×

ඔවුන් මේ කොහි යන්නේ ..?…

2018 නෙල්සන් සමස්ත ග්‍රාහක වාර්තාවට අනුව වයස අවුරුදු 18ත් 34ත් අතර වයස් ඛණ්ඩයේ පසුවන ඇමෙරිකා ජාතිකයෝ පුදුමාකාර ලෙස රූපවාහිනියට ඇබ්බැහි වී සිටිති.


තොරතුරු සම්ප්‍රේෂණය සහ විනෝදස්වාදය සැපයීමේ කර්යයන් සඳහා මෑත යුගයේ බිහිවුණු ප්‍රබලම මෙවලම් අතර ජංගම දුරකතන, පරිගණක, ලප්ටෝප් පරිගණක, ටැබ් සහ රූපවාහිනි යන්ත්‍රවලට හිමි වන්නේ සුවිශේෂ තැනෙකි. එහි ප්‍රතිඵලයක් හැටියට මිනිසාගේ කාලයෙන් විශාල කොටසක් මේ මෙවලම් අසලදී නැති නාස්ති වී යයි. මේ කාලය අහිමි වන්නේ මිනිසාට ඒ ගැන සිතන්නට ඇහි පිය හෙලන තරමේ කාලයක්වත් ඉතිරි කර නොවේ.

සමාජ මාධ්‍ය ඇප්, රූපවාහිනි වැඩසටහන් සහ වීඩියෝ ක්‍රීඩා ඇමෙරිකාවේ නූතන වැඩිහිටියකුගේ දවසෙන් පැය 11කට ආසන්න කාලයක් කා දමන බැව් නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි. කාර්යය බහුල බව කියමින් හිස ගිනිගත් කලෙක මෙන් ඉස්පාසුවක් නැතිව දුවන දියුණු රටක මිනිසුන් මේ අනුව දවසෙන් දෙකෙන් පංගුවකට ආසන්න කාලයක් වැය කරන්නේ විනෝදාස්වාදයට නොවේදැයි කියන සැකය මතු වේ. එහෙම බලනවිට ඔවුන් භූක්ති විඳින්නේ මොන යම් ආකාරයක අවිවේකයක්දැයි කියාත් ප්‍රශ්න නොකර ම බැරි ය.

තොරතුරු සන්නිවේදන මෙවලම් සමඟ වත්මන් මිනිසා ගෙන යන අවියෝජනීය සම්බන්ධය ගැන නවතම තොරතුරු ඉදිරිපත් කරන්නේ ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ ස්ථාපිත නෙල්සන් නමැති සමීක්ෂණ ආයතනයයි. තොරතුරු සන්නිවේදනය කරන සහ විනෝදාස්වාදය සපයන මෙවලම් ඇසුරෙහි මිනිසා ගත කරන කාලය, ඊට පෙර වසරවලදී ඔහු ඊට යෙදවූ කාලයට වඩා වැඩිවීමක් පෙන්නුම් කරන බව නෙල්සන් ආයතන වාර්තාවේ දැක්වේ.

මේ වසරේ පළමු කාර්තුව දෙස බලන විට ඇමෙරිකා ජාතිකයකු සාමාන්‍යයෙන් දිනකට පැය හයක පමණ කාලයක් වීඩියෝ නරඹන බව අනාවරණය වී ඇත. ඔවුන් ඒ සඳහා භාවිතයට ගන්නේ රූපවාහිනි, රූපවාහිනි යන්ත්‍රවලට සම්බන්ධ කරන අවශේෂ මෙවලම්, ලැප්ටොප්, පරිගණක යන්ත්‍ර සහ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනය හෝ ටැබ් හෝ බැව් අනාවරණය වේ. රූපවාහිනි යන්ත්‍රවලට සම්බන්ධ කරන “සෙට් ටොප් බොක්සස්” ගණයේ ගූගල් ක්‍රෝමෙකාස්ට්, ඇමේසන් ෆයර් ටීවී සහ ඇපල් ටීවී ආදිය නිසා රූපවාහිනිය නැරඹීම වැඩි වී ඇති බවත් තහවුරුව තිබේ. 2018 නෙල්සන් සමස්ත ග්‍රාහක වාර්තාවට අනුව වයස අවුරුදු 18ත් 34ත් අතර වයස් ඛණ්ඩයේ පසුවන ඇමෙරිකා ජාතිකයෝ පුදුමාකාර ලෙස රූපවාහිනියට ඇබ්බැහි වී සිටිති. ඔවුන් රූපවාහිනිය නරඹන්නේ යටකී ආකාරයේ මෙවලම් පමණක් නොව ඩිජිටල් මෙවලම් ද රූපවාහිනියට සම්බන්ධ කර ගනිමිනි.

විනෝදාස්වාදන මෙවලම්, මිනිසා කලින් කලට භාවිතයට ගන්නා ස්වරූපයත් වෙනස් වී ඇත. ඇතැම් අවස්ථාවලදී මෙවලම් දෙකක් එකවර භාවිතයට ගනිමින් ප්‍රේක්ෂකයා විනෝදවන ආකාරයක් දැකිය හැකි බව සමික්ෂයෝ පවසති. තම ස්මාර්ට් ජංගම දුරකතනය භාවිතයට ගනිමින් වීඩියෝ දර්ශන පෙළක් නරඹන අතර තුර ගුවන් විදුලියෙන් විකාශනය වන ගීතයකට සවන් දෙන්නට ඇතැම් ප්‍රේක්ෂකයෝ පුරුදුව සිටින්නෝය. ඒ වූ කලී තමන් ලබන විනෝදය එකවර දෙගුණයකින් වැඩිකර ගැනීමට මිනිසා දඟලන දැඟලිල්ලකි.

නෙල්සන් ආයතනය එළි දැක්වූ සමීක්ෂණ වාර්තාව වැනිම වාර්තාවක් බ්‍රිතාන්‍යයේ සංඛ්‍යා ලේඛන කාර්යාලය පසුගිය කාලයේදී එළිදක්වන ලදී. එයින් අනාවරණය වුණේ බ්‍රිතාන්‍යය ජාතිකයන් විනෝදාස්වාද කාර්යය සඳහා තාක්ෂණ මෙවලම් භාවිතයට ගන්න ආකාරයයි. එහි නිළධාරීන් පවසන්නේ ගැටවර වයසේ පසුවන සෑම අට දෙනෙකුගෙන්ම එක් අයෙකු දිනකට අඩුතරමින් පැය තුනක්වත් සමාජ මධ්‍යය තුළ සැරිසරන බවකි. ගෙවුණු වසර හතර තුළ තත්ත්වය දෙගුණයකින් ඉහළ ගිය බවක් එයින් පෙන්නුම් කරන්නේයැයි එම නිළධාරීහු පවසති. ඔවුන් අවධාරණය කරන්නේ තරුණ බ්‍රිතාන්‍යය ගැහැණු ළමයින් වැඩිපුරම භාවිතයට ගන්නේ ට්විටර් සහ ෆේස්බුක් සමාජ වෙබ් අඩවි යැයි කියාය. එසේ වුවත් පිරිමි ළමයින් වැඩිපුර භාවිතයට ගන්නේ ඉන්ස්ටග්‍රෑම් බැව් පර්යේෂකයන්ට තහවුරුව ඇත. සමාජ මාධ්‍ය භාවිතයට වැඩියෙන්ම ඇබ්බැහි වී සිටින්නේ ගැහැණු ළමයින් බවත් එයින් කියැවිණ.

විනෝදාස්වාදය සඳහා තාක්ෂණික මෙවලම් සහ සමාජ මාධ්‍ය භාවිතයට ගැනීම, මානසික සෞඛ්‍යය නිරෝගීව පවත්වා ගැනීමට බාධාවක් බැව් සමාජ මාධ්‍ය ආයතන බලධාරීහු ම විටින් විට ප්‍රකාශ කරති. එහෙව් කළ දියුණු රටවල මිනිසුන් මේ කොහි යන්නේදැයි කියන ගැටළුව මතු වේ. ඒ මදිවාට ඔවුන්ගේ පස්සෙන් වැටී සිටින දියුණුවෙමින් පවතින රටවල ජනයාගේ විනෝදවීමේ ප්‍රවණතාවයත් මේ පැත්තටම නැඹුරු වූවක් ද යන්න කිසිවක් අනාවරණය නොවූ පැතිකඩකි.

ඡායාරූප සබැඳුම

http://www.dailymail.co.uk/sciencetech/article-6014771/Adults-spend-HALF-time-awake


Silence is argument carried out by other means.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි