×

උමතු ගගන යාත්‍රිකයා – හොවාඩ් හියුස් ගේ ජීවිත කතාව

‘දි ඒවියේටර්‘ - The Aviator


ලාස් වේගාසයේ මහල් නවයකින් යුත් ඩෙසර්ට් ඉන් සුපිරි හෝටලයේ සයනයක වැතිරී අමෙරිකානු කෝටිපති හොවාඩ් හියුස් චිත්‍රපට නරඹමින් සිටියේ ය. ඉතා කෙටි යට කලිසම නොවිණි නම් ඔහු නිරුවතින් සිටින්නේ යැයි ද කිව හැක. ඔහුගේ රැවුල සහ කොණ්ඩය කෘශ ඉඟටිය දක්වා ම දිගු වී තිබිණි. අඟල් දෙකක් දිගට වැවී තිබූ කහපාට වූ නියපොතු සහිත අත් ඔහු ඉඳහිට ඔබ මොබ වැනුවේ, එක්කෝ අමුත්තකු කාමරය තුළට කැඳවනු පිණිස ය. එසේත් නැතිනම් සේවකයකු ලවා තමන්ට අවශ්‍ය දෙයක් ගෙන්වා ගැනීමට බසරය තදකිරීම සදහා ය. මේ කාමරයේ ඔහු මෙසේ එක දිගට මාස කිහිපයක් ජීවත් වන්නේ චිත්‍රපට නැරඹීමේ සිය නොසන්සිෙඳන ආශාව ඉටුකර ගැනීම පිණිස ය.

මේ කාලය තුළ ඔහු ආහාර ලෙස ගන්නේ පැණි රස සහ කිරෙන් පෙඟවූ ඇට වර්ග පමණි. ඔහුගේ පි‍්‍රයතම චිත්‍රපට සියල්ලම ක්‍රියාදාම ගණයට අයත් ය. “අයිස් ස්ටේෂන් සීබ්‍රා” චිත්‍රපටය ඔහු විසින් වාර 150 ක් නරඹා ඇති බව කියැවේ. අවශ්‍ය වුවහොත් කාමරයේ බිත්ති දෙදරා යන තරමට එහි හඬ වැඩි කර ගැනීමට පවා ඔහු පැකිළුණේ නැත.

ඒ 1960 දශකය තුළ හොවාඩ් හියුස් දිවා රාත්‍රී දෙකේ ම චිත්‍රපට නැරඹීම සදහා ඇබ්බැහි වී සිටියේය. එහි අනිසි ප්‍රතිඵල කොතෙක් ද යත් බොහෝ අය පුදුම වෙමින් සිටියේ ඔහු තවමත් ජීවතුන් අතර සිටීම පිළිබඳ ය. ඔහුට ඇති ප්‍රමාණයටත් වඩා මුදල් තිබිණි. පුරා පහළොස් වසරක් තිස්සේ ලාස් වේගාසයේ වැඩිම කැසිනෝ ශාලා ප්‍රමාණයක හිමිකම දැරුවේ ඔහු ය. ඔහු ඇතැම් කාලයක දක්නට ලැබෙන්නේ සුරූපිනියන් පිරිවරාගෙන ය. ඉන්පසු මාස ගණනක් තිස්සේ ලෝකයෙන් වසන් වන ඔහු ඔවුන් සමඟ අඳුරු කාමරවල ජීවත් වන්නට පටන් ගනියි. ඒ කාලයේදී ඉඳහිට හෝ ඔහු දුටුවේ ඔහුගේ ආරක්ෂක භටයන් පමණි.

1905 වසරේ නත්තල් දින සැන්දෑවේ හොවාඩ් හියුස් උපන්නේ ටෙක්සාස් හි කුවේර පුත්‍රයා වශයෙනි. ඒ, හොලිවුඩය ලොව කලඹන්නට පටන් ගත් සමයයි. විසි එක් හැවිරිදි හොවාඩ්, ස්වාධීන චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමට තීරණය කළේ ය. පෝල් මුනි සහ ජෝර්ජ් රෆ්ට් යන ලෝකයට අමතක නොවන රංගන ශිල්පීන් දෙපොළ කල එළි බැසි “ස්කාර්ෆේස්” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඔහු ය. ඉන්පසු ජින් හැලොවේ රිදී තිරයට හඳුන්වා දුන් “හෙල්ස් ඒන්ජල්ස්” කතා මාලාව ද ඔහු නිෂ්පාදනය කළේ ය. ඔහුගේ අතිසුඛෝපභෝගී තට්ටු නිවාස හා හෝටලවල හොලිවුඩ් තරුවලට නිතර නවාතැන් හිමිවිය. පුද්ගල ඇසුර සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ, ඔවුන් ඔහු අතැර ගිය වහාම ඔහු ද ඔවුන්ව සදහට ම අමතක කර දැමීම ය. ජින් හැලොව් එයට එක් උදාහරණයකි. ඈ මද කාලයක් සඳහා ඔහුගේ පෙම්වතිය වූවා ය. ඇගේ නමින් ඔහු අති සුඛොපභෝගී තට්ටු නිවාසයක් ද මිලදී ගත්තේ ය. එහෙත්, ඇය වෙනත් පෙම්වතුන් පිළිබඳ උනන්දු වන බව පෙනී ගිය වහාම ඔහු ඇය සිය ලැයිස්තුවෙන් කපා දැමුවේ ය. 30 හා 40 දශකවල ඔහුගේ පෙම්වතියන්ගේ ලැයිස්තුවේ අඩු වශයෙන් නම් විසි ගණනක් විය. ඔහුගේ පරිවාර රූමතියන් අතර නිතර කියැවෙන නම් වූයේ එළිසබෙත් ටේලර්, ලැනා ටර්නස් රොජ්ර්ස්, මිට්සි ගෙයිෆර් සහ සිඩ් ඩැරිස් ය. මේ අතර සිය පිළිගැනීමේ නිලධාරිනිය වූ ජේන් රසල්ගේ රූ සපුවට වශී වූ ඔහු නතර වූයේ “ද අවුට් ලෝ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඇයට පිරිනැමීමෙනි. ඔහු සැබවින් ම වශී වී සිටියේ ඇගේ ළය මඬලට ය. චිත්‍රපටවලදී ඇගේ ළය විශේෂයෙන් කැපී පෙනෙන ලෙස කැමරාව හැසිරවිය යුතු බව කියමින් පිටු ගණන් දිග ලිපි සිය අස්සන සහිතව කැමරා ශිල්පීන් වෙත යොමු කළේ ය.

හොලිවුඩය හොවාඩ් හියුස්ගේ විනෝදාංශය පමණක් විය. ඔහුගේ සැබෑ ව්‍යාපාරය එයට වඩා බෙහෙවින් දැවැන්තය. ඔහු ට්‍රාන්ස්වර්ල්ඩ් එයාර්ලයින්ස් සහ හියුස් එයාක්‍රාෆ්ට් යන ගුවන් යානා නිෂ්පාදන කරන සමාගම් දෙකෙහි හිමිකරු විය. අති දක්ෂ ගුවන් නියමුවකු වූ ඔහු අහස් යාත්‍රා උමතුවකින් ද පෙළුණේ ය.

දෙවැනි ලෝක සමයේදී ඔහු හර්කියුලිස් නමැති අති දැවැන්ත එන්ජින් අටේ ගුවන් යානාවක් තැනුවේ ය. එහි බර ටොන් 200 ක් වූ අතර 700 දෙනකු ගෙන යා හැකි විය. යානයේ එක් පියාපතක දිග පාපන්දු පිටියක් සිහිගැන්වූ අතර, පොළොවේ සිට අවරය දක්වා උස සමාන වූයේ මහල් අටක ගොඩනැගිල්ලකට ය. ඒ ගුවන්යානය පියාසර කළේ මඳ දුරක් පමණක් වීමත්, ඒ ද එක්වරක් පමණක්වීමත් පුදුමයක් නොවේ. මුදල් කන්දරාවක් වැය වුවත් එය සිය යුතුකමක් ඉටුකිරීමක් ලෙස සැලකූ හියුස් දෙවැනි නිෂ්පාදනයට ඊටත් වඩා ආත්ම විශ්වාසයකින් යුතුව මුලපිරී ය. අවාසනාවකට මෙන් එම ගුවන්යානය, මද වේලාවකින් උඩු ගුවනේ දී පුපුරා ගියේ ය. යානය පැදවූයේ ද හියුස් ම ය. එයින් සිදුවූ පිළිස්සුම් තුවාලවලින් ඔහු බෙහෙවින් පීඩා විඳි අතර, දිවි ඇති තෙක්ම ඖෂධ මත යැපීමට ඔහුට සිදු විය.

හියුස් දෙවරක් විවාහ විය. ඔහුගේ පළමු බිරිය එලා රයිස් නමැත්තියකි. දෙවැන්නිය ජේන් පීටර්ස් නමැති නිළියකි. පසුව ඈ කීවේ ඔහු සිය බෙල් එයා මන්දිරයේ දී තමන්ට වහලියකට මෙන් වධ දුන් බවයි. දෙදෙනා වෙන වෙනම නිදන කාමර පමණක් නොව මුළුතැන් ගෙවල් පවා පාවිච්චි කළ යුතු බව හියුස් විවාහයට පෙර පටන්ම දැනුම් දී තිබිණි. අවසානයේ ඩොලර් මිලියනයක වන්දියක් ගෙවමින් ඔහු ඇගෙන් ඉවත් විය. මේ සිද්ධියත් සමඟ හියුස් මඳින් මද සමාජයෙන් දුරස් වන්නට පටන් ගත්තේ ය. ඔහුගේ සමීපතමයන් සිතුවේ ඔහු සිය අති සුඛෝපභෝගී ජීවිතයෙන් විඩාපත් ව සිටින බවයි. සැබෑ කතාව එයට වඩා බෙහෙවින් සංකීර්ණ එකක්විය. ඔහු මිනිසුන්ට සහ විෂබීජවලට අසාමාන්‍ය බියක් දැක්වීමේ ඇගරොෆෝබියා නමැති භීතිකාවෙන් පෙළෙන්නට පටන් ගෙන තිබුණේය. ඒ බව බොහෝ කලක් යන තෙක් හෙළි වුයේ නැත.

ඔහු නෙවාඩා කාන්තාරය මැද මහා මන්දිරයක් ඉදි කර ගෙන හුදෙකලාව ජීවත් වන්නට පටන් ගත්තේ ය. ඔහු හමුවන්නට යම්කිසි අයෙක් පැමිණියේ නම් ඊට පෙර එම පුද්ගලයා වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීම අනිවාර්ය විය. ඔහුගේ ම විශේෂඥ වෛද්‍යවරයාට පවා ඔහු පරීක්‍ෂා කර බැලීමට සිදුවුයේ අනෙක් පස කාමරයේ සිට ය. නිතරම සිය පුටුවේ පැත්තකින් ටිෂූ කඩදාසි පෙට්ටියක් තබා ගන්නට ඔහු පුරුදු විය. ක්‍රමයෙන් ඔහු සිය කාමරයෙන් පිටතට යාම ප්‍රතික්ෂේප කළේ ය. කට කුඩා වීදුරු බෝතල් සමූහයකට මුත්‍රා කළ ඔහු, ඒවා සිය කාමරයේ පෙළට තබාගෙන සිටියේ ය. විටෙක ඔහු සති කිහිපයක් මුළුල්ලේ එක දිගට ආහාර ලෙස ගත්තේ ටින් කළ කුකුළු මස් පමණි. එක දිගට අයිස්ක්‍රීම්වලින් පමණක් කුස පුරවාගත් මාස ද විය. නියපොතු සහ කෙස් වැටිය කැපීම ද ක්‍රමයෙන් නතර කළේ ය.

අවසන් වසර දහයේදී ඔහු කරණවෑමියාගේ සහාය ලබාගෙන ඇත්තේ දෙවරක් පමණි. එහිදී ද ඔහු ශල්‍ය වෛද්‍යවරයෙකු මෙන් ශුද්ධ පවිත්‍ර වී පැමිණිය යුතු විය. ඩොලර් දහසක අධික ගෙවීමක් ඒ සඳහා ලැබිණි. අවසානයේ 1976 වසරේ මෙක්සිකෝවේ ඇකපුල්කෝ නුවර රහස් හෝ්ටල් කාමරයක ට කැඳවනු ලැබූ ඔහුගේ වෛද්‍යවරයා ඔහු දැක කම්පනයෙන් කෑ ගැසුවේ ය. සයනයේ වැතිර සිටියේ ඖෂධ අධිභාවිතය සහ මන්දපෝෂණය නිසා හඳුනාගැනීමට පවා නොහැකි හොවාඩ් හියුස් කෙනෙකි. වසර ගණනාවකින් කපානැති නියපොතු ඒ වන විට උකුස්සකුගේ මෙන් දිගට වැවී තිබිණි. ප්‍රතිකාර සඳහා ටෙක්සාස් නුවර ට ගෙන එමින් සිටියදී, ජීවිතයේ එක් කලෙක ගුවන්යානවලටත් පියාසැරියන්ටත් අසාමාන්‍ය ලෙස පෙම් කර සිටි මේ මිනිසා, ගුවනේදී අවසන් හුස්ම හෙළුවේය.

2004 වසරේදී ඔස්කාර් සම්මාන සඳහා ද නාමයෝජනා ලද “දි ඒවියේ, සුපිරි නළු ලියනාඩෝ ඩි කැප්රියෝ රංගනයෙන් දායක වන ‘දි ඒවියේටර්” චිත්‍රපටය තැනුණේ හොවාඩ් හියුස්ගේ ජීවිත කතාව ඇසුරෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි