×

උතුරු කොරියාව : ලොක්ඩවුන් කළ රටක ඛේදවාචකය

ලෝකයෙන්ම වෙන් වූ හුදෙකලා රටක් ලෙස සැලකෙන උතුරු කොරියාව කෝවිඩ්-19 වසංගතයට මුහුණ දුන්නේ කෙසේද?


‘තාපස රාජධානිය‘ (හර්මිට් කිංඩම්) ලෙස තමන්ව හඳුන්වා ගන්නා උතුරු කොරියාවේ, 2019 වසංගතය පැමිණීමටත් පෙර සිටම බාහිර ලෝකය සමග සබඳතා අතිශයින්ම සීමා කර තිබූ බව ප්‍රකට කරුණකි.

වසංගතයට පෙර සිටම උතුරු කොරියාවට විදේශ ගමන් බොහෝ සෙයින් සීමා කර තිබිණි.

2020 ජනවාරි මාසයේ සිට උතුරු කොරියාව සිය දේශසීමා මුළුමනින්ම වසා දැමුවේය. ‘හදිසි තත්වයක්‘ ද රට තුළ ප්‍රකාශයට පත් කළේය. රට පුරාම ‘වසංගත විරෝධී මූලස්ථාන‘ හමුදා ක්‍රමයට ඇති කළේය.

උතුරු කොරියාවේ වෛද්‍ය පහසුකම් පිළිබඳ තිබෙන්නේ අඳුරු චිත්‍රයකි. ඒ නිසා වසංගතය ඔඩු දුවන්නේ නම් එයට මුහුණ දීමට උතුරු කොරියාව අසමත් වන බවට කිසිදු තර්කයක් තිබුණේ නැත. මහජන සෞඛ්‍ය නියාමනයන් දැඩි සේ අනුගමනය කිරීම සහ දේශසීමා වසා දැමීම මගින් තත්වය සමනය කර ගත හැකි වනු ඇති බවට පැවසුණේය.

වසංගතය පිළිබඳ කිසිදු සංඛ්‍යා ලේඛනයක් ලෝකයට මුදා නොහරින තත්වයක් තුළ වුවත්, උතුරු කොරියාවේ මෙම “self-reliance” සිද්ධාන්තය ඵල දැරිය යුතුව නොතිබුණිද?

නමුත් සිදුව තිබෙන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයකි.

උතුරු කොරියාව වාණිජමය වශයෙන් දැඩි සේ චීනය සමග සබඳතා පැවැත්වූ රටකි. චීනය නොමැතිව ඔවුන්ට සිය ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි තරම් ය. එය ජූනි මාසය දක්වාම සහමුලින්ම කඩාකප්පල් වී ගිය අතර, ජූනි මාසයේදී මේ අන්දමින් රට ගෙන යා නොහැකි බව දැනගත් බලධාරීහු චීනය සමග ලුහුඬු ලෙස සබඳතා ආරම්භ කළහ. ඒ බව සඳහන් කර තිබුණේ උතුරු කොරියාවේ පුවත් අධීක්ෂණ වෙබ් අඩවියක් වන NK News විසිනි.

The Guardian | 2017 වසරේ උතුරු කොරියාව මුහුණ දුන් දැඩි සාගතය

මේ අතර මේ ගිම්හානයේදී උතුරු කොරියාවට ඉතිහාසගත ගං වතුරකට මුහුණ දෙන්නට සිදුවිය. දරුණු සුළි සුළං තත්වයන්ට ද මුහුණ දෙන්නට සිදුවිය.

වසංගතය තවදුරටත් ඔඩු දිව්වේය.

දැඩි නීති ද පෙර පරිදිම පැවතුණේය.

මෙයට පස් අවුරුද්දකට පමණ පෙර, ලොව ළාබාලතම රාජ්‍ය නායකයා වූ කිම් ජොන් උන් 2016 මැයි 6 වැනිදා දෙවන වරට බලයට පත් වෙද්දී උතුරු කොරියානු ජනතාවට සෞභාග්‍යයේ හීනයක් පෙන්නුවේය. එයින් කියැවුණේ රට පස් අවුරුද්දක් ඇතුළත සමෘද්ධිය කරා ළඟා වන බවයි. ‘‘සෞභාග්‍යය පිරුණු අතිශයින් ශිෂ්ට සම්පන්න රටක්‘‘ උදා කර දෙන බව ඔහු පැවසුවේය.

කිම් ජොන් උන්ගේ ප්‍රගතිය 2020 ඔක්තෝබර් 10 වැනිදා සැමරීමට නියමිතව තිබෙන්නේ යුධ බලය ද ප්‍රදර්ශනය කරමිනි.

මේ මොහොතේ වුවත් උතුරු කොරියාවේ කොවිඩ් මරණ හෝ ආසාදිතයන් සංඛ්‍යාව ගැන අන්තර්ජාලයෙන් පිරික්සා බැලුවහොත් ඔබට ලැබෙන්නේ බිංදු ගොඩකි.

නමුත් 2020 මාර්තු මාසයේදී බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පැවසුවේ, උතුරු කොරියාව පුරා පැතිර ඇති උග්‍ර මන්දපෝෂණය හේතුවෙන් කෝවිඩ් වසංගතය ඔඩු දුවා ඇති බවයි. 2020 අප්‍රේල් මාසයේදී උතුරු කොරියානු මහජන සෞඛ්‍ය නිලධාරියෙකු පවසා තිබුණේ උතුරු කොරියාවට රෝගය බෝ වුණහොත් ‘නොවැළැක්විය හැකි විනාශයක්‘ සිදුවනු ඇති බවයි.

උතුරු කොරියානු නායකයා 2016 දී

නමුත් කිසියම් තැනක කිසියම් දෙයක් වැරදී ගොස් තිබේ.

අගෝස්තු මාසයේදී ඒ බව පිළිගන්නට කිම් ජොන් උන් ට සිදුවිය. රාජ්‍ය වෙබ් අඩවියක් වන KCNA වාර්තා කළේ ‘වැරදී ගියේ කුමක්දැයි සොයාගැනීම සඳහා‘‘ උතුරු කොරියානු නායකයා විසින් අලුත් පක්ෂ කොංග්‍රසයක් පත් කිරීමට නියමිත බව ය. ඊළඟ අවුරුදු 5 සඳහා සැලසුම් කර තිබෙන නව සැලැස්ම ගැන ද එහිදී සලකා බැලෙනු ඇත.

බාහිර ලෝකයෙන්ම වෙන්වී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘ලොක්ඩවුන්‘ වී සිටි රටක් වූ උතුරු කොරියාවට රෝගයෙන් මිදෙන්නට නොහැකි වී තිබේ. ලොක්ඩවුන් තත්වය දෙගුණකිරීමෙන් පසුව පවා එය වැළකී නැති බව තහවුරු වන්නේ ‘වැරදී ගියේ කොතැනදැයි‘ සොයාගැනීමට ඔවුන් නව කමිටුවක් පත් කිරීමට සූදානම් වීමෙනි.

සුව සේවා පද්ධති වැඩිදියුණු නොකළ රටක් හුදෙකලාකරණය සහ ලොක්ඩවුන් කිරීම මගින් පමණක් රෝගය මර්දනය කළ නොහැකි බවට කලාපයේ හොඳම උදාහරණය උතුරු කොරියාවයි.

Main Photo: DW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි