×

කෂෝගි ඝාතනයට අණ දුන්නේ සෞදි කුමරු – සම්පූර්ණ වාර්තාව ලබන සතියේ එළියට !

ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ජමාල් කෂෝගි ඝාතනය සඳහා අණ දුන්නේ සෞදි අරාබි රාජ්‍යයේ පාලකයා වන සෞදි කුමරු මුහම්මද් බින් සල්මාන් බවට හෙළිදරව් වේ.


මේ බව සාක්ෂි ද සමග සනාථ වන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් එළිදක්වා තිබෙන බුද්ධි වාර්තාවකිනි.

මේ සමගම ඇමරිකානු සෞදි සබඳතා මහත් ආතතියකට ලක්ව ඇති අතර ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් ව වගවීමට හසු කර ගැනීමට තමන් ක්‍රියා කරන බවයි.

රහස් වාර්තාවක් ලෙස මෙය මුලින් හැඳින්වූවත් දැන් තීරණය වී තිබෙන්නේ ලබන සතියේදී සම්පූර්ණ වාර්තාවම එළිදැක්වීමට ය. එමගින්, ලෝකයේ කිසිදු රාජ්‍යයකට බරපතළ මානව හිමිකම් කඩ කළ විට වගවීමෙන් බැහැර විය නොහැකි බව අවධාරණය වීම ද සිදු වේ.

දැනට නිකුත් කර තිබෙන සාරාංශගත වාර්තාවට අනුව 59 හැවිරිදි ජමාල් කෂෝගි ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත හරහා දිගින් දිගටම සිය මව්රට වන සෞදි අරාබිය සහ එහි පාලනයට එරෙහිව විසම්මුතික අදහස් පළ කිරීම තුළින් ඔහු සෞදි රජයේ ඉලක්කයක් බවට පත් ව තිබේ. ඇමරිකානු බුද්ධි අංශ අවධාරණය කරන්නේ මුහම්මද් බින් කුමරුගෙන් අනුදැනුමකින් තොරව ඔහු ඝාතනයට ලක් වීම සිදුවිය නොහැකි බවයි. මෙම ඝාතනය සඳහා සෞදි කුමරුගේ සෘජු අධීක්ෂණය යටතේ තිබෙන ‘කිල් ස්කොඩ්‘ හෙවත් ‘ඝාතන බලඇණිය‘ක 15 දෙනෙක් කෂෝගි දඩයම වෙනුවෙන් තුර්කියට පැමිණ ඇති බව ද හෙළිදරව් වේ. ඔවුන් එසේ පැමිණ තිබෙන්නේ පුද්ගලික ජෙට් යානා දෙකකින් බවට සෞදි බුද්ධි අංශ නිලධාරියෙකුට එරෙහිව කැනඩා අධිකරණයක පැවරූ නඩුවක වාර්තාවේ සඳහන් වන රහසිගත තොරතුරක් වෙත ද මෙහිදී ඇමරිකානු බුද්ධි අංශවල අවධානය යොමු ව තිබේ.

2018 ඔක්තෝබර් 2 වැනිදා සෞදි තානාපති කාර්යාලය තුළට කෂෝගි යන්නේ සිය සහකාරිය සමග විවාහ වීම සඳහා අදාළ ලියකියවිලි සකස් කර ගැනීමට ය. නමුත් ඔහු නැවත නොආවේය. තානාපති කාර්යාලය තුලදීම ඔහුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර තිබිණි.

මිය යන විට ඇමරිකාවේ පදිංචි කරුවෙකු වශයෙන් ඔහු වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අමතරව අල්-ඇරෑබ් නිව්ස් හි ප්‍රධාන කතුවරයා වශයෙන් ද සේවය කරමින් සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි