කොරෝනා වෛසරය ආසාදිතයෙකුගෙන් නිරෝගී පුද්ගලයන්ට සම්ප්‍රේෂණය වන ක්‍රම මොනවාද යන්න ගැන පවතින්නේ විවාදයකි. මේ වන විටත් විශාල වශයෙන් සමාජගත ව ඇති සැකයක් වන්නේ, කොරෝනා වෛරසයට වායුගෝලයේ පාවෙමින් පැවතිය හැකි බව ය. එවිට ඔබ කොතරම් මීටරයක දුරක් අනෙකා සමග පවත්වාගත්තද එයින් පලක් නොවේ.
මේ නිසා කොරෝනා වෛරසය යම් මතුපිටක් තුළ කොතරම් කාලයක් ජීවී තත්වයෙන් පවතියිද, වායු ගෝලයේ එය පාවෙමින් කොතරම් කාලයක් පවතියිද සහ එසේ එයට පැවතිය හැකි යන්න ගැන මේ වන විට ලොව පුරාම විද්‍යාඥයන්ගේ අවධානය දිනාගෙන ඇත.
පහත රූප සටහන දෙස බලන්න. එය ත්‍රිමාන ආකෘතියකි. සුපිරි වෙළඳසැලක රාක්ක අතර සිටින අයෙකුට කොවිඩ් ආසාදනය වී තිබුණේ යැයි සිතමු. ඔහුට කැස්සක් එයි. මෙහි ලා කොල පාටින් දැක්වෙන්නේ ඒ තැනැත්තාගේ කැස්ස බිඳිති සමග වෛරස් අංශු වළාකුළක් හාත්පස විසිරී යන ආකාරයයි.
මෙවැනි වෛරස් අංශු වළාකුළක් ‘කුඩා බෝම්බ පිපිරීමක්‘ සේ අන්වීක්ෂීය දසුනේදී දිස්වනු ඇත. එය හාත්පස පැතිරී විසිරී යන්නට ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණි.
කැස්ස, කිවිසුම පමණක් නොව කතා කරන විටත් සිදුවන්නේ මෙයම ය.
මේ පර්යේෂණය සිදුකරන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය හිමි රට වන ෆින්ලන්තයේ විද්‍යා පර්යේෂකයන් පිරිසක් විසිනි. පර්යේෂණයට දායක වූවන්ගේ දීර්ඝ ලැයිස්තුව මෙහි දැක්වෙන වීඩියෝවේ අවසාන රූපරාමුවේ දක්වා තිබේ.
‘‘කොරෝනා වෛරසයෙන් ආසාදිත අයෙකු මේ අන්දමින් කැස්ස ඇතිවී ඉන්පසු එම ස්ථානයෙන් ඉවත් වී යනවා වන්නට පුළුවන්. නමුත් ඔහු එසේ යන්නේ කොරෝනා වෛරසය අඩංගු අතිශයින්ම කුඩා වායුගතික අංශු ඉතිරිව තබමින්..‘‘ යැයි ෆින්ලන්තයේ ආල්ටෝ සරසවියේ සහාය මහාචාර්ය වයිල් වුරියන් පවසයි.
මේ වෛරස් අංශු අවසානයේ නතර වනු ඇත්තේ අවට සිටින අයගේ ශ්වසන පද්ධතිය තුළ ය. ‘බිඳිති ආසාදනය‘ හෙවත් droplet infection මේ අන්දමින් ආරම්භ වන්නේ වෛරස් අංශු ශ්වසන නාලවලට ඇතුල් වීම මගිනි.
මෙහිදී මීටරයක දුර යන්න කිසිදු පදනමක් නැති කාරණයක් බවට පත් වේ.
පර්යේෂණය සිදුකිරීම සඳහා මයික්‍රොමීටර 20ට අඩු අංශුවල (කොරෝනා වෛරස් අංශුව මේ ගණයට අයත් වේ) වායුගතික හැසිරීම ආදර්ශනය කරන ලදී. කොරෝනා ආසාදිතයෙකු බවට පත්ව වියළි කැස්සකින් පෙළෙන අයෙකුගේ කැස්ස සමග නිකුත් වන අංශුවල විශාලත්වය මයික්‍රොමීටර 15 ට අඩු ය.