×

කොරෝනා වයිරසයෙන් පසු අනාගත ලෝකය 1 – ජාත්‍යන්තර සංචරණය කෙබඳු වේවිද ?

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමග ලොව පුරා ගමනාගමනය තවදුරටත් අඩාල වීම හේතුවෙන් ජාත්‍යන්තර සංචරණයේ අනාගතය පිළිබඳව ප්‍රශ්නාර්ථ මතුවී තිබෙනවා.


කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ බොර්න්මවුත් විශ්වවිද්‍යාලයේ ආගන්තුක හා සංචාරක කටයුතු කළමණාකරන අංශභාර මහාචාර්ය ඇඩම් බ්ලේක් කියා සිටින්නේ වයිරසය නිසා මිනිසුන්ගේ සංචරණයට ඇති ආශාව ප්‍රහීන නොවන බවත් , ඔවුන් සංචරණයේදී වඩාත් සැලකිලිමත් වනු ඇති බවත්‍ ය. තවද , සංචාරකයින්ට ආරක්ශිත සංචරණයක් උදෙසා ක්ෂේත්‍රය තුළ ඉතා පැහැදිලි වෙනස්කම් දැකීමට අවශ්‍ය වනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

කොරෝනා වයිරසය ලෝකයෙන් තුරන් වීමෙන් පසු ජාත්‍යන්තර සංචරණයේ පහත වෙනස්කම් දක්නට හැකි වනු ඇතැයි සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනුමාන කරනවා.

01) සුඛෝපභෝගී මගී ප්‍රවාහන නැව් ගාස්තු පහළට

ලොවපුරා මගී ප්‍රවාහන නැව් කිහිපයකින්ම අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගම සංචාරක නැව් සමාගම් දැඩි අර්බුදයකට මේ වනවිට මුහුණ පා සිටිනවා.

මෙම තත්වය මග හරවාගෙන නැවත සුපුරුදු ජනප්‍රියත්වයට පත්වීමට නම් අඩු ගාස්තු , වැඩි ඉඩ පහසුකම් සහිත නැව්‍ සහ එක් නැවකට අඩු මගී පිරිසක් වැනි පියවර රැසක් අනුගමනය කලයුතු බව සංචාරක විශ්ලේෂකයන්ගේ මතයයි.

02) පිරිසිදුකම සහ විෂබීජහරණයට වැඩි අවධානය

සංචාරකයින් හා ගනුදෙනු කරන සෑම ආයතනයක්ම තම ගනුදෙනුකරුවන්ට ආයතනයේ පිරිසිදුකම සහ විෂබීජහරණය තහවුරු කිරීමට විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇතැයි අනුමාන කල හැකිය.

03 ) හෝටල් කාමර ගාස්තු පහළට

ව්‍යසනයෙන් පසු නැවත සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට සෑම වර්ගයේම හෝටල් සහ නවාතැන්පොලවල් සිය කාමර ගාස්තු ඉතා විශාල අන්දමින් පහල හෙලනු ඇතැයි ප්‍රවීණයන් මත පල කරති.

04) කුඩා පරිමාණයේ ගෘහාශ්‍රිත නවාතැන් වලට අඩු ඉල්ලුමක්

කුඩා පරිමාණයේ ගෘහාශ්‍රිත නවාතැන්පොලවල් වලට පිරිසිදුකම හා විෂබීජහරණය පිළිබඳව සුවිශේෂී තත්ව සහතිකයක් නිකුත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් හෝටල් සදහා වැඩි ඉල්ලුමක් ලැබෙනු ඇතැයි අනුමාන කෙරේ.

05) ගුවන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල වෙනසක්

ගුවන් යානා තුල මගී තදබදය සහ ක්‍රියාකාරකම් අවම කිරීමට ගුවන්සේවා සමාගම් විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇත. තවද වයිරසය පැතිරීයාම ආරම්භ වීමත් සමගම විවිධ ගුවන් සමාගම් මගින් මගීන්ට ලබාදුන් සහනදායී මිල ගණන් සහ කොන්දේසි ලිහිල් කිරීම් එලෙසින්ම දිගු කාලයක් පුරා ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. එමෙන්ම , ව්‍යාපාරික කටයුතු සදහා ගුවන්සේවා භාවිත කරන පිරිස්වල ක්‍රමානුකූල වැඩිවීමක් සිදු වේයැයි අපේක්ෂා කෙරේ.

6) තිරසාර හා සදාචාරාත්මක සංචරණයට වැඩි ඉඩ

කොරෝනා වයිරසය පැතිරයාමට පෙර සිටම තිරසාර සහ සදාචාරාත්මක සංචරණය කෙරෙහි යම් නැඹුරුවක් ලෝක සංචාරක ප්‍රජාව තුල දක්නට ලැබුණි. මේ වර්ගයේ සංචාරක අත්දැකීම් , සේවා සපයන්නන් සහ සංචරණ ප්‍රතිපත්ති සදහා වැඩි අවධානයක් අනාගතයේදී හිමිවනු ඇතැයි මත ගොඩ නැගෙමින් පවතී.

What will travel look like after coronavirus? – සී.එන්.එන් ඇසුරිනි.

(Cover Photo  by Sergei SUPINSKY / AFP via Getty Images)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි