×

කමලා හැරිස් වෙනුවෙන් ඉන්දියාව ඉපිළෙයි!

වොෂින්ටන් වේලාවෙන් අද දහවල් 12 ට ජෝ බයිඩන් ඇමරිකාවේ ජනපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග, ඇමරිකාවේ ඉතිහාසය තවත් ලෙසකින් නැවත ලියැවේ.


ඒ, ඇමරිකාවේ උප ජනාධිපතිනිය බවට පත් වන පළමු කාන්තාව, පළමු සුදු ජාතික නොවන කාන්තාව සහ පළමු දකුණු ඉන්දීය සම්භයක් සහිත කාන්තාව කමලා හැරිස් යනුවෙනි.

මේ අතර කෙත්වතු පිරුණු – හරිත පැහැයෙන් පිරී ගිය කුඩා ඉන්දියානු ගම්මානයක් අද දිනයේ විශේෂ ප්‍රීතියකින් ඉපිළෙමින් සිටියි. කමලා හැරිස්ගේ මුල් ගම එය ය. දැන්, ඒ ගමේ කෙනෙක් අද දිනයේ ඇමරිකාවේ උප ජනපති පදවියට පත් වෙයි.

මව් පාර්ශවයෙන් ඇගේ සීයාගේ උපන් ගම වන්නේ චෙන්නායිවලට සැතපුම් 200 ක් දුරින් පිහිටි මේ තුතසේන්ද්‍රපුරම් ගමයි. දකුණු ඉන්දියාවේ අගනුවර චෙන්නායි ය. මේ වන විට දකුණු ඉන්දියානුවන් අවුරුද්ද සමරන්නට මෙන් රතිඤ්ඤා එක්රැස් කරගෙන සිටිති.

‘‘අපිට හරි ආඩම්බරයි. ඉන්දියානුවෙක් ඇමරිකාවේ උප ජනපතිනිය වෙනවා..‘‘ යැයි එගම වෙසෙන 52 හැවිරිදි ගුරුවරියක් කියයි.

තුලසේන්ද්‍රපුරමේ නිවෙස්වල, කුඩා කඩපිල්වල එල්ලෙන දින දසුන්වල මෙදා සිටින්නේ නළු නිළියන් නොව කමලා හැරිස් සහ ජෝ බයිඩන් ය. ගම පුරා ඒවා බෙදා හැරියේ සමූපාකාර සමිතියක් විසිනි.

කමලා හැරිස්ගේ සීයා දශක ගණනකට පෙර මේ ගම අතහැර චෙන්නායි නුවර බලා ගිය බව ද ගම්මුන්ට දැන් අමතක ය. කමලා හැරිස් මේ ගමේ උපත ලැබුවේ නැති බව ද ඔවුන්ට අදාළ නැත. ඇගේ මව ද ඉන්දියානුවෙකි. කමලාගේ මව කැලිෆෝනියා සරසවියට ගොස්, එහිදී හමුවූ ජැමෙයිකානුවෙකු හා විවාහ වී දියණියක ලැබූ බවත්, දැන් ඇමරිකාවේ උප ජනපතිනිය වන්නට යන්නේ සංස්කෘත බසින් ‘නෙළුම‘ යන අර්ථය ඇති ඒ ‘කමලා‘ දියණිය බවත් ඔවුන් අසා තිබේ. එය ඔවුන්ට හොඳටම සෑහේ.

කමලා හැරිස් ඇමරිකාවේ සිට මුලින්ම තුලසේන්ද්‍රපුරම බලා එන්නේ වයස අවුරුදු 5 දී ය. ඒ වන විටත් ගමේ ප්‍රභූ පවුලක් ලෙස සැලකුම් ලබමින් සිටි ඔවුන් පිළිගන්නට ප්‍රාදේශීය දේශපාලකයෙකු ආ බවත්, ගම්වැසියන්ට ඔවුන් රසකැවිලි බෙදා දුන් බවත් යනාදී වශයෙන් දැන් කමලා හැරිස්ගේ උරුමය සිහිපත් කෙරෙමින් පවතියි. අද තරමටම නොවුණත් එදා ද රතිඤ්ඤා පත්තු කෙරිණි.

නොවැම්බරයේ ඇමරිකානු මැතිවරණය පවත්වන විටද මේ ගම්මු එක් වී තුලසේන්ද්‍රපුරමේ ප්‍රධාන හින්දු කෝවිලේ ආශිර්වාද පූජාවක් පැවැත්වූහ. ඇය ජයගත් බව සැළ වූ විට ද රතිඤ්ඤා පත්තු කෙරිණි. ගම්මු රසකැවිලි බෙදා ගත්හ. එදා ගම පුරා ඇළවුණු කමලාගේ පෝස්ටර තවමත් ඒ ආකාරයෙන්ම පවතියි. කිසිවෙකු ඒවාට අත තබන්නේ නැත.

අද දිනයේ මේ මුළු ගම්මානයම මස් මාංශ අනුභවයෙන් වැළකී සිටියි. නිර්මාංශත්වය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ගමට පැමිණ මුළු ගමටම නිර්මාංශ ආහාර පාර්සල් බෙදා දී තිබේ.

ශිව පාර්වතී ප්‍රතිමූර්තියක් ලෙස සැලකෙන අයියනාර් ප්‍රතිමාවක් තුලසේන්ද්‍රපුරම් හින්දු කෝවිලේ තිබේ. අද විශේෂ වතාවත් පැවැත්වෙන්නේ මේ පිළිමය වටා ය.

මේ අතර ඉන්දියාවේ සිටින ලෝක පූජිත වැලි නිර්මාණ කැටයම්කරුවා සුදර්ශන් පට්නායික් විසින් පූරි වෙරළ තීරයේ කමලා හැරිස් සහ ජෝ බයිඩන්ගේ වැලි පිළිමයක් නෙළා එයට යටින් ‘සුබ පැතුම්‘ යැයි ලියා තිබේ.

‘‘ඊළඟ අවුරුදු හතරෙ ඉන්දියාව ගැන බැලුවොත් කමලා හැරිස් ට ඇමරිකාවෙ ජනාධිපති වෙන්නත් පුළුවන්..‘‘ ජෝ බයිඩන් දෙවැනි ධුර කාලකට ඉදිරිපත් වේද යන්න සැක සහිත නිසා කමලා හැරිස් අනාගත ඇමරිකානු ජනපතිනිය ලෙස සිතන්නට ද ගම්මුන් කැමති ය.

ඉන්දියාව ගැන බැලුවොත්…? නමුත් සත්‍ය වශයෙන්ම ඇය උප ජනපතිනිය වන්නේ ඉන්දියාවේ නොව ඇමරිකාවේ බවත් ඇතැම් ඉන්දියානුවන්ට දැන් අමතක ය. ඉතින් අපි ඔවුන්ගේ අහිංසක ප්‍රීතියට ඉඩ දෙමු.. කමලාට කල් දෙමු…!

REUTERS/P. Ravikumar



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි