×

එවරස්ට් කඳු නගින්නන් 100කට කොරෝනා

නේපාලයේ එවරස්ට් කන්ද ආශ්‍රිත මූලික කඳවුරුවල සිටින කඳු නගින්නන් සහ මාර්ගෝපදේශකයන් 100කට අධික පිරිසකට මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.


කඳවුරුවල ගණනය කිරීම් අනුව, එම අගය 200 ක් පමණ විය හැකි බවද, මාර්ගෝපදේශකයන් 6දෙනෙකු ද ඒ අතර වන බව එහි සිටින කඳු නගින්නෝ පවසති.

මැයි මාසයේ මුල් සතිය වනවිට, කත්මන්ඩු නුවර රෝහල් කරා ගෙන ගිය කඳු නගින්නන් 17දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබිණි. එම පිරිස කඳවුරුවලට පැමිණීමෙන් පසු වයිරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇතැයි ද රෝහල් කාර්ය මණ්ඩලය පැවසීය.

මීට අමතරව  මූලික කඳවුරේ සිටින බොහෝ පිරිසකට කැස්ස සෑදී ඇති බවත්, තවත් අයට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවත්, ආසාදිත කඳු නගින්නන් ගණන දිනපතා ඉහළ යමින් පවතින බවත්,වෛද්‍ය ප්‍රකාශ් කාරෙල් මහතා සදහන් කරයි.

“ඔබ මෙහි ආවොත්, ඔබට ඇසේවි හැමපැත්තෙන්ම මිනිස්සු කහින සද්දෙ. නමුත් මේ අපිට එදිනෙදා හැදෙන විදියේ සාමාන්‍ය කැස්සක් නෙමේ. ඔවුන් ඉන්නේ වේදනාවෙන්. කැස්සට අමතරව ඇගපත රුදාවෙන්, උණෙන් ඔවුන් පීඩා විදිනවා”

නෝවීජියානු කඳු නගින්නෙකු පැවසූවේ, ඉකුත් මාසයේ කත්මන්ඩු නුවර රෝහල් දෙකකදී වාර තුනකදී තමන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි.

“මේ කඳවුරුවල කොරෝනා වයිරසය ඇත්දැයි හදුනාගන්නා මෙවලම් සහ සෞඛ්‍ය පහසුකම් අවමයි. අපි රජයෙන් ඒ පහසුකම් ඉල්ලා සිටියත් රජය කියනවා, ඒ වෙනුවෙන් අවසර දෙන්න බැහැ කියලා” යි එහි පිරිස කියාසිටිති.

මේ වාරයේදී, නේපාල රජය විසින් කඳු නගින්නන් 408දෙනෙකුට බලපත්‍ර නිකුත් කර ඇති බව, එරට සංචාරක දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියක් කරුණු දක්වා තිබේ.

තත්වය මෙසේ වුවද, රජයේ රෝහල්වල නිලධාරීන් ආසාදිතයන් ගණන කීම මග හරිමින් සිටින බව පැවසේ. සංචාරක අමාත්‍යංශයේ ඉහළ බලධරයන් පවා, එවරස්ට් කඳු නගින්නන්ට කොරෝනා ආසාදනය වී ඇති බව ප්‍රතික්ෂේප කරන අතර, නේපාල රජය ද නොසැලකිලිමත් බවක් දක්වා ඇත.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් වසරේදී එවරස්ට් කඳු තරණය තහනම් කර තිබුණි. කෙසේ වෙතත්, මේ වසරේ අප්‍රේල් මාස අග වන විට එවරස්ට් කඳු නගින්නෙකු වූ නෝවිජියානු ජාතික එර්ලෙන්ඩ් නෙස් නමැත්තාට කොරෝනා ආසාදනය වී තිබූ අතර, ඔහු ඒ බව වාර්තා කළ  පළමු ආසාදිත  එවරස්ට්  කඳු නගින්නා විය.

මේ වනවිට නේපාලයේ දිනපතා තහවුරු වන ආසාදිතයන් ගණන ඉහළයම්න් පවතී. නේපාලයේ සමස්ත ආසාදිතයන් ගණන 497,000ක් වන අතර, මරණ 6,024ක් වාර්තා වී තිබේ. ඉන්දියාවෙන් පසු කොරෝනා ඛේදවාචකයට නේපාලයටද මුහුණදීමට සිදුවිය  හැකි බවට විශ්ලේෂකයෝ අනතුරු අගවති.

ඩිල්ෂානි චතුරිකා දාබරේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි