×

කිසිම විදියකින් මරන්නට බැරි ‘දිය වලසා‘

මේ ජීවියාගේ තවත් විශේෂයක් ජපානයෙන් හමු වෙයි.


 ඕනෑම විධියක රළු පාරිසරික තත්ත්වයකට ඔරොත්තු දෙන ජීවින් ඇතුළත් ටාර්ඩිග්‍රේඩ් සත්ත්ව වංශයට අයත් තවත් විශේෂයක් ජපානයෙන් වාර්තා වෙයි. නව විශේෂය සොයා ගත්තේ ජපානයේ තෝකියෝහි කෙයිඕ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු වන කසුහාරු අරකාවා ය. ඔහු සිය නිවාස සංකීර්ණය ආසන්නයෙන් ජීවීන් සාම්පල කිහිපයක් එකතු කරගෙන විද්‍යාගාරයට ගෙනැවිත් පරික්ෂා කර බැලීමේදී ටාර්ඩිග්‍රේඩ් වංශයට අයත් ජීවියකු එක් සාම්පලයක සිටිනු දැක තිබේ. එම ජීවියාගේ ජානමය ද්‍රව්‍යය විශ්ලේෂණය කර බලන්නට අරකාවා නැඹුරු වන්නේ ඉන්පසුවයි. ටාර්ඩිග්‍රේඩ් වංශයෙන් මෙතෙක් වාර්තා නොවුණු විශේෂයක් තමන් අනාවරණය කරගෙන ඇති බව අරකාවා එහිදී අවබෝධ කර ගනී. නව විශේෂය “මැක්‍රෝබයොටස් ශෝනයිකස්” (Macrobiotus shonaicus) යනුවෙන් නම් කර තිබේ. ටාර්ඩිග්‍රේඩ් වංශයට අයත් ජීවින් අන්වික්ෂිය වුවත් ඔවුන් හැඳින්වෙන්නේ “ජලජ වලසුන්” හෙවත් “වෝටර් බෙයාර්ස්”ලා හැටියටයි. ටාර්ඩිග්‍රේඩ් වංශයට අයත් ජීවි විශේෂවලට ආහාර රහිතව වසර තිහක් වුව ජීවත් වන්නට පුළුවන. ගිනිකඳුවලත්, රික්තකවලත් ජීවත්වීම ඔවුන්ට අසීරු නැත. ඩයිනොසෝරයන් මිහිමතින් අතු ගෑවී යෑමට තුඩු දුන්නායැයි කියන තරමේ ආකාශ වස්තුවක බලපෑමට පෘථිවිය ලක්වුවහොත් ටාර්ඩිග්‍රේඩ් වංශිකයන්ට හානියක් වන්නේ නැති බව විද්‍යාඥයෝ පවසති. කෙටියෙන් කිවහොත් සීමාන්ත උෂ්ණත්ව, පීඩන තත්ත්වවලදීත් පිරිසිදු වාතය බෙහෙවින්ම හිඟ අවස්ථාවලදීත්, ඉහළ විකිරණශීලීතාවක් පවතින විටදීත්, ජලය සහ ආහාර අතිශයින්ම දුර්වලව ලැබෙන අවස්ථාවලදීත් මේ වංශයේ ජීවින්ට නොනැසී සිටින්නට පුළුවන් බවය. මෙය පුදුම සහගත පැවැත්මකි.

ඒ නිසාම ඔවුන්ව “නොනැසිය හැකි ජීවීන්” හැටියට හැඳින් වේ. පුදුම සහගත මෙවැනි පැවැත්මක් ඔවුන්ට උරුම වී ඇත්තේ කෙසේද යන්න විද්‍යාඥයන්ට තවමත් විසඳා ගන්නට බැරිව ගොස් ඇත. විද්‍යාඥයෝ විවිධ පාරිසරික තත්ත්ව සපයමින් මේ ජීවීන් ගැන පර්යේෂණ සිදු කර තිබේ. ෆැරන්හයිට් අංශක 300ක උෂ්ණත්වයකින් යුත් ජලයේ එම ජීවින් බහා තබා පරීක්ෂණ කර ඇත. ෆැරන්හයිට් අංශක සෘණ 328ක් තරම් වූ පරිසරයක ද ටාර්ඩිග්‍රේඩ් වංශිකයන් තැබූ බව විද්‍යාඥයෝ පවසති. ඒ කිසිදු අවස්ථාවකදී පර්යේෂණයන්ට යොදා ගත් ටාර්ඩිග්‍රේඩ් වංශික ජීවින් විනාශයට පත් නොවූ බව විද්‍යාඥයෝ සනාත කරති. ටාර්ඩිග්‍රේඩ් වංශිකයන් අභ්‍යාවකාශයට යවා නැවත නිරුපද්‍රිතව ගෙන්වා ගැනීමට පවා විද්‍යාඥයන් සමත්ව සිටින බව “නැෂනල් ජියෝග්‍රෆික්” වර්තාවක දැක්වේ. අහිතකර අවස්ථාවකදී කෝෂ්ඨයක් බඳු තත්ත්වයකට දේහය පමුණුවා ගෙන සිටින්නට ටාර්ඩිග්‍රේඩ් වංශිකයන්ට හැකියාව ඇත. අහිතකර කාලය කෙතරම් දිගු වුවත් එපරිද්දෙන්ම හිඳිමින් ඔවුහු එකී කාලය අවතරණය කරති. ඔවුන් නැවත යථා තත්ත්වයට පැමිණෙන්නේ අහිතකර කාලය පහව ගිය පසුවයි. ටාර්ඩිග්‍රේඩ් ජීවීහු සාමාන්‍යයෙන් මිලිමීටර 0.5ක් පමණ දිගැති කෙටි මහත් දේහ දරන්නෝය. ඔවුන්ගේ ශරීර ප්‍රමාණය විශේෂයෙන් විශේෂයට වෙනස් වේ. විශාලම දේහයකට හිමිකම් කියන විශේෂයේ වුව දේහය මිලිමීටර 1.5කට වඩා දිගු වන්නේ නැත. ඔවුන්ගේ කෙටි තර දේහවලට පාද යුගල හතරක් සම්බන්ධය. මේ පාදවල කෙළවර නඛර 4ත් 8ත් අතර ප්‍රමාණයක් දක්නට පුළුවන. ඔවුන් වැඩිපුර වාසය කරන්නේ ලයිකන සහ දිය සෙවල මතය. එසේ වුවත් වැලි සහිත පරිසරවල මෙන්ම වෙරළ තීරවලත්, කරදිය සහ මිරිදිය රොන් මඩවලත් ඔවුහු වෙසෙති. ටාර්ඩිග්‍රේඩ් වංශිකයන් ආහාරයට ගන්නේ ශාක සෛල, ඇල්ගේ වර්ග සහ ඉතා කුඩා අපෘෂ්ඨවංශික ජීවීන්ය. ටාර්ඩිග්‍රේඩ් වංශිකයන් බහු සෛලිකයන් වුවත් ඉතා කුඩා බැවින් ඔවුන්ව පියවි ඇසින් කෙසේවත් දැකගත නොහැකිය. මේ නිසා ඔවුන්ගේ ජීවන විලාසය අධ්‍යයනය කිරීමට සිදුවන්නේ අන්වීක්ෂ භාවිතයෙනි.

පුදුම සහගත මෙවැනි පැවැත්මක් ඔවුන්ට උරුම වී ඇත්තේ කෙසේද යන්න විද්‍යාඥයන්ට තවමත් විසඳා ගන්නට බැරිව ගොස් ඇත.

ටාර්ඩිග්‍රේඩ් වංශයට අයත් ජීවී විශේෂ 1150ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත. එම වංශයට අයත් නව විශේෂ ගැන තවදුරටත් වාර්තා වෙමින් පවතී. ජපානයෙන් පසුගිය දා වාර්තා වූ විශේෂය එහිලා නිදර්ශනයක් හැටියට දක්වන්නට පුළුවන. ජපානයෙන් වාර්තා වූ 168 වන ටාර්ඩිග්‍රේඩ් වංශික විශේෂය හැටියටත් එය හැඳින් වේ. මේ වංශයට අයත් ජීවින්ගේ පොසිල පවා විද්‍යඥයන් අතට පත්ව තිබේ. පර්යේෂකයන් පවසන අන්දමට වසර මිලියන 530ක් තරම් පැරණි ටාර්ඩිග්‍රේඩ් වංශික ජීවියකුගේ පොසිලයක් පවා සොයා ගත හැකි වී ඇත. ටාර්ඩිග්‍රේඩ් වංශික ජීවී විශේෂයක් පිළිබඳව පළමුවෙන්ම තොරතුරු වාර්තා කළේ ජර්මානු සත්ත්ව විද්‍යාඥයෙකි. ඔහු එම තොරතුරු වාර්තා කළේ 1773 වසරේදී පමණ බව දැක්වේ. අනතුරුව මේ විශේෂය “ලිට්ල් වෝටර් බෙයාර්” යන අරුත දෙන ජර්මන් වචන පෙළකින් හඳුන්වනු ලැබිණ. එම වංශය “ටාර්ඩිග්‍රේඩ්” යනුවෙන් නම් කරනු ලැබුවේ 1776 වසරේදී ලාසරෝ ස්පැලන්සානි නැමැති ඉතාලි ජාතික ජෛව විද්‍යාඥයායි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි