×

කොරෝනා වෛරසය සහ බෙයිජිං හි හිස් වීදි

බිලියන 1.4 ක් වන චීන ජනගහනය අතර කොරෝනා නොහොත් කොවිඩ්-19 පැතිරී යාම වළක්වා ගත හැකි හොඳම නිවාරණ උපක්‍රමයක් වනු ඇත්තේ ඔවුන්ගේ ගමනාගමනය, ඔබ මොබයාම සීමා කිරීමයි.


මේ වන විට බෙයිජිං හි වීදිවලින් වැඩි කොටස හිස් ය. කොරෝනා භීතිකාවත් සමග ඒවායේ සැරිසරන්නන් අල්ප ය. රෝගයකට ජන ජීවිතයක් මෙතරම් අඩපණ කළ හැකිද?

මේ තත්වය වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ හියුබෙයි පළාතේ ය. කඩ සාප්පු වසා දමා ඇත. ඔබ මොබ යන්නන් විරල ය. කිසිවෙක් අත්‍යාවශ්‍ය දෙයකට හැර ගෙයින් පිටතට නොයති. ‘අනිවාර්ය නිරෝධාන කාලපරිච්ඡේද‘යන් ද මේ සමගම ප්‍රකාශයට පත් කර තිබේ. ව්‍යාපාර ස්ථාන බොහොමයක් වසා දමලා ය.

ඉඳහිට පිටතට යන්නට තරම් ධෛර්යයක් ඇත්තෝ මෙසේ කියති.

‘‘ඔබ මා ළඟට එන්න එපා. ඈතින් ඉඳගෙන කතා කරමු!‘‘

බොහෝ විට ජනයා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පවා කඩපොළ වෙත යාම ප්‍රතික්ෂේප කරති. එහි ප්‍රතිඵලයක් ලෙස ‘ඩිලිවරි‘ හෙවත් ගෙයි දොරකඩටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනැවිත් දීමේ ව්‍යාපාරයන්ට ලබා ඇත්තේ සරු කලකි. කෙසේ නමුත් මේ සියලුම දෙනා මුහුණු වැසුම් පැළඳ සිටීම අනිවාර්ය ය.

‘‘ඔබට බය හිතනේනෙ නැත්ද රෝගය වැළඳෙයි කියලා?“

සීඑන්එන් පුවත් සේවය මෙසේ අසන්නේ, අතිශය දුර්ලභ දසුනක් වන, කඩපොළට ගොස් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එන බෙයිජිං වැසියෙකුගෙනි. එවිට ඔහු මෙසේ කීවේය.

‘‘වෙන කරන්න දෙයක් නෑ. ගෙදර ගිය ගමන් මම ගොඩ වෙලාවක් යනකල් මගෙ අත් සෝදනවා. අපි නිතරම අත් සෝදනවා..‘‘

උමං දුම්රිය සිය ගණනක් එහා මෙහා යන, මිලියන ගණනක් දෙනා දිනපතා රැඳෙන බෙයිජිං හි උමං දුම්රිය පොළ ද අතිශයින් හුදෙකලා ය. එක් දුම්රිය මැදිරියක් තුළ මගීන් දුසිමක්වත් සිටින්නේ කලාතුරකිනි. ඒ අර්ථයෙන් ගත් විට, උමං දුම්රියෙහි ආසන අල්ලා ගැනීමට පහසුම කාලය මෙයයි!

‘‘අපි වැඩට යන්නෙ නෑ. ඔන්ලයින් වැඩ කරනවා..‘‘ යැයි බෙයිජිං වැසියෝ කියති. ඒ සඳහා අවශ්‍ය අන්තර්ජාල සහ උපාංග පහසුකම්, ලෝකයේ තාක්ෂණික යුද්ධයෙන් ඉහළම ජයග්‍රහණ අත්පත් කර ගත් රටක් වශයෙන් චීනය සතුව තිබේ.

බෙයිජිං නගරය තුළ රැකියාවට යන්නන් සඳහා සුපුරුදු පරිදි බස් සේවා ක්‍රියාත්මක වූවත් ඒවාද බොහෝ දුරට ජන ශුන්‍ය ය. තවද ඔවුන් බස් රියට නංවා ගැනීමට පෙර කොන්දොස්තරවරයා ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදු කරයි. ශරීර උෂ්ණත්වය අධික නම් එහි අර්ථය ඔහු කොරෝනා ආශ්‍රිත උණ රෝගයෙන් පෙළෙන්නෙකු විය හැකි බව ය. බස් රියක් වැනි තැනකදී පහසුවෙන් ආසාදනයන්ට ලක් විය හැකි බැවින් මෙබඳු දේ ගැන දැන් බෙයිජිං හිදී පුදුම විය යුතු නැත.

ඉතින් කොරෝනා නිසා චීනය හෝ බෙයිජිං සම්පූර්ණයෙන් අඩපණ වේ යැයි හෝ විනාශ වේ යැයි ඔබ සිතිය යුතු නැත. කොවිඩ්-19 විසින් චීනය පමණක් නොව ලෝකයම සලිත කර ඇති බව ඇත්තකි. නමුත්,

‘‘මේ නිදා සිටින්නේ යෝධයෙක්..‘‘ යැයි එදා මා ඕ සේතුං කීවේය. ඔහු කියූ පරිදිම, 1920 සහ 1930 දශකවලදී බටහිර බලයන්ට ඇහැරවන්නට නොහැකි වූ චීනය, 80 දශකය වන විට ලෝකයම ආක්‍රමණය කිරීම පටන් ගත්තේය. දැන්, හරියටම සියවසකට පසු චීනය නැවතත් කෙටි කාලීන නිද්‍රාවකට වැටී සිටියි. සෑම නින්දකම ස්වභාවය නම්, නින්දට පසු ඇහැරීමයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි