×

කළු කඩයේ සිලිංවලට විකිණෙන කෙන්යාවේ දරුවෝ – දෙවැනි කොටස

කෙන්යානු රජය විපිළිසර කරමින් BBC පුවත් සේවය පළ කළ ආන්දෝලනාත්මක ගවේෂණාත්මක ලිපියේ සිංහල පරිවර්තනය


අප්‍රිකානු කලාපයේ මෙවැනි අපරාධ පිළීබඳ සෙවිල්ලෙන් පසුවන සංවිධානයක් වන ‘ඇෆ්‍රිකන් අයි‘ හෙවත් ‘අප්‍රිකානු ඇස‘ හි පර්‍යේෂණයට අනුව, මෙ වැනි දරු සොරකම් කිරිමේ කල්ලි නයිරෝබිහි විශාල, රජය විසින් පවත්වාගෙන යනු ලබන රෝහල්වල පවා ක්‍රියාත්මක වෙයි.

සමීප සම්බන්ධයක් ඇති අයෙකු මාර්ගයෙන් ඔවුහු මාමා ලුසි කිබකි රෝහලේ සමාජ සේවකයකු ලෙස කටයුතු කරන ෆ්‍රෙඩ් ලෙපරන් සමග සම්බන්ධ වූහ. ලෙපරන් ගේ රැකියාව වූයේ රෝහලේ උපත ලබන දැඩි අනතුරුදායක තත්ත්වවල සිටින මව්වරුන් ගේ දරුවන් ගේ සුබසාධනය සැලැසීම යි. එහෙත් ඔවුන් ගේ මූලාශ්‍රය කියා සිටියේ ඔහු කෙලින් ම දරුවන් විකිණීමේ නිරතව සිටින්නකු බව යි. ඔවුන් ගේ මූලාශ්‍රය කියා සිටියේ ගැබ් ගැනීමට අපහසු මවක් දරුවකු මිලදී ගන්නට සොයන බවයි.

“මං ගාව ඉස්පිරිතාලේ මේ පිරිමි ළමයා ඉන්නවා,” ඔහු කීවේ ය. “එයාල ඒ ළමයව සති දෙකකට කලින් දාලා ගියත් ගන්න ආයෙ ආවෙ නැහැ.”

ඔවුන් ගේ මූලාශ්‍රයට අනුව ලෙපරන් දරු විකිණීමේ නිරත වූ ප්‍රථම අවස්ථාව මෙය නො වේ.

“අන්තිම වතාවෙ මං බය වුණා,” අප්‍රිකානු ඇස විසින් පටිගත කළ හමුවේ දි ඔහු කියා සිටියේ ය. “අපි මේක කළොත්, මට අපිට මේක ගැන ප්‍රශ්නයක් ඇති නොවන විදිහේ සැලැස්මක් ඕනේ.”

මමා ලුසී රෝහලෙන් දරුවන් සොරකම් කිරීමට තමන් කෙන්යානු සිලිං ලක්ෂ 3 බැගින් අය කළ බව ෆ්‍රෙඩ් ලෙප්රාන් පිළිගත්තේය. | BBC

ෆ්‍රෙඩ් ලෙප්රාන් මමා ලුසී රෝහලේදී දරුවෙකු මිලදී ගැනීමේ ජාවාරමක. මෙම සිද්ධියක් වීඩියෝ කිරීමට BBC පුවත් සේවය සමත් විය. | BBC
ලෙපරන් විකුණන්නට තැත් කළ පිරිමි දරුවා වැනි දරුවන් රජයේ ළමා නිවාස වෙත ගෙන යා යුතු අතර ඔවුන්ව නිල වශයෙන් හදා වඩා ගන්නා දෙමව්පියන් ඇසුරේ තැබිය යුතු වන්නේ සියල්ල මැනවින් සොයා බැලීමෙන් අනතුරු ව ය. ලෙපරන් වැනි තැනැත්තන් දරුවන් විකිණීමෙන් සිදුවන අනතුර නම්, දරුවා කිනම් ස්ථානයක් වෙත යන්නේ ද දරුවා මිලට ගන්නන් ඔහු සමග කුමක් කරන්නේ ද යන්න පිළිබද සොයා බැලීමක් සිදු නො වීම යි.

ඇනීටා වැනි වීදි දරු හොරුන් සහ ලෙපරන් වැනි දූෂිත නිලධාරින් අතර නයිරෝබි හි දරු වෙළදාමේ තවත් ස්ථරයක් තිබේ. නගරයේ මුඩුක්කු ප්‍රදේශවල වීදි සායන ඇති අතර මේවායේ ගැබිණි මව්වරුන්ට දරුවන් වදන්නට පහසුකම් ද තිබේ. මේ වීදි සායන දරු වෙළඳාමේ කළු කඩවලට ප්‍රචලිත ය.

දේශීය මාධ්‍යවේදියකු සමග කටයුතු කරමින් අප්‍රිකානු ඇසේ ජුඩිත් කනයිතා නයිරෝබි හි දරු වෙළඳාම සරුවට සිදුවෙතැයි සැලැකෙන කයෝල් හි සායනයක් වෙත ගියහ.

මෙම සායනය පවත්වා ගෙන යනු ලබන්නේ රජයේ රෝහලක හෙදියක ලෙස කටයුතු කළැයි කියූ මේරි අවුමා නමැත්තියක් විසිනි. කනයිතා තමන්ට දරුවකු ඕනෑ බව කියා සිටියා ය. සායනය තුළ මව්වරුන් දෙදෙනෙකු දරුවන් බිහි කරන්නට සැරැසෙමින් සිටියහ.

“මෙයා, එයා ගේ දරුගැබට මාස අටහමාරයි. එයා දරුවා බිහි කරන්න ලෑස්ති වෙන්නේ,” අවුමා සෙමින් කියයි. ඇය තවමත් මෙලොව එළිය දැක නැති දරුවා කනයිතාට විකුණන්නට සැරැසෙන්නේ සිලිං 45,000කට හෙවත් පවුම් 315කට ය.

අවුමා මව ගේ සුබසාධනය ගැන සලකන බවක් පෙනෙන්නට තිබුණේ නැත. “එයාට සල්ලි හම්බුන ගමන් එයා යයි. අපි එයා ආයෙ එන්නෙ නැති බවට වගබලා ගන්නවා.”

අවුමා විකුණන්නනට තැත් කළ නූපන් දරුවා ගේ මව ගේ නම අදමා ය.

අදමා දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන්නී ය. රෙබෙකා ගේ කතාවට සමානව ම ඇගේ දරුවා ගේ පියා ඇය ගර්භණී මවක් කර පැන ගියේ ය. එහෙයින් අදමා ඇගේ දරුවා විකුණන්නට තීරණය කළා ය. මේරි අවුමා ඇයට සිලිං 45,000 ම දෙන්නේ ද නැත. ඇය අදමාට කීයන්නේ දරුවා සිලිං 10,000කට විකුණනු ඇති බවයි.

එහෙත් තම දරුවා ගේ යහපත ගැන සිතූ අදමා අලුත උපන් දරුවාව රජයේ රෝහලක තනිකර යන්නේ, ඔහුව රැකබලා ගන්නා දෙමව්පියන් සෙවණේ යහපත් අනාගතයක් හිමිවේ ය යන පැතුමෙනි.

එහෙත් අදමා නොදන්නා යමක් ද වෙයි. එනම් ලෙපරන් වැනි නිලධාරී දරු හොරුන් ද රෝහල් තුළ සිටින බව යි.

නයිරෝහි හි කයෝල් වැනි මුඩුක්කුවල මෙම ළමා ජාවාරම ජයටම සිදු වේ | BBC

BBC සේවය විසින් ෆ්‍රෙඩ් ලෙපරන් ගෙන් ඔහු ගේ මේ දරු වෙළඳාම ගැන විමසුව ද ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය. රෝහල ද මේ සම්බන්ධ ව අදහස් දැක්වීමෙන් වැළැකී සිටි අතර, ලෙපරන් තවමත් සිය රැකියාවේ කටයුතු කරන බව පෙනෙයි.

ඔවුහු මේරි අවුමා ගේ අනීතික සායනය ගැන දරු සුබසාධන රාජ්‍ය නොවන සංවිධානයක් වෙත කියූ අතර, එය ඒ පිළිබද පොලීසියට දැනුම් දුන්නේ ය. එහෙත් අවුමා තවමත් තම ව්‍යාපාරය කරමින් සිටියි.

ඔවුන් ඇනීටාට ද චෝදනා එල්ල කළත් ඇය නැවත වරක් වීදියේ සෙවණැලි අතර සැඟව ගොස් තිබේ.

තම දරුවන් සොරකමට ලක්වු මව්වරුන්ට කිසිදු හව්හරණක් නොමැති බව මින් පැහැදිලි ය. බොහෝ දෙනා කවදා හෝ තම දරුවා දකින්නට බලාපොරොත්තුවෙන් සිටිති. රෙබෙකා තම පුතු දකින්නට තමන් සතු සියල්ල ම හෝ කැපකරන්නට සූදානම් ය. ඔහු මිය ගොස් ඇති නම් ඒ බව දැන ගන්නට ද ඈට උවමනා ය.

පසුගිය වසරේ, ඈ අසල ප්‍රදේශයක තම වැඩිමහල් දියණියට රුවින් සමාන පුතකු ඇතැයි අසා ඒ බව කියන්නට දේශීය පොලීසියට පවා ගියා ය. එහෙත් කිසිවක් වූයේ නැත. ඈ අතහැර දැම්මා ය.

‘‘අපි හැමෝටම ඕනෙ අපේ දරුවන්ට අම්මලා වෙන්න..‘‘ රෙබෙකා කියයි. ‘‘අපි වීදියට වැටුණේ අපේ වරදින්ද?‘‘ | BBC

“මේ ගැහැණුන් නැවතත් තම දරුවන් දකින්නට ඇති ඉඩකඩ මිලියනයකින් එකක් වගෙ යි.” මුන්‍යෙන්ඩෝ කියයි. “සොරකමට ලක්වන දරුවන් ගේ මව්වරුනුත් දරුවන් නිසා මේ සොරු ඔවුන් ගේ අනතුරට මුහුණ දෙන්නට ඇති වැඩි හැකියාවෙන් ප්‍රයෝජන ගන්නවා.”

රෙබෙකා වැනි අයවලුන් සානුකම්පිතව බැලිය යුතු අය වශයෙන් සැලැකෙන්නේ නැති බව ද මුන්‍යෙන්ඩෝ කියා සිටියි. “එහෙත් කවුරුන් හෝ සිතිය යුතු නැහැ වීදියේ සිටින්නන්ට හැඟීම් නැහැ කියා, ඔවුන්ට සාධාරණයෙන් පළක් නැහැ කියා. ඔවුන්ට හැඟීම් තියෙනවා. නගරබද ප්‍රදේශයක මවක් තම දරුවා නොමැතිව දුක් වනවා හා සමානව ම වීදියේ ජීවත් වන ඔවුනුත් දුකට පත් වනවා.”

වීදියෙන් සොරකම් කරගනු ලබන ඇතැම් දරුවෙක් නගරබද ප්‍රදේශයක නතර වෙයි. ඇතැම්විට රෙබෙකා දරුවකුට මිලක් ගෙවූ පොහොසත් ගැහැණුන් ගැන සිතයි.

“එයාල මොනාද හිතන්නේ?” ඇය අසයි, “එයාලට මොනාද දැනෙන්නේ?”

පසු සටහන

මෙය, අවසානයක් ඇති ප්‍රශ්නයක් බව නොපෙනේ. කෙසේ නමුත් BBC පුවත් සේවය මෙම ගවේෂණාත්මක ලිපිය පළ කිරීමෙන් අනතුරුව කෙන්යානු ආණ්ඩුව එයට වහාම ප්‍රතිචාර දැක්වීය. ඒ අනුව දරු සොරුන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීම සිදුවිය. මමාලුසී රෝහලේ ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයෙකු ද වෛද්‍යවරියන් දෙදෙනෙකු ද  ඒ අතර විය. ඔවුන්ට විරුද්ධව මේ වන විට නඩු පවරා තිබේ.

* *

මේ ලිපියේ පළමු කොටස මීට පෙර පළ විය. එය මෙතැනින් කියවන්න.

කළු කඩයේ සිලිංවලට විකිණෙන කෙන්යාවේ දරුවෝ

BBC පුවත් සේවයේ පළ වූ The baby stealers ලිපිය ඇසුරෙනි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි