×

කොවිඩ් රෝග ලක්ෂණ සහිත බිරිඳ සමග බ්‍රිතාන්‍ය අගමැතිගේ ප්‍රධාන උපදේශක නෑගම් ගිහින්!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන උපදේශකවරයා (chief adviser) වන ඩොමිනිස් කමින්ස් (Dominic Cummings) බ්‍රිතාන්‍යය තුළ මේ වන විට බලපවත්වන සියලු කොවිඩ් අනතුරු ඇඟවීම් සහ මාර්ගෝපදේශන නොතකා සිය නෑසියන් බලන්නට සැතපුම් සිය ගණනක් ගොස් හසු වී තිබේ.


ලන්ඩන් නුවර සිට ඩර්හැම් දක්වා යාම්-ඊම් කළ මේ ගමන මේ වන විට බ්‍රිතාන්‍යය පමණක් නොව ලෝකයේම ශීර්ෂපාඨ මවමින් තිබේ.

‘‘මම නියත වශයෙන්ම අස්වෙන්නෙ නෑ‘‘ යැයි ද ඩොමිනික් කමින්ස් කියයි. තමන් වරදක් හෝ නීතිවිරෝධී දෙයක් නොකළ බව ද ඔහු තරයේ කියා සිටියි.

ඔහු වරදක් නොකළේ නම් කළේ කුමක්ද? සැතපුම් 260 ක දුරක් සිය පවුල ද සමග යාමයි. බ්‍රිතාන්‍යෙය් මාධ්‍ය වාර්තාවලට අනුව ඩොමිනික් කමින්ස්ගේ බිරිඳ කොවිඩ් රෝග ලක්ෂණ දක්වා තිබෙන අතර, ඇයට නිරෝධායනයේ පසුවන ලෙස නියම කර තිබේ. මේ අනුව ඩොමිනික් කමින්ස්ට ද කොවිඩ් රෝග ලක්ෂණ පවතින බව ඇතැම් වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂය සහ SNP පක්ෂය දැඩි සේ විරෝධය පළ කරන්නේ ඔහු විසින් බ්‍රිතාන්‍ය රජයේ නීති කඩ කළ බවයි. මේ සිදුවීමත් සමග බොරිස් ජොන්සන්ගේ ආණ්ඩුව මහත් අපහසුුතාවයකට පත්ව සිටියි.

තවද ඩොමිනික් කමින්ස් මේ සංචාරය සිදුකළ දිනයේ දී ද බ්‍රිතාන්‍ය ජාතිකයන් 282 ක් කොවිඩ් වසංගතයෙන් මරණයට පත්වූයේ, සමස්ත මරණ සංඛ්‍යාව 36,675 දක්වා ඉහළ දමමිනි.

ඩොමිනික් කමින්ස් යනු කවුද?

වත්මන් අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන උපදේශකවරයා බවට ඩොමිනික් කමින්ස් පත්වීම පිටුපස ලොකු ඉතිහාස කතාවක් තිබේ. 2016 වසරේ වෝට් ලීව් කැම්පේන් (2016 Vote Leave campaign) හෙවත් මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට සිදුකළ කැම්පේන් එකෙහි දැවැන්ත මහමොළකරුවෙකු වූයේ ඩොමිනික් කමින්ස් ය. මේ සම්බන්ධය නිසාම, බ්‍රෙක්සිට්වාදී බොරිස් ජොන්සන්, අගමැති තනතුරට පත්වූ වහාම ඔහු ඩොමිනික් කමින්ස් ව සිය ප්‍රධාන දේශපාලන උපදේශක ලෙස පත් කර ගත්තේය.

බොරිස් ජොන්සන් ‘සුරැකි පියා‘ වූ හැටි

ඩොමිනික් කමින්ස් කළ ‘හොර වැඩය‘ හසුවූයේ, ඔහු ඩර්හැම් හි සිය දෙමාපියන්ගේ නිවස අසල සිටින ආකාරය සහිත ඡායාරූප බ්‍රිතාන්‍යයේ ඩේලිමිරර් සහ ගාඩියන් පුවත්පත් විසින් පළ කිරීමත් සමග ය.

මේ සමගම ඩව්නින් වීදියේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රතික්ෂේප කර තිබේ.

මාධ්‍යවේදියෙකුගේ කශේරුව

මෙම සිදුවීමෙන් පසුව එංගලන්තයේ ප්‍රකට මාධ්‍යවේදියෙකු සහ සතියට දින තුනක් Good Morning Britain ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන්නා වන පියර්ස් මෝර්ගන් පවසා තිබෙන්නේ, ඩොමිනික් කමින්ස්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ නම්, තමන් ද හෙටම සිය දෙමාපියන් බලන්නට යන බවයි!

එයින් නොනැවතුණු ඔහු පවසන්නේ ඩොමිනික් කමින්ස්ගේ ‘බොරු‘වලට සහාය දෙන කිසිදු කැබිනට් අමාත්‍යවරයෙකු තමන්ගේ රූපවාහිනී වැඩසටහන ට වද්දා නොගන්නා බවයි!

‘‘මම බොහොම කණගාටුවෙන්, නැවත දැනුම් දෙන තුරු, ලොක්ඩවුන් නීතිකඩකළ කමින්ස්ගේ බොරුවලට සහාය නොදෙන අය හැර, සෙසු සියලු කැබිනට් අමාත්‍යවරුන්ට මගේ වැඩසටහන තහනම් කරනවා..‘‘ යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේය.

‘‘ඔවුන්ගේ නම් මතක තියාගන්න..‘‘ යැයිද තවත් ට්විටයක් පළ කරමින් ඔහු කියා තිබේ.

මේ තත්වය තුළ බ්‍රිතාන්‍යයේ ජනතාවද ලංකාවේ මෙන්ම, ‘ඇයි ප්‍රභූන්ට එක නීතියක් – අපට තව නීතියක්‘ යැයි අසන දිනය පැමිණ තිබේ. මේ අතර, පියර්ස් මෝර්ගන්ගේ හැසිරීම, කශේරුවක් සහිත මාධ්‍ය වේදියෙක් මෙවැනි අවස්ථාවකදී හැසිරිය යුත්තේ කෙසේදැයි ද අපට කියා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි