×

ඔස්ට්‍රේලියාව ජාතික ගීයේ වචන වෙනස් කරයි – සුළුතර ආදිවාසීන්ට ඉඩ දෙයි

මේ වසරේ ජනවාරි පළමුවන දා සිට ඕස්ට්‍රේලියාවන් ඔවුන් ගේ ජාතික ගීයේ නව සංස්කරණයක් ගායනා කරනු ඇත. එම


වචන වෙනස්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කළේ ය.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ජාතික ගීය තුළ තවදුරටත් එරට “තරුණ සහ නිදහස්” (young and free) යන්න ඇතුළත් නොවනු ඇත. එනම්, මේ අනුව, ඔස්ට්‍රේලියානු ජාතික ගීයේ “For we are young and free” වෙනුවට “For we are one and free” යැයි ගායනා කෙරෙනු ඇත.

මෙය ඕස්ට්‍රේලියාවේ දිර්ඝ ආදිවාසි ඉතිහාසයට ගරු කරනු පිණිස ගත් තීරණයකි.

මේ වෙනස “එක්සත් බවක්” නිර්මාණය කරනු ඇතැයි මොරිසන් අගමැතිවරයා විශ්වාස කරයි.

බොහෝ වශයෙන් සුදු ජාතික ඉංග්‍රිසි පදිංචිකරුවන් 18 වැනි සියවසේ දී ජනාවාස ඇති කරන්නට ප්‍රථම ඕස්ට්‍රේලියාවේ වසර දහ දහස් ගණනක් පුරා දිවෙන ජනාවාසවල ඉතිහාසයක් තිබේ.
පසුගිය වසරේ මුල් භාගයේ මේ වෙනස යෝජනා කරනු ලැබුවේ නිව් සවුත් වේල්ස් ජනපදයේ අගමැති ග්ලැඩිස් බෙරෙජික්ලියන් විසිනි. ජාතික ගීයේ “For we are young and free” ලෙස කියැවෙන කොටසින් එරට “සාඩම්බර මුල් ජාතීන් ගේ සංස්කෘතිය” නොසලකා හරින බව කියැවිණ.

“Young and free” යන්න “One and free” ලෙස වෙනස් කිරීමෙන් කිසිසේත්ම වැදගත් දෙයක් එයින් ඉවත් වන්නේ නැහැ, ඒත් වැදගත් යමක් එක්වනවා” යැයි අගමැති මොරිසන් කියා සිටියේ ය.

‘‘එය අප ජාතියක් ලෙස ගමන් කර ඇති දුර හදුනා ගන්නවා. අප ගේ ජාතික කතාන්දරය පරම්පරා 300කට අධික ප්‍රමාණයකින් සහ භාෂා කණ්ඩායම්වලින් පැමිණෙන බවත්, පොළොව මත සිටින සාර්ථක ම බහුසංස්කෘතික රාජ්‍යය අප බවත් ඉන් හඳුනා ගන්නවා.”

කොරෝනාවෛරස සමයේ ඕස්ට්‍රේලියාවේ වැඩි දියුණු වූ එක්සත් බව ද ඉන් හදුනා ගනු ඇති බව ඔහු පවසයි.

මෑත යුගයේ දී ඕස්ට්‍රේලියාවේ ආදිවාසි ඉතිහාසය සංස්කෘතික සහ දේශපාලනික අවස්ථාවලදී ඉස්මතු කරන්නට එරට විශේෂ උත්සහයන් දරා තිබේ.

ජාතික ගීය වෙනත් බසකින් ගයන්නටත් හැකියාව

පසුගිය දෙසැම්බර් මාසයේ ජාතික රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෝ ප්‍රථම වරට එරට ජාතික ගීය ආදිවාසී භාෂාවකින් ගායනා කළහ. ජාතික ගීය ඉංග්‍රිසියෙන් ගායනා කරන්නට පෙර රග්බි ක්‍රීඩකයෝ සිඩ්නි ප්‍රදේශයේ ජන කණ්ඩායමක් වන ඒඕරා ජන වර්ගයේ භාෂාවෙන් ගායනා කළහ. ඔස්ට්‍රේලියාවේ මෙය මෙසේ සිදුවූවා කියා කිසිදු ආකාරයකින් බහුතරයෙන් විරෝධයක් ද පැන නැංගේ නැත.

ලංකාවේ ජාතික ගීය දමිල බසින් ගායනා කිරීමට ඉඩදිය යුතු ය යන සංවාදය නිසා බහුතරය කලබල වූ ආකාරය ඔබට මතකද? 2016 වසරේ පැවති නිදහස් දින උළෙලේදී පළමු වරට ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා දුර දිග ගියේය. ඒ පිළිබඳ ව අධිකරණ විමර්ශනයක් ද සිදුකෙරිණි.

නමුත් ඔස්ට්‍රේලියාවේදී සුළුතරයට ඉඩදීම සහ පිළිගැනීම ලබාදීම ජාතික අපරාධයක් ලෙස සැලකෙන්නේ නැත. එනිසා ඔවුන් දැන් ජාතික ගීය වෙනත් භාෂාවලින් ගයනවා පමණක් නොව, එහි වචන පවා බහු සංස්කෘතික විවිධත්වය පිළිබිඹු වන ආකාරයට වෙනස් කරන්නට පෙළඹී සිටිති.

main Image: GETTY IMAGES – Wiradjuri woman Olivia Fox sang the national anthem in indigenous language Dharug in December



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි