×

ඕස්ට්‍රේලියාවටත් වමේ නැංගුරම් ලායි – කම්කරු පක්ෂයට මැතිවරණයෙන් ජය!

ඒ අනුව මෙය ඕස්ට්‍රේලියාවේ අවුරුදු අට හමාරක පමණ කන්සර්වේටිව් පාලනයේ අවසානය වනු ඇති.


ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයට පත්ව ඇති බවට වාර්තා වනවා. මෙම ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය අත්කරගෙන තිබෙන්නේ දශක එක හමාරකට පමණ පසුවීම විශේෂත්වයක්.

අවසාන වරට කම්කරු පක්ෂය මහ මැතිවරණයෙන් ජය ලබාගෙන තිබෙන්නේ 2007 වර්ෂයේදී.

ඒ අනුව, ස්කොට් මොරිසන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කන්සර්වේටිව් ලිබරල් පක්ෂය මහ මැතිවරණයෙන් ජය තහවුරු කරගත යුතු ආසන 151 ක් හිමි පාර්ලිමේන්තුවේ ආසන 76 ක ජය තහවුරු කර ගැනීමට අසමත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් ප්‍රමුඛ කම්කරු පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 72 ක ජය තහවුරු කර ගැනීමට හැකිව තිබෙනවා. කෙසේවෙතත්, නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආසන 76 ක බහුතරයක් ලබා ගත යුතු බැවින් ඔවුනට සුළු පක්ෂ වල සහාය ලබා ගැනීමට සිදුවනු ඇති බව ද සඳහන්.

ඕස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික රජය කෙරේ ඇති අප්‍රසාදය විශේෂයෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ ධනවත් නාගරික ආසනවලින්ම ප්‍රකාශ වී තිබීම මෙම මැතිවරණයේ විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵල නිවේදනය කිරීමට යම් කාලයක් ඉතිරිව තිබෙනවා. ඒ තැපැල් ඡන්ද ගණනය කිරීම තවමත් අවසාන වී නොමැති හෙයින්.

ලෝකෙ පුරාම වමේ නැංගුරම් ලාන ලකුණු ද?

මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජය ලැබූව ද, ආණ්ඩු බලය ලබා ගැනීමට තව ආසන 04 ක් එම පක්ෂයට අවශ්‍යව තිබෙනවා. මෙහිදී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන, දේශගුණික විපර්යාස හා සමානාත්මතාවය පිළිබඳ බොහෝ දොඩමළු වන දේශපාලන පක්ෂය වන ද ග්‍රීන්ස් පක්ෂයේ සහාය ලබා ගැනීමට කම්කරු පක්ෂයට සිදුවනු ඇති.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් යටතේ එරට බරපතලම ආර්ථික පරිහානිය සිදුවූ බවට වාර්තා වනවා. ඉහළ යන උද්ධමනයට අමතරව, ඕස්ට්‍රේලියාවේ දශක පහක පමණ කාලයක වාර්තා වූ බරපතලම රැකියා වියුක්තිය වාර්තා වූයේ ස්කොට් මොරිසන් ගේ පාලනය යටතේ බවට සඳහන්.

ඕස්ට්‍රේලියාවේ සිදුවූ ලැව් ගිනි හා ඉන් අහිමි වූ පරිසර සම්පත හා විනාශ වූ දේපල හා මිනිස් ජීවිත හමුවේ ස්කොට් මොරිසන් අග්‍රාමාත්‍යවරයා අනුගමනය කළ නිහඬ පිළිවෙත නිසා ඔහු බොහෝ දෙනෙකුගේ පිළිකුල්භාවයට ලක්ව සිටි බව ද සඳහන් වනවා.

ගතවූ කාලය පුරාවට ඕස්ට්‍රේලියාවේ පමණක් නොව එක්සත් රාජධානියේ ද වාමාංෂික කම්කරු පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණයක් වාර්තා වූ අයුරු දක්නට ලැබුණා. වඩා ජනප්‍රියතාවයක් වාමාංෂික මතය දෙසට ආකර්ෂණය වන බව දක්නට ලැබුණත්, මැතිවරණ ජයග්‍රහණය නිතරම පාහේ දක්ෂිණාංශයට හිමිවීම ලෝකයේ බොහෝ රටවල කලක පටන් නිරීක්ෂණය වූ දෙයක්. මෙය වැඩිපුරම දක්නට ලැබුණේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය බ්‍රිතාන්‍යය අහිමිකර ගැනීම හෙවත් බ්‍රෙක්සිට් විවාදයේ දී.

කෙසේවෙතත්, කොවිඩ් වසංගතය හා විවිධ ආර්ථික අභියෝග සමඟ මුළුමහත් ලෝකයක් උඩුයටිකුරු වන විට ජනතාවට ජනප්‍රියතාවාදයේ හා දක්ෂිණාංශයේ රස ඇතිවී ඇති බවක් දක්නට ලැබෙනවා. ඒ අනුව දක්ෂිණාංශයේ ශක්තිමත්භාවය ගිලිහෙන තැන වාමාංෂික මතය ශක්තිමත් වන බවක් දක්නට ලැබෙනවා.

හැබැයි එම මතය ශක්තිමත් වීම හමුවේ මර්දනය ක්‍රියාත්මක වන්නේ අපේ ඈයෝත් ඇතුළුව ඉතාම සුළු රටවල් කිහිපයක. ලැබෙන පරාජය හමුවේ ජනතාව කුපිතකරනු වෙනුවට, අහිංසක විරෝධතාකරුවන්ගේ ඔලුගෙඩි පළනු වෙනුවට, ඉතාම විනීතව ධුරයෙන් ඉවත්වන බව කියන්න ඒ රටවල දක්ෂිණාංශික නායකයන්ට කොන්දක් වත් තිබෙනවා.

ස්කොට් මොරිසන් අග්‍රාමාත්‍යවරයා මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව පවසා තිබෙන්නේ තම ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන බවයි.

ඒ අනුව මෙය ඕස්ට්‍රේලියාවේ අවුරුදු අට හමාරක පමණ කන්සර්වේටිව් පාලනයේ අවසානය වනු ඇති.

ඡායාරූප: ගෙටී ඉමේජස් / ස්කයි නිව්ස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි