ඇමරිකාවේ මිනසොටා ජනපදයේ සුදු ජාතික පොලිස් නිලධාරියා, ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් වූ ඒ අසරණ කළු ජාතික මනුෂ්‍යයා සිහිසුන් ව බිම ඇද වැටුණු පසුවත් විනාඩි 3 ක් තිස්සේ ඔහු නරුමයෙකු සේද, කලිසම් සාක්කුවේ අතක් ඔබාගෙන වීරයෙකු ද සේ ද ෆ්ලොයිඩ්ගේ ගෙළ දණහිසෙන් තද කරගෙන සිටියේය. දැන් ඔහුව හඳුන්වන්නේ ‘knee jerk’ යනුවෙනි.
ඩොලර් විස්සේ හොර නෝට්ටුවක් ළඟ තබාගෙන හසු වූ විට ඇමරිකානු පොලිසිය, කළු ජාතික සිවිල් වැසියෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‘අවම බලය‘ යොදා තිබුණේ එසේ ය.
ඩොලර් ලක්ෂ 5 කට ඩෙරෙක් චාවින් නමැති මේ පොලිස් නිලධාරියා ඇප ලබාගත්තේය. ඒ, පිට පිට තුන්වැනි රාත්‍රියටත්, මේ අපරාධය සිදුවූ මිනාපොලිස් පමණක් නොව මුළු මහත් ඇමරිකාවම සුදු ජාතිවාදයට එරෙහිව කලහකාරී ලෙස උද්ඝෝෂණ පවත්වමින් සිටින අතරවාරයේ ය.
පෙනෙන්නට තිබෙන හැටියට මේ තරම් පැහැදිලි සාක්ෂි තිබියදීත් පොලිස් නිලධාරියාට වාසිදායක තත්වයක් නීතිය අනුව උදාවීමට ඉඩ තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ මරණය සිදුව තිබෙන්නේ ගෙළ සිර කිරීම නිසාම නොව, හෘද රෝගී තත්වයක් සහ මත් ගතිය ද සමග එක්වූ තත්වයක් නිසා බව ය. මේ අනුව ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලට, වෝහාරික ව්යාධිවේදියෙකුගේ සහාය මේ සඳහා ලබාගන්නට ද සිදුව තිබේ. ඒ අනුව, මරණය සම්බන්ධයෙන් දෙවැනි, ස්වාධීන පරීක්ෂණයක් ද ඉදිරි දිනවලදී සිදු කෙරෙනු ඇත.
කෙසේ නමුත් මේ අතර, නීතියෙන් දෙන්නට බැරි දඬුවමක් දැනටමත් ඩෙරෙක් චාවින් නොහොත් ‘දණිස් මරුවා‘ට ලැබී තිබේ. ඒ කතාව මෙසේ ය.
ඩෙරෙක් චාවින් පොලිස් නිලධාරියා විවාහ වුණේ මිනසොටා ජනපදයේ විවාහක රූ රැජිනක වන කෙලී සමග ය. අන්තර්ජාලය හරහා සිදුවීම දැනගත් ඇය, මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සඳුදා දිනයේම එදිනම ඔහුට විරුද්ධව දික්කසාදය ගොනු කිරීමට පසුබට නොවූවාය.
‘‘මා සිටින්නේ මිය ගිය ෆ්ලොයිඩ්ගේ පැත්තේ.. මගේ හදවත ඔවුන් ගැන කණගාටුවෙන් පිරී තිබෙනවා. ඔවුන්ගේ ඥාතීන් සමග මා ශෝකය බෙදා ගන්නවා..‘‘ යැයි ඇය කියා තිබේ. පුරා දස වසරක් දීග කෑ පොලිස් සැමියා ගැන ඇගේ අවසන් නිගමනය මෙබඳු එකකි.
‘‘ඔහු මෘගයෙක්…. මෘගයන් ආදරය ලබන්න සුදුසු නැහැ..‘‘