×

කොවිඩ් මර්දනය වෙනුවෙන් පවුම් මිලියන 30 ක් සොයා දුන් ටොම් මුවර් සීයා දිවි ගමනේ 100 වැනි සැතපුමේදී දිවියෙන් සමුගනී

ටොම් මුවර් සීයාගේ මෙම උත්සාහය ලොව තනි පුද්ගල විශාලතම ආධාර වැඩසටහන ලෙස වාර්තාවක් තැබීමට සමත් වූ අතර ඒ සඳහා වන ගිනස් වාර්තාවද ඔහුට හිමි විය. ඉනුදු නොනැවතී මෙම වීරයාගේ ධෛර්යය වෙනුවෙන් නයිට් නාමය පුද කිරීමටද එංගලන්ත මහ රැජිණ තීරණය කර තිබිණි.


 

මහා බ්‍රිතාන්‍යය පුරා කොවිඩ් වසංගතය පැතිර යමින් තිබියදී සිය දිවියේ සැඳෑ සමය ගෙවමින් සිටි 99 හැවිරිදි, බ්‍රිතාන්‍ය යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු වූ ටොම් මුවර්ට කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේ යෙදී සිටින සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් කුමන හෝ මෙහෙවරක් සිදු කිරීමට අවශ්‍ය විය.

පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා ඔහු තමාගේ 100 වැනි උපන් දිනය සැමරූ අතර එම උපන් දිනය වෙනුවෙන් සිය ගෙවත්තේ සක්මන් වාර 100 ක් සම්පූර්ණ කිරීමට තීරණය කළ අතර ඒ සෑම ගමන් වාරයක් වෙනුවෙන්ම යම් මුදලක් පරිත්‍යාග කරන්නැයි ඔහු සමස්ත ලෝකයෙන්ම ඉල්ලා සිටියේය. පාදයේ ආබාධයකින්ද පෙළෙමින් සිටි ටොම් මුවර් සීයාගේ මෙම තීරණය ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම හිතවතුන්ද මවිතයට පත් කිරීමට හේතුවක් විය.

ටොම් මුවර් සීයාගේ ඉලක්කය වී තිබුණේ පවුම් දහසක මුදලක් එක්රැස් කර එම මුදල එංගලන්තයේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමයි. ඔහුගේ මෙම උත්සාහය ලොවපුරා ඉතා උණුසුම් අන්දමින් පැතිර ගිය අතර අවසානයේදී පවුම් දහසක අරමුදල පවුම් මිලියන 30 ඉක්මවා ගොස් තිබිණි.

එපමණක් නොව ඔහුගේ මෙම උත්සාහය වෙනුවෙන් ඔහුට උපන් දින සුබපැතුම් පත් ලක්ෂ ගණනක් ලැබී තිබිණි.

ටොම් මුවර් සීයාගේ මෙම උත්සාහය ලොව තනි පුද්ගල විශාලතම ආධාර වැඩසටහන ලෙස වාර්තාවක් තැබීමට සමත් වූ අතර ඒ සඳහා වන ගිනස් වාර්තාවද ඔහුට හිමි විය. ඉනුදු නොනැවතී මෙම වීරයාගේ ධෛර්යය වෙනුවෙන් නයිට් නාමය පුද කිරීමටද එංගලන්ත මහ රැජිණ තීරණය කර තිබිණි.

එතැන් පටන් සර් ටොම් මුවර් ලෙස හැඳින්වූ ‍ටොම් මුවර් සීයා මේ වනවිට ජීවිතයෙන් සමුගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. දෛවයේ සරදමකට මෙන් ඔහුට ජීවිතයෙන් සමු ගැනීමට සිදුව තිබෙන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසාය. දින කිහිපයකට ඉහතදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඔහු රෝහල්ගත වූ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් පවුම් මිලියන 30 ක් උපයා දුන් මේ වීරයා අද ජීවිත සටනින් පරාජයට පත් වී තිබේ.

එංගලන්ත මහ රැජිණ සිය පවුලේ ශෝකය ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී සර් ටොම් මුවර් වෙනුවෙන් සුබපැතුම් පිරිනැමූ, සතුටු කඳුළු වැගිරූ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද ඔහු වෙනුවෙන් ශෝක වනු නියතය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි