවට චෝදනා ලබයි.

4,000 නඩුව – අල්ලස, වංචාව සහ විශ්වාසය කඩ කිරීම – අදාළ කාලසීමාවේදී අග්‍රාමාත්‍යවරයා සහ සන්නිවේදන අමාත්‍යවරයා වශයෙන් සිටියදී බෙසෙක් නමැති ටෙලිකොම් සමාගමට වාසිදායක වන පරිදි නියාමන කාර්යයක් සිදු කර තිබේ. ප්‍රවෘත්ති වෙබ් අඩවිවල තමන්ට වාසිදායක පුවත් පළ කිරීම සඳහා ද විවිධ ප්‍රතිලාභ ලබා දී ඇති බවට චෝදනා එල්ල වෙයි.

බලයේ සිටියදීම රාජ්‍ය නායකයාව උසාවියට රැගෙන එන්නේ කෙසේද?

ඊශ්‍රායල නීතියට අනුව අපරාධයක් සඳහා චෝදනා ලැබූ පමණින් නායකයෙකු ඉල්ලා අස්විය යුතු නොවේ.

උදාහරණයක් වශයෙන් හිටපු අගමැතිවරයෙකු වන එහුඩ් ඔල්මට්, 2008 වසරේදී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන්නේ දූෂණ නඩුවක විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිද්දී ය. නමුත් තාක්ෂණික අර්ථයෙන් ගත් විට ඊළඟ වසරේ මැතිවරණය පවත්වන තෙක්ම ඔහු අගමැති ධුරයෙන් ඉවත් නොවීය. බෙන්ජමින් නෙතනියාහු බලයට පැමිණියේ ඒ අයුරිනි.

බාගෙට – බාගෙ හවුල් ආණ්ඩුව

තවද මේ වනවිට බෙනී ගාන්ට්ස් සමග ඇති කරගත් එකඟතාවයට අනුව පවතින්නේ බාගෙට – බාගෙ ආණ්ඩුවකි. එනම් මුල් මාස 18 නෙතනියාහු විසින්ද, ඊළඟ මාස 18 බෙනී ගාන්ස්ට් විසින් ද ඊශ්‍රායලය පාලනය කරනු ඇත. මේ අනුව දෙවැනි මාස 18 ක කාලය තුළ නෙතනියාහු කල් ගත කරනු ඇත්තේ බෙනීගේ දෙවැනියා වශයෙනි.

කෙසේ නමුත් නෙතනියාහුගේ විරුද්ධවාදීන් පෙන්වා දෙන්නේ, මේ අවස්ථාවේදී ඔහු කළ යුත්තේ නඩුවෙන් නිර්දෝෂ වීමට මුල් තැන දෙමින් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි