×

කන්වර්ෂන් තෙරපි තහනම් කිරීමේ පළමු පියවර අයර්ලන්තය තබයි. බොරිස් ජොන්සන් තවම “ආගමික නිදහස” ගැන තර්ක කරයි

අයර්ලන්ත රජය ව්‍යාජ මනෝචිකිත්සක ක්‍රමවේදයක් වන පරිවර්තන චිකිත්සාව නැතහොත් කන්වර්ෂන් තෙරපි රට තුළ තහනම් කිරීමට අවධානය යොමු කර තිබේ.


ඒ අනුව, අයර්ලන්තයේ ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය රොඩෙරික් ඔ’ගෝමන් මහතා රජයේ නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙන්නේ පරිවර්තන චිකිත්සාවන් රට තුළ “සදහටම” තහනම් කිරීම සඳහා විමර්ශන දියත් කරන ලෙසයි.

පරිවර්තන චිකිත්සා, නැතහොත් කන්වර්ෂන් තෙරපි යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගලයකු ගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව “නිවැරදි කළ” හැකි යැයි පවසා ගත් ව්‍යාජ මනෝචිකිත්සක ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදයේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අතර, මනෝවෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ පරිවර්තන චිකිත්සාවන්ට භාජනය වූ පුද්ගලයන් පසුකලෙක ජීවිතයේ වඩා බරපතල මනෝවිශාදී තත්ත්වයන් ට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බවයි.

පුද්ගලයකු ගේ ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යාතවය සහ ප්‍රකාශනය ජීවවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක සහ සමාජවිද්‍යාත්මක සාධක සංකලන තුළින් පුරෝකථනය වන පසුබිමක් තුළ පරිවර්තන චිකිත්සාව නම් සංකල්පය පවා අතිශයින් භයානක බවයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ.

සමලිංගිකත්වය සහ සංක්‍රාන්ති සමාජභාවය මානසික රෝගී තත්ත්වයන් යැයි තර්ක කළ මනෝවෛද්‍ය ක්ෂේත්‍රයේ පුනරුදය ඇතිවීමට පෙර පැවති යුගය තුළ සෞඛ්‍ය සේවාවන් තුළ මෙම පරිවර්තන චිකිත්සා සිදුකොට ඇති අතර, එමඟින් පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය පසුකළක සියදිවි නසාගන්නා තත්ත්වයන් ට පවා ව්‍යාකූල වූ බවට විවිධ තොරතුරු ලොව නන්දෙසින් වාර්තා වේ.

ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව සහ ප්‍රකාශනය සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත් සෞඛ්‍ය පද්ධතීන් තුළින් තහවුරු කිරීමත් සමඟ මෙම පරිවර්තන චිකිත්සා භාවිතය ලොව විවිධ රට වල තහනම් කිරීම ආරම්භ විය.

මෙම පරිවර්තන චිකිත්සා විවිධ මාදිලීන් ගනු ලබයි. විදුලි සැර වැදීමට සැලැස්වීම, විරුද්ධ ලිංගිකයකු දෙස බලා බලහත්කාරයෙන් ස්වයංවින්දනයේ යෙදවීම, චිකිත්සකවරයා විසින් පුද්ගලයන් යොදවා සේවාදායකයා ලිංගික අපයෝජනයට භාජනය කිරීම, හෝමෝන අධිමාත්‍රා ලබාදීම, යාගහෝම කිරීම, බලිතොවිල් නැටීම, එක්සෝර්සිසම් සිදුකිරීම, මේ අතර කිහිපයකි.

දියුණු සෞඛ්‍ය පද්ධතීන් තිබෙනා රාජ්‍යයන් සෑම එකකම පාහේ මෙම ව්‍යාජ මනෝචිකිත්සක ක්‍රමවේදය තහනම් කර තිබෙන අතර, මෙය බොහෝ විට පුහුණු වනු ලබන්නේ ආගමික හෝ සංස්කෘතික හේතු මත පෙළගැසුණු කණ්ඩායම් අතරය.

අයර්ලන්ත ත්‍රෛපාර්ශ්වික සන්ධාන රජය මෙම හානිකර පරිවර්තන චිකිත්සා තහනම් කරන බවට ප්‍රතිඥා ලබා දුන්නේ ඉකුත් වසරේය. ඒ එරට එල්ජීබීටී ප්‍රජාව ආරක්ෂා කිරීමේ පියවරක් ලෙසය.

ළමා කටයුතු, සමානාත්මතාවය, ආබාධිත තත්ත්ව, ඒකාබද්ධතාව සහ යෞවන කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පරිවර්තන චිකිත්සාව පිළිබඳ ස්කෝර් කාඩ් පත්‍රයක් සකස් කර තිබෙන අතර, ඉකුත් අප්‍රේල් 15 වන දින නිවේදනය කරනු ලැබුවේ මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරමින් සිටිනා බවයි.

අමාත්‍ය රොඩෙරික් ඔ’ගෝමන් මහතා මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් අවධාරණය කරනු ලැබුවේ හානිකර සහ වෙනස්කොට සැලකීමේ තත්ත්වයන් ප්‍රවර්ධනය කරනු ලබන සහ ඒවාහි ප්‍රතිවිපාක දිගු කාලීනව බලපානු ලබන, තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට බරපතල සෘණාත්මක ප්‍රතිඵල ගෙනදෙනු ලබන ක්‍රියාකාරකම් තහනම් කිරීමට රජය ක්‍රියාශීලීව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම, පරිවර්තන චිකිත්සා තහනම් කිරීම සඳහා ව්‍යවස්ථාදායකය කටයුතු කිරීම තුළින් බාල මහලු කාටත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව හෝ ප්‍රකාශනය (Sexual Orientation, Gender Identity or Gender Expression – SOGIE) විවාදයට තුඩු දිය යුතු මාතෘකාවක් නොවේ ය යන පණිවුඩය ලබා දෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර, අසල්වැසි බ්‍රිතාන්‍ය රජය පරිවර්තන චිකිත්සා තහනම් කරනු ලබන බවට ප්‍රතිඥා ලබා දී මේ වන විට දින දහසක් ඉක්මවා තිබීමත්, අදටත් එවන් තහනමක් පැනවීමට කටයුතු කර නොතිබීමත්, මේ පිළිබඳ අදහස් දක්වමින් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා “ආගමික නිදහසට” බාධා එල්ල නොකළ යුතු බවටත් තර්ක කරමින් සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ බොහෝදෙනෙකුට කන්වර්ෂන් තෙරපි, හෝ පරිවර්තන චිකිත්සා වැනි වදන් ආධුනික විය හැකි හෝ ගෝචර නොවන බව අපි දනිමු. මෙය බොහෝ විට ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ඇසෙන්නේ “සමලිංගික ඇබ්බැහි වීම නැති කර ගන්න ප්‍රතිකාර”, “සමලිංගික පුරුද්ද නැතිකර ගන්න ක්‍රමයක්”, “සමලිංගිකත්වය සුව කර ගන්න උපදේශන”, “සමලිංගික ඇසුරෙන් මිදෙන්න ක්‍රමයක්”…… වැනි වාග්මාලා තුළිනි. කන්වර්ෂන් තෙරපි, නැතහොත් පරිවර්තන චිකිත්සා යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙම ක්‍රියාවලියම වේ. ශ්‍රී ලංකාවේ එල්ජීබීටී ප්‍රජාව ගේ මානව හිමිකම් පිළිබඳ කතිකාව තුළ කන්වර්ෂන් තෙරපි අරඹයා ශක්තිමත් සංවාදයක් ගොඩනැගීම අත්‍යාවශ්‍ය වී පවතී. මන්ද මෙම කන්වර්ෂන් තෙරපි, නැතහොත් පරිවර්තන චිකිත්සා දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි මනෝඋපදේශන හෝ මනෝවෛද්‍ය ලේබලයට සැඟවී අදටත් සිදුවන නිසාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි