×

ක්ලියෝපැට්‍රාගේ සැඟවුණු ඇත්ත කතාව

ක්ලියෝපැට්‍රා චරිතය වටා ගෙතුණු සත්‍යය සහ ප්‍රබන්ධය


සාහිත්‍යයෙන්, චිත්‍රපටවලින් සහ තවත් බොහෝ නිර්මාණවලින් කුළුගැන්වුණු ක්ලියෝපැට්‍රා චරිතය මානව ඉතිහාසයේ නොනැසිය හැකි චරිතයකි. කාන්තාවන්ට රාජ්‍යය පාලනයෙහි නිරතවිය හැකි බවත් බුද්ධිමත්ව, සුකුමාල ලෙස පමණක් නොව කෘර ලෙසත් කටයුතු කරන්නට ඔවුන්ට හැකි බව ලෝකයට පසක් කළේ අදින් වසර දෙදහස් ගණනකට ඉහත ජීවත්වුණු ක්ලියෝපැට්‍රා රැජිණයි. ක්ලියෝපැට්‍රා ෆිලෝපේටර් යනුවෙන් ද හැඳින්වෙන මේ බලවත් කාන්තාව උපත ලැබුවේ ක්‍රි.පූ. 69දීය. වසර 39ක් වැනි කෙටි කාලයක් තුළ සියවස් ගණනකට නොමැකෙන සටහන් ගොන්නක් තබා ක්‍රි.පූ.30දී ඈ ජීවන ගමනින් සමුගත්තාය. ජීවත්ව සිටි අවධියේදී ඈ කළ කී දේ පුදුම සහගතය. එමෙන්ම අතිශයින්ම ගුප්තය. ඒ නිසා ක්ලියෝපැට්‍රා ගැන බොහෝදෙනෙකු දන්නා දෙයට වඩා නොදන්නා දෙය වැඩිය. ඈ ගැන තවමත් අනාවරණය කර නොගත් දෑ ඊටත් වඩා ඉහළය.

1. ඇයට ඊජිප්තු සම්භවයක් නැත.
සාමාන්‍යය ජනයා විශ්වාස කරන්නේ ක්ලියෝපැට්‍රා ඊජිප්තු රැජිණකැයි කියාය. මැසිඩෝනියානු ඉතිහාසයට අනුව ඈ පැවගෙන එන්නේ ටොලමියානු රාජවංශයෙනි. මේ රාජවංශය ගොඩනැඟෙන්නේ ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ ශරීරාරක්ෂකයන් හත්දෙනාගෙන් කෙනෙකු වන ටොලමිගෙන් බව සඳහන් වේ. ක්‍රි.පූ. 323දී මහා ඇලෙක්සැන්ඩර් රජු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ටොලමි, තමන්ව පළමු ටොලමි ලෙස හඳුන්වා ගනිමින් ඊජිප්තුවේ පාලකයා බවට පත්වූයේය. ඔහු පාලන බලය ලබා ගන්නේ ක්‍රි.පූ. 305දී බව සඳහන් වේ. එතැන් පටන් ක්‍රි.පූ. 30 හෙවත් ක්ලියෝපැට්‍රාගේ මරණය සිදුවන තුරුම ඊජිප්තුවේ පාලනය පවතින්නේ එකී ටොලමියානු රාජවංශය අතේය. ඒ අනුව ටෝලමියානු රාජවංශය, වසර 275කට ආසන්න කාලයක් ඊජිප්තුව පාලනය කර ඇති බව පෙනේ.

2. ඇඟ හිරි වැටෙන ඊජිප්තු සම්ප්‍රදායන්ට අනුගත වුණු රැජිණක්
රාජකීය ලේ උරුමය පවිත්‍රව තබාගනු වස් පුරාණ ඊජිප්තු පාලකයෝ සහෝදර – සහෝදරියන් අතර විවාහ පවා සිදු කරගත්හ. ඊට ආදර්ශය ලැබුණේ ඊජිප්තු දෙවියකු වූ ඔසිරිස්, සිය සොයුරිය වූ අයිසිස් විවාහ කර ගත්තේය යන පුරාණෝක්තියෙනි. එවැනි විවාහ නිසා ජානමය විසංවිධාන තත්ත්වයන් මතු වුවත් ඒවා ඊජිප්තු රාජවංශිකයන් ගැටළු කරගත් බවක් ඉතිහාසයේ සඳහන් නොවේ. ඇඟ හිරි වට්ටන මේ සම්ප්‍රදායට අනුව ක්ලියෝපැට්‍රාගේ ජීවිතයත් පෙළගැසී තිබිණ.
ක්ලියෝපැට්‍රාගේ පියා 12 වන ටොලමි රජතුමා වුවත් ඇගේ මව කවරකුද යන්න ගැන පැහැදිලි විස්තරයක් නැත. ඇතැම් ඉතිහාසඥයන් පවසන්නේ ක්ලියෝපැට්‍රාගේ පියාගේ සොයුරියට දාව ක්ලියෝපැට්‍රා උපත ලබන්නට ඇතැයි කියාය. සොයුරු සොයුරියන් අතර විවාහ සිදුවන සම්ප්‍රදාය ක්ලියෝපැට්‍රාගේ ජීවිතයට සම්බන්ධ වන්නේ ඇය තමන්ට බාල සහෝදරයන් දෙදෙනෙකු සමඟ අවස්ථා දෙකකදී විවාහ වූ නිසයි.

3. ඥානාන්විත ගැහැනියක්
ක්ලියෝපැට්‍රා රූමත් රැජිණක් ලෙස ඉතිහාසයේ ප්‍රකටය. ඇගේ රුව රැගත් කාසියක් 2017 වසරේදී සොයා ගැනිණ. මේ කාසියේ සටහන්ව ඇති රූපයෙන් සනාත වන්නේ ඈ සාමාන්‍යය පෙනුමකින් යුත් ගැහැනියක මිස අසාමාන්‍යය රූප සම්පත්තියකින් යුත් ගැහැනියක නොවන බවය.
එසේ වුවත් ඈ විචක්ෂණශීලීව රාජ තාන්ත්‍රික කටයුතුවල යෙදුනු ගැහැනියෙකි. එමෙන්ම ඕ ගණිතය, වෛද්‍ය කර්මය, ආදිරසායනය, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, භූගෝල විද්‍යාව, කාව්‍යකරණය උගත් බවට සාක්ෂි ඇත. භාෂා 9ක් කතා කිරීමේ හැකියාව ඇයට තිබුණු බව සඳහන් වේ.
භාෂා කිහිපයක් කතා කළ හැකි ජනාධිපතිවරයෙකු ඇමෙරිකා දේශපාලනය තුළ දැකිය හැකි වන්නේ ද 1932දී පමණය. එසේ තේරී පත්වුණේ ෆ්‍රැන්ක්ලීන් රූස්වෙල්ට් නමැති ජනාධිපතිවරයායි. හෙතෙම ඉංග්‍රීසි භාෂාවට අමතරව භාවිත කළේ ද ජර්මන් සහ ප්‍රංශ භාෂා දෙක පමණි. ඒ කාරණය සමඟ සසඳන විට වසර දෙදහස් ගණනකට පළමුව ඊජිප්තුව පාලනය කළ ක්ලියෝපැට්‍රා භාෂා නවයක් කතා කිරීම සුළුපටු කාරණයක් නොවේ.

4. නිසි තැන නිසි බැස හැසිර වූ ගැහැනියක්
ටෝලමියානු රාජ වංශිකයන්ගේ මව් බස ග්‍රීක බසයි. එසේ වුවත් ක්ලියෝපැට්‍රා අරාබි බස, යුදෙව් බස, පාර්තියන් බස (වයඹදිග ඉරාණයේ භාවිතයට ගැනෙන බසකි), සිරියානු බස, ඉතියෝපියානු බස, මෙඩෙස් (පෞරාණික ඉරාණ බස) මෙන්ම ට්‍රොගොඩිටේද ව්‍යවහාර කර ඇත. ඊජිප්තු බස වැහැරීම ඉගෙන ගන්නට වෙහෙසුණු එකම ටෝලමියානු රාජවංශිකයා ඇය බව සඳහන් වේ. සෙසු කිසිදු ටෝලමියානු රාජ වංශිකයකු ඊජිප්තු සංස්කෘතිය ගැන ඇල්මක් දක්වා නැත. එම ටෝලමියානු පාලකයන් වාණිජ කටයුතු සඳහාත් රජය පවත්වාගෙන යෑම සඳහාත් භාවිතයට ගෙන තිබෙන්නේ ග්‍රීක බස මිස අනෙකක් නොවේ. ඊජිප්තුවේ විසූ කොප්ටික්වරුන් භාවිතයට ගත් බස පවා ක්ලියෝපැට්‍රා කතා කළ බවට සාක්ෂි තිබේ. අනෙකක් තබා රූපාක්ෂර කියැවීමටත් ඈ දැන සිට ඇත.

ක්ලියෝපැට්‍රා ඊජිප්තුවරුන්ගේ සාම්ප්‍රදායික වස්ත්‍රවලින් සැරසී ඊජිප්තු සංස්කෘතික උත්සවවලට සහභාගීවුණු බව පුරාණ රූපවලින් දැක්වේ. තමන් පාලනය ගෙන යන රාජ්‍යයයේ ජනයාගේ සංස්කෘතික අනන්‍යතාවන් හඳුනාගැනීමේ ඉව ක්ලියෝපැට්‍රාට මැනැවින් පිහිටා තිබිණ. ඇයට පළමුව ඊජිප්තුව පාලනය කළ ටෝලමියානු රාජ වංශිකයන් තුළ එවැනි ඉවක් පැවැති බවට සලකුණු නැත.

5. ඈ සහෝදරයන් ඝාතනය කළ ගැහැනියෙකි.
ක්ලියෝපැට්‍රා රාජ්‍යය පාලන කටයුතුවලට පළමුවෙන්ම සම්බන්ධ වන්නේ සිය පියා වූ 12 වන ටොලමි සමඟයි. පියා ඉතා කෙටි කාලයකින් අභාවප්‍රාප්ත වූයේය. ඔහුගේ මරණය සිදුවුණේ ක්‍රි.පූ. 51දී පමණ බව සඳහන් වේ. ජීවිතක්ෂයට පත්වන්නට පළමුව ඔහු සිය දියණිය 11 හැවිරිදි ඇගේම සොයුරා සමඟ විවාහ වියයුතු යැයි නම නියම කර තිබිණ. මේ විවාහය කෙළවර වූයේ 13වන ටොලමි හෙවත් ස්වාමිපුරුෂයා බවට පත් ඇගේ සොයුරා ඇගෙන් පාලන බලය උදුරා ගැනීමට පෙළඹීම තුළිනි. මේ තත්ත්වය උදා වනවිට ක්ලියෝපැට්‍රා සහ ජුලියස් සීසර් ප්‍රේමවන්තයෝ බවට පත්ව සිටියහ. සැමියාට තෝන් ලණුව දමා ගැනීමට ක්ලියෝපැට්‍රා, ජුලියස් සීසර්ගෙන් සහය පැතුවාය. එය 13 වන ටොලමි රිස්සුවේ නැත. මේ අතර තුරදී ඇතිවුණු නයිල් සටනේදී 13 වන ටොලමි ජුලියස් සීසර් අතින් පරාජයට පත් වූයේය. 13 වන ටොලමි පලායන්නට උත්සාහ දරමින් සිටියදී නයිල් නදියේ ගිලී මරණයට පත්වුණු බව සඳහන් වේ. සිය සොයුරාගේ මරණයට ක්ලියෝපැට්‍රා පංගුකාරිය වූයේයැයි කියන චෝදනාව ඉතිහාසය පුරාම ඇයට විරුද්ධව නැඟී ඇත.

13 වන ටොලමිගේ මරණින් පසු වැන්දඹුවක වන ක්ලියෝපැට්‍රා ඇගේ ඊළඟ සොයුරා හෙවත් 14 වන ටොලමි සමඟ විවාහ විය යුතු වූයේය. ඇගේ ඒ විවාහයත් වැඩි කාලයක් පැවතුණේ නැත. අර්බුධය ඇරඹුණේ ජුලියස් සීසර් ක්‍රි.පූ. 44 මාර්තු මස 15වැනිදා කුමන්ත්‍රණයකින් ඝාතනයට ලක්වීමත් සමඟයි. එයින් මාස කිහිපයකට පසු එනම්, ක්‍රි.පූ. 44 ජූලි 26 වැනිදා 14 වන ටොලමි ජීවිතක්ෂයට පත් විණ. ඔහු මියගියේ ක්ලියෝපැට්‍රා ඔහුට දුන් වසකින්ද කියන සැකය අදටත් ඇත. ඈ එවැන්නක් කළා නම් එය කළේ, ජුලියස් සීසර්ට දාව තමන් වැදූ 15 වන ටොලමි හෙවත් සිසේරියන්, රජ කරවීම සඳහායි. ඊජිප්තුව පාලන කිරීමට ක්‍රි.පූ. 44 සැප්තැම්බර් 2වැනිදා සිසේරියන් සිය මව සමඟ එක් වූ බව සඳහන් වේ.

6. දෑස් අඳුන් ගැල් වූ රහස
මෙතෙක් සොයා ගැනුන ක්ලියෝපැට්‍රා ප්‍රතිමාවලින් නිරූපණය වන අන්දමට ඈ සිය දෑස් මත අඳුන් ආලේප කරගෙන සිටි බවක් පළවේ. මේ ගැන මත පළකරන විද්‍යාඥයන් පවසන්නේ ඇස්, ආසාදනවලින් මුදවා ගැනීමට අඳුන් ගලවන ලද බවයි. නයිල් නදිය පිටාර ගැලූ විට ඒ ආශ්‍රිත වායුගෝලය නොයෙකුත් අංශුවලින් සහ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් දූෂ්‍යය තත්ත්වයට පත්වන්නට ඇත. මේ නිසා ඇස් දැවිල්ල ගතියක් ඇතිවීමට ඉඩ තිබූ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඊයම් මිශ්‍ර අඳුන් වර්ග සකස් කර ඇස්වල තවරා ගැනීම සිදුකර තිබෙන්නේ ඊට පිළියමක් වශයෙන් බව ඔවුන්ගේ මතයයි. එම අඳුන් බැක්ටීරියාවල වර්ධනයට විෂ සහිත ඒවා වූවාට සැකයක් නැති බව විද්‍යාඥයෝ පවසති.වෛද්‍ය කර්මය සහ ඖෂධ ගැන දැනුමක් තිබුණෙන් මෙවැනි අඳුන් වර්ග දෑස් මත ගැල්වීමෙන් ඇති ප්‍රයෝජන ක්ලියෝපැට්‍රා දැන සිටින්නට ද ඇත.

7. මධුපානෝත්සව
ජුලියස් සීසර්ගේත් සහෝදරයන් දෙදෙනාගේත් මරණවලින් පසු ක්ලියෝපැට්‍රා සිය ජීවිතය බෙදා හදා ගන්නේ රෝම ජෙනරාල්වරයකු වූ මාර්ක් ඇන්තනී සමඟයි. මාර්ක් ඇන්තනීගේ පෙම්වතිය වීමෙන් පසු ඔහු සමඟ එක්ව ඈ මධුපානෝත්සව පවත්වන්නට ඇති බවට ඉතිහාසඥයෝ අනුමාන කරති. විචක්ෂණ නුවණක් ඇති, බලකාමී කාන්තාවක වූ ක්ලියෝපැට්‍රා සාද පැවැත්වීමෙහි සහ සාදවලට සහභාගී වීමෙහි ප්‍රිය කෙනෙකු වන්නට ඇති බවට අනුමානයක් නැත. එපමණක් නොව මධුපානයෙහි යෙදෙමින් ප්‍රීති විය හැකි සමාජ ශාලාවක් මාර්ක් ඇන්තනීත් සමඟ එක්ව ඇය පවත්වාගෙන යන්නට ඇතැයි කියා ද සැකයක් තිබේ.

8. ක්ලියෝපැට්‍රාගේ සුවඳ විලවුන් කම්හල
ක්ලියෝපැට්‍රා ආදිරසායනයෙහි උනන්දුවක් දැක්වූ කාන්තාවකි. ඒ නිසා සුවඳ විලවුන් භාවිතයෙහි වැදගත්කම සහ බලවත් බව ඈ දැන සිටින්නට ඇත. මාර්ක් ඇන්තනීව රහසේ හමුවන්නට සැලසුම් කළ අවස්ථාවකදී තමන් ළඟ එන බව මාර්ක් ඇන්තනීට ක්ලියෝපැට්‍රා සැලකර සිටියේ සුවඳ විලවුන් පිරවූ යාත්‍රාවක් ඔහු වෙත පිටත් කර යැවීමෙනැයි සඳහන් වේ. සුළඟේ මුසුව ආ සුවඳ විලවුන්වල සුවඳින් ම තම පෙම්වතිය තමන් කරා පැමිණෙමින් සිටින බව මාර්ක් ඇන්තනී එදා දැනගන්නට ඇත.

තමන්ගේ වේගවත් මුහුදු යාත්‍රා පිටත් කර හරිමින් ඈ තුර්කියෙන් මිල අධික රෝස තෙල් ගෙන්වා ගත් අවස්ථාත් තිබිණ. ඒවා ගෙන්වා ගෙන තිබෙන්නේ මාර්ක් ඇන්තනීව ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිවය. ඉතිහාසඥයන් සැක කරන අන්දමට ක්ලියෝපැට්‍රා සුවඳ විලවුන් කම්හලක හිමිකාරියෙකි. එකී කම්හල හෝ රූපලාවාන්‍යාය සත්කාරක ආයතනය හෝ මළ මුහුදට ආසන්න ඊන් ගෙඩිහි (Ein Gedi) තිබෙන්නට ඇති බව ඉතිහාසඥයෝ පවසති. ඇගේ සුවඳවිලවුන් වට්ටෝරු “Gynaeciarum Libri” නමැති පොතෙහි සඳහන්ව තිබෙන්නට ඇත. අවාසනාවකට මෙන් මේ පොත අදටත් කිසිවකුට සොයා ගන්නට බැරිව ගොස් තිබේ. ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ගිණිබත් වූ අවස්ථාවේදී එය වැනසී ගියාද යන්න සැක සහිතය.

9. ඇමරිකා ඩොලර් මිලියන 10ත් 20ත් අතර වටිනා භෝජන සංග්‍රහයක්
ජනප්‍රවාදයෙහි සඳහන් වන අන්දමට ක්ලියෝපැට්‍රා, මාර්ක් ඇන්තනී සමඟ ඔට්ටුවක් අල්ලා තිබේ. එහිදී ඇය පවසා තිබෙන්නේ තමන්ට සෙස්ටර්සස් (රෝම මුදල් ඒකකයක්) මිලියන 10ක ආහාර, එක වේලකට කා දමන්නට පුළුවන් බවකි. සෙස්ටර්සස් මිලියන 10ක් යනු වත්මන් ඇමෙරිකා ඩොලර් මිලියන 10ත් මිලියන 20ත් අතර වටිනාකමක් සහිත මුදලකි. ඈ මේ ඔට්ටුව දිනුවේ තමන් එවෙලෙහි පැළඳගෙන සිටි කරාබු සහ මුතු, විනාකිරි බඳුනකට දමා දියවන්නට හැර එම විනාකිරි පානය කිරීමෙනි. විනාකිරිවල සාන්ද්‍රණය ගැන මෙන්ම අබරණ සහ මුතුවල තත්ත්වය ගැනත් වටිනාකම ගැනත් මෙහිදී ගැටළු මතු වේ. වත්මන් රසායන විද්‍යාඥයන් පවසන්නේ මුතුවල අඩංගු කැල්සියම් කාබනේට් දියකර හැරීමට විනාකිරිවලට හැකියාවක් ඇති බවයි. එසේ වුවත් ඊට දිනකට වඩා වැඩි කාලයක් ගතවන බව ඔවුහූ පෙන්වා දෙති.

10. අයිසිස් දෙවඟනගේ පුනරාවර්තනය
ක්ලියෝපැට්‍රා තමන්ව ලෝකයට හඳුන්වා දුන්නේ අයිසිස් දෙවඟනගේ පුනර්ජන්මයක් හැටියටය. මාර්ක් ඇන්තනී ඔසිරිස් දෙවියන්ගේ පුනරාගමනයක් ලෙසත් ඈ හඳුන්වා දුන් බව ජනප්‍රවාදයෙහි ඇත. යාත්‍රාවක් පුරවා සුවඳ විලවුන් ද ගෙන මාර්ක් ඇන්තනීව හමුවන්නට ගිය ගමනේදී ක්ලියෝපැට්‍රා සැරසී සිට ඇත්තේ වීනස් දෙව්දුව මෙනැයි කතාවල සඳහන් වේ. ඒ කතාවලට අනුව මින්දද මෙන් සරසුණු තරුණ පිරිමි ළමයින් ද අප්සරාවන් මෙන් සැරසුණු ඇගේ මෙහෙකාරියන් ද ගමනට සහභාගී වී ඇත.

11. ඈ මියගිය සැටිය තවමත් අබිරහසකි.
පළමු රෝම අධිරාජයා වූ ඔගස්ටස්ගේ හමුදාව අතින් ක්ලියෝපැට්‍රාගේ හමුදාවෝ පරාජයට පත් වූහ. මේ පරාජය දරා ගත නොහැකි වූ තැන, දිවි තොර කරගන්නා බව ලියා එම සටහන ආරක්ෂකයකු අතට පත් කර ක්ලියෝපැට්‍රා සිය දිවි නසා ගත් බැව් සඳහන් වේ. ඈ සිය දිවි නසාගෙන තිබෙන්නේ විෂකුරු නාගයකු සිය දෑතින් තුරුළු කරගෙන ඌට ඇගේ ලැම පෙදෙස දෂ්ඨ කරන්නට ඉඩ හැරීමෙනැයි කියැවේ.

මේ කතාවට අනුව ඇයට දෂ්ඨ කර තිබෙන්නේ ඊජිප්තු නාගයෙකි. එසේ නම් ඇගේ මරණය සිදුවන්නට ඇත්තේ පැය කිහිපයක් ඈ වේදනාවෙන් පෙළෙමින් සිටියාට පසුව විය යුතුය. ඉතා ඉක්මනින් මරණය අපේක්ෂා කළ ඈ පැය ගණනක් වේදනා විඳිමින් සිට මරණයට පත්වීම තෝරා ගනීවිද යන්න සැක සහිත බව ඉතිහාසඥයෝ පවසති. ක්ලියෝපැට්‍රාගේ මරණය සිදුව තිබෙන්නේ සිය දිවි නසා ගැනීමකින් වුවත් එය සිදු වුණේ කවර ආකාරයකින්ද යන්න ගැන හරියාකාර සාක්ෂියක් ඉතිහාසයේ නැත.

12. අවසන් ඊජිප්තු පාරාවෝ
ක්ලියෝපැට්‍රා සිහින මැව්වේ ඊජිප්තුව නිදහස් රාජ්‍යයක් වශයෙන් ගොඩනැඟෙනු දැකීමටයි. එසේ වුවත් ඇගේ ඒ සිහිනය සැබෑ වූයේ නැත. ක්‍රි.පූ. 30දී ඈ ජීවිතක්ෂයට පත්වීමත් සමඟම ඔගස්ටස් ඊජිප්තුවේ පාලනය අල්ලා ගත්තේය. ඉන්පසු ඊජිප්තුව රෝමයේ ප්‍රාන්තයක් බවට පත් විණ.

ක්ලියෝපැට්‍රා ජීවිතක්ෂයට පත්වන විට ඈ සමඟ ඇගේ පුත් සිසේරියන් ද ඊජිප්තුව පාලනය කරමින් සිටියේය. මව මිය යනවිට 17 හැවිරිදි වියේ පසු වූ සිසේරියන් ක්‍රි.පූ. 30 අගෝස්තු 23වැනිදා මරණයට පත්වන්නට ඇතැයි කියා සැක කෙරේ. ඔගස්ටස්ගේ අණක් ක්‍රියාත්මක වීම, සිසේරියන්ගේ මරණයට හේතුවක් වීද යන්න අපැහැදිලිය. කෙසේ වුවත් සිසේරියන් යනු ජුලියස් සීසර්ට දාව උපත ලද එකම පුත්‍රයායායි. සිය සහෝදරයන් නිසා දරුවන් නොලද ක්ලියෝපැට්‍රාගේ වැඩිමහල් පුතණුවන් වන්නේ ද සිසේරියන්ය.

13. බූරු කිරි නෑම

ක්ලියෝපැට්‍රා තමන්ගේ තරුණ බව රැකගන්නට වෙසෙසින් වෙහෙසුණු කාන්තාවකි. ඈ ස්නානය කළේ බූරු දෙනුන් 700ගෙන් දොවා ලබා ගත් ක්ෂීරය බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ. මෙය හාස්‍ය දනවන කතාවක් ලෙස කෙනෙකුට පෙනෙන්නට පුළුවන. එසේ වුවත් පුරාණ කාන්තාවන් තරුණ පෙනුම රැකගන්නට බූරු කිරි ස්නානය කළ බව රහසක් නොවේ. නීරෝ අධිරාජයාගේ බිරිය ද දිනපතාම බූරු කිරි නෑ කාන්තාවක බවට මතයක් ඇත.
බූරු දෙනුන්ගේ කිරි, එළදෙනුන්ගේ කිරි තරමටම පෝෂණ ගුණයෙන් යුක්ත බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. එළකිරිවලට අසාත්මිකතාවක් දක්වන අයට ආදේශකයක් හැටියට බූරු කිරි භාවිත කරන්නට පුළුවන් බව තහවුරුව තිබේ. රූපලාවාන්‍යය සත්කාරකවලදී භාවිතයට ගැනෙන ආලේපන නිෂ්පාදනයටත් බූරු කිරි අද යොදා ගැනේ.

14. පෙම්වතා සමඟ ම අවසන් ගමනත් ගියා ද?

ක්ලියෝපැට්‍රා සහ මාර්ක් ඇන්තනී එකට මරු වැළඳගත්තාද යන්න ගැන ස්ථිර නිගමනයක් නැත. සමහර ඉතිහාසඥයන්ගේ මතයේ හැටියට මේ දෙදෙනාගේ දේහ එකම තැනෙක මිහිදන් කෙරී ඇත. ඔවුන්ගේ දේහ මිහිදන් කෙරෙන්නට ඇත්තේ ඇලෙක්සැන්ඩ්‍රියා ආසන්නයේ බවට විශ්වාසයකුත් තිබේ. ඇලෙක්සැන්ඩ්‍රියාහි සිට සැතපුම් 30ක් ඈතින් පිහිටි ටපොසිරිස් මග්නා ආරාමයේදී ඔවුන්ගේ දේහ මිහිදන් කෙරුණු බව තවත් සමහරුන්ගේ මතයයි. ක්ලියෝපැට්‍රා සහ මාර්ක් ඇන්තනීගේ දේහ මිහිදන් කෙරුණේ කවර ස්ථානයක්ද යන්න ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගන්නට කිසිවකු මේ වනතුරුත් සමත්ව නැත. ඇතැම් ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ කවර තැනෙක ඇගේ දේහය මිහිදන කෙරුණද එය මමියක් ලෙස සංරක්ෂණය කෙරෙන්නට ඇතැයි කියාය. මාර්ක් ඇන්තනීගේ දේහය රෝම සම්ප්‍රදායන්ට අනුව ආදාහනය කෙරෙන්නට ඇතැයි කියා විශ්වාස කරන පිරිස් ද සිටිති.

15. ක්ලියෝපැට්‍රා සහ මාර්ක් ඇන්තනී යුවළගේ දරුවන්

මාර්ක් ඇන්තනීට දාව ක්ලියෝපැට්‍රා දරුවන් තිනෙකු වැදුවාය. පළමු දරුවන් දෙදෙනා නිවුන් පුතකු සහ දියණියක වූ බව සඳහන් වේ. එම පුතු ඇලෙක්සැන්ඩර් හෙලියෝස් ලෙසත් දියණිය දෙවන ක්ලියෝපැට්‍රා සෙලෙනේ ලෙසත් හැඳින් විණ. ක්ලියෝපැට්‍රා – මාර්ක් ඇන්තනී යුවළගේ අනෙක් දරුවා 16 වන ටොලමි ය. දෙමව්පියන්ගේ මරණවලින් වසර කිහිපයකට පසුව ක්ලියෝපැට්‍රා සෙලෙනේ, මොරිටානියාහි දෙවන ජුබා රජතුමාට විවාහ කර දුන් බව සඳහන් වේ. මේ විවාහය කරදීමට මුල්වී තිබෙන්නේ රෝම අධිරාජයා වූ ඔගස්ටස් ය. විවාහයෙන් පසු ඇයගේ සොයුරන් දෙදෙනාට කුමක් වීද යන්න ගැන සඳහන් නොවේ. ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ඔවුන් රෝගයකට ගොදුරුවීමෙන් මියයන්නට හෝ ඝාතනයකට ලක්වන්නට හෝ ඇතැයි කියාය. ක්ලියෝපැට්‍රාගේ එකම දියණිය ක්‍රි.පූ. 6දී පමණ මරු වැළඳ ගත්තාය. ඈ අකලයේ මරණයට පත් වූයේ කවර හේතුවක් නිසා ද යන්න ගැනත් පැහැදිලි තොරතුරක් නැත. මරණයට පත් වනවිට ඈ පුතණු කෙනෙකුගේ සහ දියණියකගේ මවකි. කෙසේ වූවත් ඈ ජුබා රජු සමඟ සාර්ථක යුග දිවියක් ගත කළ බව කියන්නට හැකි සාක්ෂි අල්පය.

ඈ සිය දිවි නසාගෙන තිබෙන්නේ විෂකුරු නාගයකු සිය දෑතින් තුරුළු කරගෙන ඌට ඇගේ ලැම පෙදෙස දෂ්ඨ කරන්නට ඉඩ හැරීමෙනැයි කියැවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි