×

කාන්තාවන් දෙදෙනෙක් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගනිමින් ඉතිහාසය අලුතෙන් ලියයි

නොබෙල් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් දෙදෙනෙකු විසින් නොබෙල් ත්‍යාගයක් දිනාගෙන තිබේ. ඒ, 2020 රසායන විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගයයි.


ඒ, ඇමරිකානු ජීව රසායන විද්‍යාඥවරියක් වන ජෙනිෆර් ඩූඩ්නා (Jennifer Doudna) සහ ප්‍රංශ ජාතික ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියක් වන එම්මානුවෙලා කාපෙන්ටියර් (Emmanuelle Charpentier) විසිනි.

DNA සංස්කරණය කළ හැකි, එනම් ක්‍රෝමසෝම එඩිට් කළ හැකි CRISPR නමැති බැක්ටීරියාමය ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඔවුන් විසින් සොයාගැනීම මෙම සම්මානයට හේතු වී තිබේ.

මේ සොයාගැනීම ඔවුන් විසින් සිදුකර තිබෙන්නේ 2012 වසරේදී වීම ද විශේෂත්වයකි.

එතැන් පටන් අද දක්වා මෙම තාක්ෂණය අතිශයින් දියුණු වී ඇති අතර, ලෝකයේ බොහෝ රටවල් එයින් ඵල නෙලා ගනිමින් ද සිටියි.

මොකක්ද මේ ජාන එඩිට් කිරීම?

ජීවී සෛල වල න්‍යෂ්ටියේ පිහිටා තිබෙන DNA විසින් එම ජීවියාගේ සියලුම ලක්ෂණ තීරණය කරයි. මෙම DNA පිහිටා තිබෙන්නේ ක්‍රෝමසෝම හෙවත් වර්ණදේහ වශයෙනි. ක්‍රෝමසෝමවල තිබෙන්නේ DNA සහ ප්‍රෝටීන ය. DNA අණු, සර්පිලාකාර අතර, ඒවායේ භෂ්ම අනුපිළිවෙළක් තිබේ. එම අනුපිළිවෙල අතිශය සියුම් එකක් වන අතර, ඒවා විවිධ වෙනස්කම්වලට ලක් කිරීම අතිශයින්ම මතභේදාත්මක කාරණයක් වේ.

ජීවී සෛලවල සියලු ලක්ෂණ පාලනය වන්නේ DNA මගින් නම්, ප්‍රවේණික රෝග යනාදී සියල්ලම මේවායේ ජාන අනුපිළිවෙළ ඇතුළු ව්‍යූහාත්මක වෙනස්කම් එඩිට් කිරීම මගින් සිදුකළ හැකිය. ඕනෑම රෝගයකට ප්‍රතිකාරයක් හෝ කිසිදු රෝගයක් නොවැළඳීමේ තත්වයක් දක්වා මේ තාක්ෂණය වැඩි දියුණු කිරීමට ද පුළුවන.

මේ නිසා ජාන සංස්කරණ තාක්ෂණය සොයාගැනීම, 50 දශකයේදී ජේම්ස් වොට්සන් සහ ෆ්‍රෑන්ක් කික් විසින් DNA අණුව සොයාගත් සමයේ පටන්ම විද්‍යා ලෝකයේ දැඩි අවධානයට පාත්‍ර වූවකි.

Technology Networks

මෙම විද්‍යාඥවරියන් දෙපළ විසින් සොයාගෙන තිබෙන්නේ CRISPR නමැති, එදා මෙදාතුර සොයාගත් ජාන සංස්කරණය සඳහා යොදාගත හැකි, කාර්යක්ෂමතාවයෙන් වැඩිම සහ පහසුතම තාක්ෂණයයි.

වසර 8 ක් මුළුල්ලේ මේ තාක්ෂණය වැඩි දියුණු වන ආකාරය සහ මානව ශිෂ්ටාචාරයේ වැදගත් සොයාගැනීම් සිදුකිරීමට මෙම තාක්ෂණය යොදාගැනෙනා ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසුව නොබෙල් කමිටුව විසින් මෙම ත්‍යාගය ඔවුන්ට පිරිනැමීමට තීරණය කර තිබේ.

විද්‍යා ක්ෂේත්‍රය තුළ කාන්තාවන් දෙදෙනෙකු විසින් දිනාගත් පළමු නොබෙල් ත්‍යාගය මෙය වේ.

කාපෙන්ටියර් කියන දේ අසන්න!

කාපෙන්ටියර් අතිශය වැදගත් පණිවුඩයක් මේ සමග අප හමුවේ තබයි.

‘‘මා සිතන්නේ කාන්තාවන්ට පැහැදිලි මගක් තිබීම අතිශය වැදගත්. මා සහ ජෙනිෆර් ඩූඩ්නා ට මේ ත්‍යාගය අද දිනයේ පිරිනැමීම, තරුණ ස්ත්‍රීන්න්ට ඉතාම වැදගත් පණිවුඩයක් ලබා දෙනවා..‘‘

ඇය මෙසේ ද කීවාය.

‘‘මගේ ස්ත්‍රීපුරුෂ සමාජභාවය (gender) ගැන මම ආඩම්බරයි. මා සිතන්නේ කාන්තාවන්ගේ කාර්යභාරය, පුරුෂයන්ගේ කාර්යභාරය තරමටම පිළිගැනීමට ලක් කළ හැකි බව පෙන්වීමට මේ අවස්ථාව ඉතාම වැදගත්..‘‘

පෙර ලිපි

භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විශ්වයේ ‘අඳුරුතම රහස්‘ හෙළිකළ විද්‍යාඥයන් ත්‍රිත්වයකට

හෙපටයිටිස් C වෛරසය සොයාගත් විද්‍යාඥයන් ත්‍රිත්වයට වෛද්‍ය විද්‍යාව සඳහා පිදෙන 2020 නොබෙල් ත්‍යාගය

 

 

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි