×

කොරෝනා වෛරසය කිසිදා තුරන් නොවේවි – HIV මෙන් පවතීවි ! – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොරෝනා වෛරසය මිනිස් ලෝකයෙන් කිසිදා ඉවත් ව නොයනු ඇතැයි ද HIV මෙන් මිනිසුන් අතර පවතිනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.


ඒ අනුව ලොව පුරා හැම අවුරුද්දකම මිනිසුන් මරා දමන සෙසු වෛරස මිශ්‍රණයටම කොරෝනා වෛරසය ද එක්වනු ඇත.

මෙසේ පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි තත්ව පිළිබඳ වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රියන් (Dr. Mike Ryan) ය.

‘‘මේ වෛරසය අපේ ප්‍රජාවන් තුළ තවත් වසංගත වෛරසයක් බවට පත් වේවි. ඒ වගේම මෙය කිසිදිනෙක ඉවත්ව යන එකකුත් නැහැ. HIV (මානව ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණ වෛරසය)ත් ලෝකයෙන් ඉවත්ව ගියේ නැහැ‘‘

යැයි ඔහු ප්‍රකාශ කළේය.

“This virus just may become another endemic virus in our communities and this virus may never go away. HIV hasn’t gone away,”
“I’m not comparing the two diseases but I think it is important that we’re realistic. I don’t think anyone can predict when or if this disease will disappear,”

‘‘මම මේ රෝග දෙක සන්සන්දනය කරනවා නෙවෙයි. නමුත් යථාර්ථවාදී වීම වැදගත් කියා මම හිතනවා. මේ රෝගය තුරන් වන්නේ කවදාද කියා කිසිම කෙනෙකුට පුරෝකථනය කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ..‘‘ යැයි ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

සැබවින්ම මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ලෝකයෙන් තුරන් වී නැතත්, එමගින් හටගන්නා ඒඩ්ස් රෝගයට ඖෂධ සොයාගැනීමත් සමග එය සාර්ථක ලෙස පාලනය කිරීමට ලෝකය මේ වන විට සමත් වී තිබේ. මේ වන විට එය මාරක රෝගයක් ලෙස සැලකෙන්නේ නැති අතර, මුළුමනින්ම පාලනය කළ හැකි රෝගයක් ලෙසට පමණක් සැලකෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට මේ අනුව පවසන්නේ කොරෝනා වෛරසය සමග ද සාමාන්‍ය පරිදි ජීවත් විය හැකි ක්‍රමයක් අප විසින් සොයාගත යුතුව ඇති බවයි.

වැක්සින අභියෝගය

මෙහිදී වැක්සිනයක් සොයාගැනීමේ අභියෝගය සහ එහි යථාර්ථය පිළිබඳව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියා අදහස් දැක්වීය.

එහිදී ඔහු පැවසුවේ වැක්සිනයකින් අරමුණු කරන්නේ මෙය තුරන් කිරීම වුවත්, ඒ සඳහා එම වැක්සිනය හැම කෙනෙකුටම ලබාගත හැකි බව සහ පාවිච්චි කළ හැකි වීමත්, එය අතිශයින් ඵලදායී වීමත් මෙහිදී අතිශය වැදගත් කාරණා වන බවයි.

මේ අනුව කොවිඩ් වසංගතය, ලෝකයේ දීර්ඝකාලීන ගැටළුවක් වශයෙන් ඉතිරිව පවතිනු ඇත.

‘‘ගෝලීය ප්‍රජාව මෙයට විසඳුමක් සොයාගන්නට එකාවන්ව වැඩ කරනවා. වසංගතයේ ගමන් පථය පවතින්නේ අපේ දෑත් තුළයි.‘‘

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ද මේ මතය අනුමත කරන අතර, එයට මෙසේ ද එක් කරයි. ‘‘අපි හැම කෙනෙක්ම මේ වසංගතය නවත්වා ගන්නට දායක විය යුතුයි‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි