×

කුජ අල්ලනවා නම්, දවස අදයි !

රතු ග්‍රහයා නොහොත් කුජ නොහොත් අඟහරු, පෘථිවිය සහ සූර්යයා සමග එකම රේඛාවක පිහිටන දවස පසුගිය අඟහරුවාදාට යෙදී තිබිණි.


සෑම මාස 26කටම වරක් ‘කුජ මාරුව‘ යැයි දේශීය ජ්‍යෝතිෂඥයන් විසින් මහා බැරෑරුම් ලෙස කියන, පෘථිවිය සහ කුජ ග්‍රහයා එකිනෙකට ආසන්නයෙන්ම පිහිටන දවස එදා ය.

එනිසා එදින කුජ ග්‍රහයා පෘථිවි වාසීන්ට විශාලතම සහ දීප්තිමත්ම ලෙස දිස්විය.

අඟහරුවාදා දිනයේ ග්‍රිනිච් මධ්‍යම වේලාවෙන් රාත්‍රී 11.20 ට (23:20 GMT (00:20 BST)) මෙය සිදු විය.

‘‘නමුත් අද වුණත් මේ ග්‍රහ සංකලනය පියවි ඇසට පෙනෙනවා.‘‘ එසේ කියන්නේ බටහිර දෛවඥයෙකි. ‘‘සෑම දිනකම රාත්‍රී 9-10 ට පමණ වළාකුළු රහිත අහසක් නම් ඔබට මේ ග්‍රහලෝකය පියවි ඇසට වුවත් දැකගත හැකිය.

කුජ-පෘථිවි-හිරු යන තිදෙනාම එකම සරල රේඛාවක පිහිටන මෙම අවස්ථාව moment of opposition හෙවත් ‘විරුද්ධත්වයේ මොහොත‘ යනුවෙන් ද බටහිර දෛවඥයෝ හඳුන්වති.

සෞරග්‍රහ මණ්ඩලයේ උසම කඳු පිහිටා තිබෙන, ලොකුම දූලි වළා මවන රතු ග්‍රහයාට ඒ නම ලැබී තිබෙන්නේ ද රතු පැහැයෙන් යුක්ත දුහුවිලි වළාවන්ගෙන් එය වැසී තිබෙන නිසා ය.

විරුද්ධත්වයේ මොහොත හොඳින් දැකගත යුතුය.

බටහිර තාරුකා විද්‍යාඥයන් හට නම්, ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කිරීම යනු, ඒවා නිරීක්ෂණය කිරීමට ලබෙන හොඳම අවස්ථාවයි.

පෘථිවි විද්‍යාඥයෝ ඒ මෙහෙයුම අදියර තුනකින් ක්‍රියාත්මක කරති.

මේ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටා තිබෙන හෝප් දුරේක්ෂය ඒ සඳහා දැනටමත් සූදානම් ශරීරයෙන් පසුවෙයි. චීනයේ ටියැන්වෙන් ඕබිටරය සහ රෝවර් යානය ද ඇමරිකාවේ පර්සවරන්ස් රෝවරය ද ඒ සඳහා ම ඉදිරි කාලය කැප කරනු ඇත.

හෝප් දුරේක්ෂය කුජ ග්‍රහයා නිරීක්ෂණය කරන අන්දම සිත්තරෙකුගේ ඇසින්

පෘථිවි වාසීන්ගේ නටන පිස්සුව කුජ ග්‍රහයා දන්නවා නම්..

මෙහිදී මාස 26 ක චක්‍රය තුළ අඟහරු ග්‍රහයා පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරන්නේ මේ සරල රේඛීය පිහිටුමේදී ය.

නමුත් මේ ‘ආසන්නයෙන්ම‘ යන්න කිලෝමීටරවලින් නම් 62,069,570 කි. හැතැක්මවලින් නම් හැතැක්ම 38,568,243 කි.

ඒ අනුව මෙවර කුජ සහ පෘථිවිය අතර පරතරය කිලෝමීටර මිලියන 62 කට ආසන්න ය. මීට පෙර මෙම සංසිද්ධිය හටගත් 2018 වසරේදී එම දුර කිලෝමීටර මිලියන 58 ක් පමණක් විය.

කුජ ග්‍රහයා හෙවත් රතු ග්‍රහයා හෙවත් අඟහරු, එදා මෙදාතුර අප දන්නා කාලය අතරවාරයේදී පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කළේ 2003 වසරේදී ය. එහිදී පෘථිවිය සහ කුජ ග්‍රහයා අතර පරතරය කිලෝමීටර මිලියන 56 ක් පමණක් විය.

මෙතරම් ආසන්නයට කුජ ග්‍රහයා පැමිණෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 60,000 කට වරක් පමණක් බව කියැවෙයි.

කුජ ග්‍රහයා පෘථිවිය සමග සරල රේඛාවක් සාදන අතරම වඩාත්ම දුරින් පිහිටන්නට තීරණය කර තිබුණේ 2012 වසරේදී ය. එහිදී පෘථිවිය සහ අඟහරු අතර පරතරය කිලෝමීටර මිලියන 100 ක් විය.

කෙසේ නමුත් මේ කුජ ගමනත් සමග පෘථිවි වාසීන් මාස 26කට වරක් කොතරම් කලබලයට පත් වන්නේද සහ කොතරම් කලබලයට පත් කළ හැකිද යන්න හොඳින්ම දන්නේ දෛවඥයන් ය. ඔවුහු මේ කාලයට එක එක ලග්නවල ඵලාපල වෙනස්වන ආකාරය ගැන තලු මරමින් කියති. කුජ ග්‍රහයා සාමාන්‍යයෙන් සටනට අධිපති ය, එනිසා කුජෙන් උපන් අයට අපල අඩු වේ යනාදී වශයෙන් ඔවුන්ගේ ශාස්ත්‍රය තුළ කුජ ග්‍රහයා ගැන කියන වෙනම සාස්තරයක් තිබේ.

යම් හෙයකින්, තමන් ළං වූ විට පෘථිවි වාසීන්ට සිදුවන මේ විපරියාසය ගැන කුජ ග්‍රහයා දන්නවා නම්, කුජ ග්‍රහයා පෘථිවියේ අහලකටවත් එන එකක් නැත!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි