×

ඔක්තෝබර් 29 – අද වැනි දවසක ලෝක සිතියම

ලෝක සිතියමේ අද වැනි දවසක


අද, ඔක්තොම්බර් 29 වැනිදා යි

1618 – ශ්‍රීමත් වෝල්ටර් රැලේ හට මරණ දඬුවම

1618 – ඉංග්‍රීසි ජාතික දේශගවේශකයකු, ගත් කතුවරයෙකු සහ රාජ්‍ය නිලධරයකු වන ශ්‍රීමත් වෝල්ටර් රැලේ හට රාජ්‍යද්‍රෝහීත්ව වරදට පළමුවැනි ජේම්ස් රජු විසින් මරණ දණ්ඩනයට පමුණුවනු ලබයි.

1929 – මහා ආර්ථික අවපාතයේ ඇරඹුම

1929 – එක්සත් ජනපදයේ කොටස් වෙළඳපොළේ කඩා වැටීම – පුරා දස වසරක් පැවති මෙය ආරම්භ වූයේ අද වැනි දිනෙක ය. වෝල්ස්ට්‍රීට් හෙවත් ඇමරිකානු කොටස් වෙළඳපොළෙන් මිලියන ගණන් ආයෝජකයන් ඉවත් වී යාමට එය හේතු විය. මීළඟ වසර ගණනාව පුරාම ඇමරිකාවේ පාරිභෝගික වැයකිරීම් සහ අයෝජන බරපතළ ලෙස පහත වැටුණේ කාර්මිල ලෝකයේ විශාලතම ඇද වැටීම සටහන් කරමිනි. 1933 වන විට මෙම ආර්ථික කඩාවැටීම උපරිමයක් වූයේ මිලියන 15 ක් වූ ඇමරිකානුවන්ට රැකියා අහිමි කරමිනි. එක්සත් ජනපද ආර්ථිකයේ මහා අවපාතය (Great Depression) ආරම්භ වූ මේ දිනය ‘කළුඅඟහරුවාදා‘ නමින් ද හැඳින් වේ.

1944 – දෙවැනි ලෝක යුද්ධය – සෝවියට් දේශයේ රතු හමුදාව හන්ගේරියාව වෙත ඇතුළු වෙයි.

1958 – ඩොක්ට ෂිවාගෝ කතුවරයා නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කරයි

1958 – රුසියානු ජාතික ගත් කතුවර බොරිස් පැස්ටර්නැක් සාහිත්‍යය සදහා වන නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කරයි. ඔහු ලෝ ප්‍රකට ඩොක්ට ෂිවාගෝ  ‘Dr Zhivago‘ කෘතියේ කර්තෘවරයා යි.

1959 – සූර පප්පා පළ වෙයි

1959 – ‘සූර පප්පා’ යන නමින් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වන Asterix කතා මාලාව ප්‍රංශ පුවත්පතක් වන Pilote හි ප්‍රකාශයට පත් වෙයි. මෙය රෙනේ ගොශිනි ගේ ප්‍රබන්ධයක් වන අතර එහි චිත්‍ර ඇල්බර්ට් උදර්සෝ ගෙනි.

1960 – මොහොමඩ් අලිගේ තීරණාත්මක ජයග්‍රහණය

කැෂියස් ක්ලේ, රෝමයේදී (1960)

1960 – පසුකාලීනව මොහොමඩ් අලී යන නමින් හැදින්වෙන කැෂියස් ක්ලේ ගේ ප්‍රථම වෘත්තිමය බොක්සිං තරගය පැවැත්වෙයි. ඔහු ටනී හන්සෙකෙර් වට 6ක තරගයකින් පරාජයට පත් කරයි. අනතුරුව දිගින් දිගටම බොක්සිං ලෝකයේ විශිෂ්ටතමයා ලෙස හැඳින්වුණු මොහොමඩ් අලී, විසිවන සියවසේ දක්ෂතම ක්‍රීඩකයෙක් ලෙස ඉතිහාසයට එක් ව සිටියි.

1969 – වර්තමාන අන්තර්ජාලයට මග ලකුණු කරමින් පරිගණක දෙකක් අතර මුල් ම සම්බන්ධතාව ඇති කරනු ලබයි. මෙය ‘ආපනෙට්‘ – ARPANET යන නමින් හැදින්විණ.

මුල්ම පරිගණක මෙසේ සම්බන්ධ විය

1991 – ඇමරිකානු අභ්‍යාවකාශ යානයක් වන ගැලීලියෝ ඇස්ටරොයිඩයක් වෙත ගිය ප්‍රථම මානව යානාව බවට පත් වෙයි. එම යානය එසේ ගියේ 951 Gaspra යන නමින් හඳුන්වන ඇස්ටරොයිඩය වෙත ය.

1998 – සංහිඳියාවේ ආරම්භය

1998 – දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ සංහිඳියාව පිළිබද කමිටුව විසින් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය පිළිබද වාර්තාව ලබා දෙනු ලබයි. 1948 වර්ෂයේ දී ජාතික පක්ෂය බලයට ඒමත් සමග දකුණු අප්‍රිකාවේ සුදු හා කළු ජාතිකයන් වෙන් කොට සලකනු ලැබීමෙන් ඇතිවූ වර්ණභේදවාදී අරගලයෙන් පීඩා වින්දවුන් සුවපත් කිරීම, හානි පූරණය, සහ නැවත ඇති නොවන සේ වගබලා ගැනීම එහි ප්‍රධාන ලක්ෂණ විය. මෙම සත්‍ය කොමිසම, ලංකාව ද ඇතුළු ලොව පුරා අරගල සහ යුද්ධවල ඉතිහාසයක් සහිත රටවල සංහිඳියා යාන්ත්‍රණවල මුල්ගල ලෙස සැලකේ.

2004 – අරාබි ප්‍රවෘත්ති ජාලයක් වන අල් ජසීරා විකාශනය කළ ඔසාමා බින් ලාඩන් ගේ  වීඩියෝවක කොටසක ඔහු ඇමරිකාවට සිදු කළ 9/11 ප්‍රහාරයට වගකීම භාර ගනියි. තවදුරටත් ඔහු 2004 එක්සත් ජනපද ජනාධිපතිවරණය පිළිබද ද සඳහන් කරයි. 2011 වසරේ දි ඔහු එක්සත් ජනපද විශේෂ භට කණ්ඩායමක් විසින් මරා දමනු ලැබෙන්නේ පාකිස්ථානයේදී ය. ඔබාමා පාලනය යටතේ සිදුවූ මෙය, ඇමරිකාව විසින් දියත් කළ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකේ.

2015 – චීනයේ එක් දරු ප්‍රතිපත්තිය අවසන්

2015 – වසර තිස් පහකට පසු චීනය එරට එක් දරු ප්‍රතිපත්තිය අවසන් කරන බව නිවේදනය කරයි. ඒ අනුව, 2016 වසරේ චීනයේ යුවලවලට දරුවන් දෙදෙනකු බිහි කිරීමට අවස්ථාව ලැබේ. එක්දරු ප්‍රතිපත්තියේ ආනිශංස චීනයට මේ වන විට වැටහී තිබේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි