×

කොරෝනා අස්සෙන් ඇසෙන අසරණයන්ගේ විලාපය

ලංකාව සතියකට ෂට් ඩවුන් කරන්නට දැන් සාකච්ඡාවකි. රජයේ සේවකයන් වැටුප් සහිතව නිවෙස්වලට වී සිටින විට එදා වේල සරිකරගන්නවුන් අන්ත අසරණ තත්වයකට වැටී ඇති බවට තවත් සාකච්ඡාවකි. මේ සියලු කතාබහ මානව කේන්ද්‍රීය ය.


ඒ සියල්ල අතරේ ඔබ අප හැමට අමතක වූ කොට්ඨාසයක් ද වෙයි. ඒ නම්, මිනිසුන් නිසාම දිවි රැක ගන්නට පුරුදු වූ, මිනිසුන් මතින්ම රැකෙන්නට පුරුදු වූ සත්ව අහිංකයන් පිරිසකගේ ඛේදවාචකයයි.

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තායිලන්තයේ ලොප්බුරි පූජා නගරයේ වීදි සිසාරා උමතුවෙන් මෙන් දිව යන වඳුරන් කණ්ඩායම් ය. ඇත්තෙන්ම උන් උමතුවෙන් නොවේ. දරාගත නොහැකි තරම් වූ කුසගින්නකිනි. ලොප්බුරි වැසියන්ට අනුව වසර 800 ක් පැරණි මේ පූජා නගරයේ පරම්පරා පිටින් ජීවත් වූ මෙම වඳුරන් දැන් සාගින්නෙන් උමතු වී තිබේ. මෙහි ඇදී එන සංචාරකයෝ දිනකට වඳුරන් දහස් ගණනකට ආහාර පාන ලබාදෙන්නට පුරුදු වී සිටියහ.

‘‘සාමාන්‍යයෙන් මේ ගිම්හානයට සංචාරකයන් දහස් ගණනින් මෙහි ඇදී එනවා. නමුත් කොරෝනා වසංගතය නිසා දැන් එක්කෙනෙක්වත් නැති තරම්..‘‘ ඔවුහු කියති.

අසල පිහිටා තිබෙන, 13 වන සියවසට අයත් ප්‍රා ප්‍රැන්ග් සාම් යොත් පන්සලේ ද තත්වය එය ය. එහි ඇදී එන සංචාරකයෝ ද වඳුරන්ට මිනිස් ආහාරවලින් සංග්‍රහ කිරීමට පුරුදු ව සිටියහ. වාර්ෂික වඳුරු භෝජන සංග්‍රහය (Monkey Buffet Festival) පැවැත්වෙන්නේ ද මේ සුප්‍රකට නගරයේ ය. නමුත් මෙවර මේ මැකෝ වඳුරන්ට භෝජන සංග්‍රහ තබා දිවි රැක ගැනීමට ආහාර බිඳක්වත් නොලැබෙන තත්වයක් උද්ගත වී තිබේ.

වඳුරු ආක්‍රමණ

දැන් ඉතින් සිදුවනු ඇත්තේ කුමක්ද? කුසගින්න නිසා අසරණ කමටත් උමතුභාවයකටත් පත් වඳුරන් විසින් මිනිස් වාසස්ථාන ආක්‍රමණය කිරීමයි. බ්‍රහස්පතින්දා වාර්තා වූයේ ආහාර සොයමින් නගරයට පැමිණි වඳුරු රංචු විසින් කණු කසළ බාල්දි ආක්‍රමණය කිරීමයි. කඩසාප්පු සියල්ල ඒ වන විට වසා දමා තිබිණි. උන්ට සොයාගත හැකි වූයේ කුමක්ද? තනි යෝගට් කෝප්පයක් පමණි. අනතුරුව හටගත් වඳුරු සටන විනාඩි 10 ක පමණ කාලයක් පැවති බවත්, එය ලේ සෙළවූ සටනක් වූ බවත් Khaosod English මාධ්‍යය වාර්තා කරයි.

https://www.facebook.com/1733840675/videos/10206801064741888/

තායිලන්තයට පසුගිය වසරේ සංචාරකයන් මිලියන 39 ක් පැමිණ තිබේ. එයින් මිලියන 10කට වඩා චීන සංචාරකයන් ය. කොරෝනා වසංගතයත් සමග මේ වන විට චීන ජාතිකයන්ට තායිලන්තය බලා පැමිණීම තහනම් ය. සංචාරක කර්මාන්තය මේ අයුරින් අඩපණ වීම නිසා අඩාල වී තිබෙන්නේ මිනිස් ජන ජීවිත පමණක් නොවේ. මිනිසුන් විසින්ම තමන් මතම යැපෙන තත්වයකට පත් කර ඇති අසරණ සතුන් පිරිසකගේ ද ජීවිත දැන් අතුරේ යමින් තිබේ.

මෙය ලංකාවේ ද කතාව වනු ඇත!

මෙය හුදෙක් තායිලන්තයට පමණක් අනන්‍ය වූ කතාවක් නොවේ. වීදි දිගේ ඇවිදින සුනඛයන්, නිවෙස් වලින් පන්නා දැමුණු බළලුන්, පූජ්‍යස්ථාන අසල ගැවසෙන සුනඛයන් සහ වඳුරන් යනාදී වශයෙන් මේ ලැයිස්තුව ඉතා දිගු ය. අනුරාධපුර හෝ පොළොන්නරුව යන විට වනයේ සිටින අලි ඇතුන්ට මිනිසුන් විසින් විවිධ ආහාර පාන ලබාදීම නිසා උන් මහ පාරට ඇදී එන්නට පුරුදු වී ඇති අයුරු අපි දනිමු. කොරෝනාවේ අතුරු ඵලය වනු ඇත්තේ මේ අහිංසකයන්ගේ කුසගින්නයි. ඒ නිසා, ඔබ සුරක්ෂිතව නිවසට වී සිටි අතරේ, කොරෝනා කිසිසේත්ම නොවැළඳනෙ හෝ බෝවීමට රුකුල් නොදෙන මේ අහිංසකයන්ගේ ජීවිත ගැනත් මදක් සිතන්න. ඔබට හැකි දේ කරන්න!

Cover Photo: © Sasaluk Rattanachai- Facebook



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි