×

එක්කෝ දේශගුණික හදිසි තත්වයක් (climate emergency) ප්‍රකාශයට පත් කරන්න – නැතිනම් විපත්තියට මුහුණ දෙන්න ! -UN

‘‘එක්කෝ දේශගුණික හදිසි තත්වයක් (climate emergency) ප්‍රකාශයට පත් කරන්න - නැතිනම් විපත්තියට මුහුණ දෙන්න !‘‘ මේ පණිවුඩය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබාදුන්නේ වසර 2050 වන විට ලෝකයේ කාබන් විමෝචනය ශුන්‍යයක් බවට පත් කර ගැනීමේ අරමුණින් පවත්වනු ලැබූ සමුළුවකදී ය.


සියලු රටවලට දේශගුණය සම්බන්ධ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙස එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මහ ලේකම් ඉල්ලා සිටින අතර එසේ නො කළ හොත් ‘විනාශකාරී’ ප්‍රතිඵල අත්විදින්නට සිදුවනු ඇති බව තව දුරටත් කියා සිටියි.

UN මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්

පසුගිය සෙනසුරාදා දේශගුණ වෙනසින් බලපෑමට පත් කුඩා ම රාජ්‍යයේ සිට විශාලත ම පරිසර දූෂක රාජ්‍යයන් දක්වා ලෝක නායකයන් විශාල සංඛ්‍යාවක් ඇමතූ අතත්‍ය (virtual) දේශගුණ අභිලාෂ සමුළුව (Climate Ambition Summit) පැවැත්විණ.

ලෝකයට සිදුකරන ‘හිරිහැර නවතන්නට’ ද හරිතාගාර වායූන් භාවිතය අවම කරන්නට ද ජාතින් උනන්දු කරවනු ලැබිණ.

එක්සත් ජාතීන් ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් ලොව සෙල්සියස් අංශක තුනට වැඩි උණුසුම් තත්ත්වයක් කරා යන බවට අනතුරු අනතුරු අගවා ඇති අතර, කාබන් මධ්‍යස්ථ (Carbon neutral) වන තුරු දේශගුණික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙසට ජාතීන්ට උනන්දු කරවා ඇත.
මේ වන විට රටවල් 38ක් එසේ සිදු කර ඇත.

පසුගිය මස පවත්වන්නට නියමිතව තිබූ එක්සත් ජාතීන් ගේ දේශගුණ වෙනස්වීම් සම්මේලනය (COP26) ගෝලීය වසංගතය හේතුවෙන් වසරක් කල්‍ යාමෙන් පසුව, මේ ඔන්ලයින් සමුළුව රටවල් අතර අභිලාෂාත්මක කාබන් අවම කිරීමේ සැලැසුම් ඇති කරන්නට උනන්දු කරවන්නට පවත්වනු ලැබුණි.

පැරිස් එකගතාවේ සිට වසර පහක් ගත ව ඇති අතර එහිදී ගෝලීය උෂ්ණත්වය 1.5Cකට පවත්වාගෙන යන්නට උත්සහ දරන්නට රාජ්‍යයෝ එකඟ වූහ.

මේ සීමාවෙන් අංශක දශම ගණනක උණුසුමක් පවා මාරක ප්‍රතිඵල අත්කරදෙනු ඇත.

බොහෝ රටවල් 2050 වන විට කාබන් විමෝචනය ශුන්‍ය කරන්නට සැලැසුම් ඉදිරිපත් කළ අතර, මීළග දශකය තුළ හරිතාගාර වායූන් භාවිතය අවම කරන්නට කෙටිකාලීන ඉලක්ක ද සාකච්ඡාවට බඳුන් කළහ.

සමුළුවට සත්කාරකත්වය සපයමින් බොරිස් ජොන්සන්, “අප මෙය කරන්නේ විද්‍යාත්මක සොයාගැනීම්, අප සියලු දෙනාට මනුෂ්‍යයන් වශයෙන් අප ගේ ග්‍රහලෝකය බේරා ගන්නට සහ අප කොවිඩ් රෝගයෙන් මිදුණු පසු මිලියන ගණනින් ඉහළ කුසලතා අවශ්‍ය රැකියා ඇති කරන්නට අපට ඉඩ දෙනු ඇති නිසා යි” යැයි කියා සිටියේ ය.

රටවල් ගණනාවක් සිය ඉලක්ක ප්‍රකාශයට පත් කරයි

තමා 1990හි මට්ටම්වලට වඩා විමෝචනය 2030 වන විට 68%කින් අඩු කරන බව බ්‍රිතාන්‍යය දැනටමත් පවසා තිබේ.

එය එක්සත් රාජධානියේ, ප්‍රංශයේ සහ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සත්කාරකත්වයෙන් පැවැත්විණ.

සමුළුවේ දී ලබා දෙන ලද පොරොන්දු අතර චීනය සහ ඉන්දියාව විසින් දෙන ලද නැවත අලුත්කළ හැකි බලය සම්බන්ධ නව ඉලක්ක වේ.

ජනාධිපති ෂී ජින්පින් චීනයේ සුළං සහ සූර්‍ය ධාරිතාව දෙගුණ කරන්නට ප්‍රතිඥා දී ඇත. මේ වන විටත් ඔහු චීනය 2060 වන විට කාබන් විමෝචනය ශූන්‍ය රටක් වනු ඇති බවට පවසා තිබේ.

පාකිස්ථානය නව ගල් අගුරු බලාගාර තැනීම අවසන් කරන බව කියා සිටි අතර, කැනඩාව කාබන් බද්ද ඉහළ දමන බවට ප්‍රකාශ කර සිටියේ ය.

තව වසර දහයක් ඇතුළත කාබන් ශූන්‍යය කරා යන්නට බාබඩෝස් සහ මාලදිවයින ප්‍රතිඥා දුන්හ.

ලොව කුඩා ම රාජ්‍යය වන වතිකානුව 2050 වන විට ශූන්‍යය කරා යනු ඇති බවට පාප්වහන්සේ ප්‍රතිඥා දුන්නේ ය. “වර්තමාන ගෝලීය වසංගතය සහ දේශගුණ වෙනස්වීම සියල්ලට ම වඩා දරිද්‍රතාවයෙන් පෙළෙන ජීවිතවලට බලපාන” බව උන්වහන්සේ පෙන්වා දුන්නෝ ය.

“තව දුරටත් කල් දැමිය නොහැකි ක්‍රියා පිළිවෙත් අනුගමනය කරනවාට අමතරව, සම්පූර්ණ විමෝචනය ශූන්‍යය දක්වා ගෙනයන්නට යම් ක්‍රමෝපායයක් අවශ්‍ය යි.”

පැරිසියේ දී සිදු කරන ලද කැපවීම් මේ වසරේ අවසානයේ දී ජාතික ව තීරණය කරන ලද දායකත්ව සමග යාවත්කාලීන වන්නට නියමිත ය.

සෙනසුරාදා පැවැති අතත්‍ය සමුළුව මීට සහභාගි නොවන අනෙක් ජාතීන් ද මීළග සමුළුව පැවැත්වෙන මාස 12 තුළ මේ සම්බන්ධයෙන් යමක් කරවීමට උනන්දු කරවීමට සැලැසුම් සහිතව පැවැත්විණ.

එක්සත් ජාතීන් ගේ සංවිධානයට අනුව, පැරිස් දේශගුණ වෙනස්වීම් එකඟතාව අනුව උෂ්ණත්වය ඉහළ යාම 1.5Cක උපරිමයකට පවත්වා ගෙන යන්නට ලොව පොසිල ඉන්ධන නිෂ්පාදනය 2030 දක්වා වසරකට 6%කින් අවම කර ගත යුතු වේ.

ඇතැම් විශ්ලේෂණ පෙන්වා දෙන අන්දමට වර්තමාන ප්‍රතිඥා ඉටු කරනු ලද හොත් උෂ්ණත්වය ඉහළ යාම 2Cට මදක් ඉහළින් නවත්වාගත හැකි වනු ඇත.

ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව සමුළුවේ නැහැ!

ඩොනල්ඩ් ට්‍රම්ප් පැරිස් එකඟතාවයෙන් ඉවත්වීම නිසා සමුළුවට ඇමරිකාවේ සහභාගි නොවීම කැපී පෙණින. කෙසේ නමුත් නැවත බලයට පැමිණෙන බයිඩන් පරිපාලනය කළ පළමු කාර්යයන් අතරින් එකක් වූයේ, පැරිස් සම්මුතිය වෙත නැවත පිවිසෙන බවට නිවේදනය කිරීමයි. ඒ අනුව ඔවුන් ඉදිරි වසරවලදී දැකගත හැකි වනු ඇත.

ඔස්ට්‍රේලියාව ද සමුළුවට සහභාගි වූයේ නැත.

පෙර ලිපි

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව වසරේ වචනය – climate emergency

දේශගුණික හදිසි තත්වය නිසා මරණ වරෙන්තුව අතැතිව මධුසමයට එන සුන්දර අසරණයෝ

climate emergency පිළිබඳ පෙර සියලු ලිපි මෙතැනින් කියවන්න…

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි