×

කහ කියන්නේ සර්ව රෝග නාශකයක්!

කහවල අරුම පුදුම 'කකියුමින්' කැක්කුම්වලට ඔසුවක්!


Benefits of Turmeric

උයන පිහන කටයුතුවලදී දිනපතා භාවිතයට ගන්නා කහ අපට නුහුරු නුපුරුදු කුළුබඩු වර්ගයක් නොවේ. කහ ශාකයේ නිජබිම ඉන්දියාව වන නමුත් ආසියාවේ බොහෝ තැන්වලත් මධ්‍යම ඇමෙරිකාවේත් කහ වැවෙනු දක්නට පුළුවන. එසේ වුවත් කහ භාවිතය හුදෙක් මේ කලාප දෙකට පමණක් සීමා වී නැත. ලෝකයේ කොතැනක සිටින සූපවේදියකු හෝ ගෘහණියක හෝ අතින් හැදෙන සේවරී රසැති කෑමකට හෝ පැණි රසැති කෑමකට හෝ කහ ස්වල්පයක් එකතු නොවුණහොත් එය පුදුමයකි. ඊටත් වඩා පුදුමය, කහවල තිබෙන ඖෂධිය ගුණය ඉතා ඈත ජීවත් වූ මිනිසුන් පවා දැන හඳුනාගෙන තිබීමයි. කහ මේ තරමටම සුවිශේෂ රස කාරකයක් සහ ඖෂධයක් වී තිබෙන්නේ එහි අඩංගු කකියුමින් නැමැති රසායනිකය නිසයි. කහවලට, කහ පැහැය ලැබෙන්නේ ද පළමුව කී කකියුමින් හේතුවෙනි.

කකියුමින් කහ ශාකය තුළ තිබෙන බෙහෙවින්ම සක්‍රිය රසායනිකයක් හැටියට විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ රසායනිකය සර්ව රෝග නාශකයක් බැව් බොහෝ විද්වත්හු සඳහන් කරති. වේදනාවන් සමනය කිරීමේ ප්‍රබල හැකියාවක් කකියුමින්වලට ඇතැයි කියා ඇමෙරිකාවේ අනුපූරක සහ ඒකාබද්ධ සෞඛ්‍ය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රෙග් හොප් කියා සිටී. සී.එන්.එන්. සේවයේ ප්‍රධාන වෛද්‍ය වාර්තාකරු වෛද්‍ය සංජය ගුප්තා, කකියුමින් නමැති රසායනය ගැන පවසන්නේ මෙවැන්නකි.

“.. කහ ගැන අධ්‍යනයන් රාශියක් මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා. ආතරයිටිස් නිසා ඇතිවන දණ හිස් වේදනාව මර්දනය කරන්න කහ උපකාරී වන බව ඒ අධ්‍යන හරහා දැනටමත් තහවුරු වෙලා තියෙනවා; ඒ වගේම බයිපාස් සැත්කම්වලින් පසුව හෘදයාබාධ ඇතිවීම අඩු කරගන්න එය උපකාරී වෙනවා කියලත් සාක්ෂි ලැබිලා තියෙනවා. …”

පෙරදිග ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය තුළ කහ ශාකය සැලකෙන්නේ ඖෂධීය ගුණයක් සහිත සුවිශේෂ ශාකයක් හැටියටයි. ශ්වසන ආබාධ, වාත අමාරු, බලවත් වෙහෙසකර තත්ත්ව සහ වේදනාවන් සමනය සඳහා කහ ශාකය ආශ්‍රයෙන් ඖෂධ නිපදවා ගන්නට පුළුවන් බැව් එහි සඳහන් වේ. කහ සහිත ආහාර කෑමට ගන්නා අයට විශේෂ සෞඛ්‍යමය වාසි අත්වන බව වසංගත රෝග සම්බන්ධයෙන් කෙරුණු විද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වී ඇත. මහාන්ත්‍රයේ පහළ කොටසේ ඇතිවන පිළිකා තත්ත්ව මර්දනය කිරීමේ හැකියාවක් කහවලට ඇති බව ඉන්දීයන් එදා සිටම දැන සිටි බව ආචාර්ය ක්‍රෙග් හොප් පවසයි.

කහවලින් නැඟෙන එම ඖෂධීය ගුණයන්ට හේතුවන කකියුමින්, රසායනික සංයෝග තුනක හෝ හතරක හෝ මිශ්‍රණයකි. එලෙස රසායනිකයන් ශ්‍රේණියකින් සැකසුණු කකියුමින් සෛල තුළ ක්‍රියාත්මක වන්නේ කිනම් අයුරකින්ද යන්න අදටත් රහසක් බව විද්‍යාඥයෝ පවසති.

මානව දේහයට ආහාර මඟින් අවශෝෂණය වන්නේ කකියුමින් ඉතාමත් සුළු ප්‍රමාණයක් බව පර්යේෂණවලින් සනාතව ඇත. අවශෝෂණය නොවූ ඉතිරි මුළු කකියුමින් ප්‍රමාණයම මිනිස් මළ සමඟ ශරීරයෙන් බැහැර කෙරේ. බෙහෙවින්ම සුළු කකියුමින් ප්‍රමාණයක් ශරීරයට අවශෝෂණය වී ඇති නිසා ඒ ප්‍රමාණය ක්‍රියාකරන අන්දම පරික්ෂාවට ලක් කිරීම අසීරු වී තිබේ. අනෙක් අතට, කකියුමින් යනු ජලයේ ද්‍රාවණය නොවන රසායනිකයකි. මේ නිසා ශරීරයට ගන්නා කකියුමින්වලින් විශාල කොටසක් රුධිරය සමඟ මුසු නොවන බවට තහවුරුව ඇත. කිසියම් කෙනෙකුට කකියුමින්වලින් සැලකිය යුතු තරමේ ප්‍රයෝජනයක් ලැබිය යුතු නම් මිලි ග්‍රෑම් 24,500ක් බරැති කකියුමින් පෙති ප්‍රමාණයක් පානය කරන්නට සිදු වේ. එවැනි ප්‍රමාණයක් ශරීර ගත කරගතහොත් වමනය සහ පාචනය වැනි තත්ත්ව ඇති විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කොහොම වුණත් ඇල්ෂයිමර් සහ ග්ලුකෝමා තත්ත්වවල පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කකියුමින් භාවිතයට ගත හැකි බව බ්‍රිතාන්‍යයේ ඉම්පීරියල් කොලිජියේ අක්ෂි වෛද්‍ය විශේෂඥ ෆ්‍රැන්සෙස්කා කෝර්ඩියරෝ පවසයි. කකියුමින් මිනිස් ශරීරය තුළ ක්‍රියා කිරීමේදී ඇතිවන ගැටලු සහගත තත්ත්ව නිසා එය භාවිත කළ යුතු වන්නේ නැනෝ තාක්ෂණය භාවිතයෙන් බව වෛද්‍යය ෆ්‍රැන්සෙස්කාගේ අදහසයි. එවැනි තත්ත්වයකට පමුණුවනු ලැබූ කකියුමින් අක්ෂි බෙහෙතක් ලෙස ඇසට වත් කිරීමෙන් ස්නායු සෛලවලට ඍජුවම බලපෑමක් ඇති කළ හැකි බව විද්වතුන්ගේ අදහසයි. ඒ පිළිබඳ අත්හදා බැලීම් තවදුරටත් සිදු කෙරේ.

මීළඟ අදියර වන්නේ කකියුමින්වල පවත්නා ප්‍රතිදීප්ත තත්ත්වය භාවිතයට ගෙන තරංග ආයාමයන් හරහා ප්‍රතිකාර කිරීමට ඇති හැකියාව අත්හදා බැලීමයි.

සබැඳි:

Are the health benefits of turmeric too good to be true?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි