×

ඔස්ට්‍රේලියානු ලැව් ගිනිවලින් බිලියන 1 ක් වනජීවීන් මරුට!

ඔස්ට්‍රේලියාවේ තවමත් පැතිරෙන ලැව්ගිනි (බුෂ් ෆයර්ස්) හේතුවෙන් බිලියනයක වන ජීවීන් මරණයට පත්ව තිබිය හැකි යැයි ලෝක වනජීවී අරමුදලේ ඔස්ට්‍රේලියානු ශාඛාව (WWF Australia) Sky News අමතා ප්‍රකාශ කරයි.


ක්ෂීරපායීන්, පක්ෂීන්, උරගයන්, වවුලන්, මැඩියන් සහ කෘමීන් යන සියලුම ජීවී කාණ්ඩ මේ අතර වන බව ද සඳහන් වේ.

ඔස්ට්‍රේලියානු වනජීවී අරමුදල තවදුරටත් පවසන්නේ ඉදිරි සති කිහිපය සහ මාස කිහිපය තුළ විජලනය, සාගින්න, ලෙඩ රෝග සහ ෆෙරල් කැට්ස් හා නරින් යන විලෝපිකයන්ට හසුවීම නිසා තවදුරටත් මරණයට පත් වී ඉක්මනින්ම බිලියනයේ සීමාව වෙත ළඟා වනු ඇති බවයි.

‘‘ඔස්ට්‍රේලියානු වනජීවීන්, නිතර ඇති වන ලැව්ගිනිවලට ඔරොත්තු දීමට විකරණය වී ඇති සතුන්. නමුත් මෙවර හටගත් ගිනිජාලා ඔවුන්ට දරාගත නොහැකියි..‘‘ යැයි ද එය තවදුරටත් සඳහන් කරයි.

මෙවර ලැව්ගිනි අධික වේගයෙන්, අධික උෂ්ණත්වයකින් යුතුව සහ අධික විශාලත්වයකින් යුතුව පැතිරෙමින් තිබීම එයට හේතුවයි.

This satellite image shows smoke from wildfires burning east of Obrost, Victoria - Sky News

This satellite image shows smoke from wildfires burning east of Obrost, Victoria – Sky News

අඩි 200 ක් උස ලැව්ගිනි

ඇතැම් ස්ථානවල මේ වන විට ලැව්ගිනි අඩි 200 ක් උසට වර්ධනය වී ඇති බව ද සඳහන් ය.

ගල් අඟුරු ද වනජීවීන් ද?

‘‘ඔස්ට්‍රේලියාවට එක්කෝ තවදුරටත් ගල් අඟුරු නිපදවා අපනයනය කරන්න පුළුවන්. නැතිනම් වනජීවී සම්පත රැක ගන්න පුළුවන්. නමුත් මේ දෙකම එකවර කරන්න බෑ. එකක් තොරාගත යුතුයි‘‘ යැයි ද එහි ප්‍රකාශකයා ස්කයි නිව්ස් සමග පැවසුවේය.

දින 4කට පෙර බිලියන බාගයයි

මේ අතර, මෙයට දින 4කට පමණ පෙර සිට වාර්තා වූයේ මේ වන විට ඔස්ට්‍රේලියානු වනජීවීන්ගෙන් බිලියන භාගයක්, එනම් මිලියන 480-500 අතර ප්‍රමාණයක් ගින්නෙන් වැනසී ඇති බවයි.

නමුත් අද දිනයේ ස්කයි නිව්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මේ සංඛ්‍යා ලේඛන අදාළ වන්නේ නිව් සවුත් වේල්ස් ජනපදයට බවයි. නිව් සවුත් වේල්ස් ජනපදයේ පමණක් පක්ෂීන්, උරගයන් සහ ක්ෂීරපායීන් මිලියන 500 ක් පමණ ගින්න නිසා ගිනිබත් වී ඇති බව එය වාර්තා කරයි.

නිකේතනවලින් 30%ක් ගින්නට බිලි

තවද මේ වන විට ඔස්ට්‍රේලියානු වනජීවීන්ගේ නිකේතනවලින් 30%ක් පමණ ගින්නට බිලි වී ඇත.

කෝලා වලසුන්ගේ වඳ වී යාම ආරම්භ වේ

වසර 2050 වන විට වඳ වී යාමට පටන් ගනු ඇතැයි ගණන් බලා තිබූ කෝලා වලසුන් සිඩ්නි ජනපදයෙන් මේ වන විටත් වඳ වී යන සත්ව විශේෂයක් ලෙස නම් කර තිබේ. මේ අනුව මෙම ලැව් ගිනි හේතුවෙන් කෝලා වලසුන්ගේ වඳ වී යාම වසර 30කින් ඉක්මන් වී තිබේ.

දකුණු දිග ඔස්ට්‍රේලියාවේ කැන්ගරු දූපත ද ගිනිදැල්වලින් වෙළාගෙන තිබේ.

ප්‍රාන්ත 3 ක් ගිනිබත්! – මිනිස් මරණ ගණන 24 යි

මේ වන විට නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු දිග ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත 3 ම විශාල වශයෙන් ගිනි රකුසාට බිලි වී තිබේ.

නිව් සවුත් වේල්ස් ජනපදයේ අහස අද (05) උදෑසන වන විට ලේ රතු පැහැය ගෙන තිබිණි.

මිනිස් ජීවිත හානි 24ක් වාර්තා වන අතර, නිවාස 2000 ක් ද ගිනිබත් වී ඇත.

හෙක්ටයාර මිලියන 5 ක් ගිනිබත්!

ඔස්ට්‍රේලියාව මේ මාරක ගිනි ජාලාවලට මැදිවූයේ 2019 සැප්තැම්බර් මාසයේ සිට ය. මේ වන විට හෙක්ටයාර මිලියන 5 ක් (අක්කර මිලියන 12.35 ක්) ගිනිබත් වී තිබේ.

ප්‍රකට පුද්ගලයන්ගේ සහාය

Celebrities and business leaders help to raise millions to fund firefighting operations

Celebrities and business leaders help to raise millions to fund firefighting operations – Sky News

මේ වන විට ව්‍යාපාරිකයන් , කලාකරුවන් ඇතුළු ලොව ප්‍රකට පුද්ගලයන් රැසක් ඔස්ට්‍රේලියාව මුහුණ දී ඇති විපත වෙනුවෙන් හැකි පමණින් ආධාර කරමින් සිටිති.

සුපිරි නිළි නිකොල් කිඩ්මන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක්ද, සිඩ්නි නුවර හැදී වැඩුණු පින්ක් විසින් ඩොලර් ලක්ෂ 5ක්ද පරිත්‍යාග කර තිබේ.

නමුත් මේ මුළු ලෝකයේම සිටින ධනවතුන්ගේ මුදල් ඔස්ට්‍රේලියාවට පරිත්‍යාග කළත්, ඔස්ට්‍රේලියාව මේ අහිමි වූ වන සම්පත (සත්ව හා ශාක) සහ ජෛව විවිධත්වය නැවත කැන්දාගෙන ඒමට අපොහොසත් වනු ඇත.

සොබාදම් මව වියරු වැටුණු පසු ඩොලර් වලින් ඇති ඵලය කිම?

Cover Photo: Sky News



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි