×

කොවිඩ් වසංගතය සහ කාලගුණික විපර්යාස අතර සම්බන්ධයක්!

මේ වනවිට වත්මන් ලෝකයම කොවිඩ්-19 වසංගතයෙන් තැති ගෙන හමාර බව ඔබත් මාත් දන්නා කරුණකි.


නමුත් , මේ කොරෝනා වසංගතයේ බිහිසුණු බවට සමානම තවත් ගෝලීය අර්බුද රැසක් අප නෙත් නොගැටෙමින් පවතිනා බව ඔබ මොහොතකටවත් සිතුවාද? මේ එබඳු අර්බුදයක් ගැන කෙරෙන අනාවරණයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාළගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ආතර් වීන්ස් පවසන්නේ ශීඝ්‍රයෙන් පැතිරී යන වසංගත රෝග සහ කාලගුණික විපර්යාස අතර ප්‍රබල සම්බන්ධතාවක් ඇති බවයි. ඩෙංගු සහ මැලේරියා රෝගවල ව්‍යාප්තිය නිදසුන් ලෙස දක්වන ඔහු කොරෝනා වයිරසය සහ කාලගුණික විපර්යාස අතර සම්බන්ධයක් කෙමෙන් ගොඩ නැගෙමින් පවතින බව ප්‍රකාශ කර සිටී.

මෑත ඉතිහාසයේ සිදුවූ කාලගුණික අනතුරු රැසක් සංසන්දනය කරමින් ආතර් වැඩිදුරටත් පවසන්නේ සෑම කාලගුණික ආපදාවකින්ම ලෝකයේ රටවල් වල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු බොහෝ සෙයින් නිරාවරණය වන බවයි. මෙය ඉතා සරල සිද්ධාන්තයකි. සෑම ස්වභාවික විපතක්ම සෞඛ්‍ය අනතුරු ගෙනදේ. ඒ අනුව ලොව සෑම රටකටම මානව , මූල්‍ය හා තාක්ෂණික සම්පත් වලින් පරිපූර්ණ සැමට සමානව භුක්ති විදිය හැකි සෞඛ්‍ය සේවයක් තිබිය යුතු බව ඔහුගේ මතයයි. මෙයින් පැහැදිලි වන්නේ යම් රටක් කාලගුණික විපර්යාස සදහා සෞඛ්‍ය අතින් සූදානම් වන්නේ නම්, ඔවුන්ට වසංගත තත්වයන් සදහා සූදානමක් නිරායාසයෙන් ලැබෙන බවයි.

තවද , කාලගුණික විපර්යාස සදහා බලපාන හේතු සාධකම වසංගත රෝග තත්වයන්ද උත්සන්න වීමට බලපාන බව වීන්ස් අනාවරණය කරයි . තදාසන්න ප්‍රදේශවල වායු දූෂණය නිසා ශ්වසන මාර්ග දුර්වල වී ඇති ජනතාවට කොරෝනා රෝගය වැළඳීමේ සම්භාවිතාවය ඉහළ යෑම මීට කදිම නිදසුනකි. එබැවින් ජනතාව සදහා සෞඛ්‍යාරක්ෂිත ජීවන වටපිටාවක් සහ ගෝලීය සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීම සෑම රටකම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමයි.

කාලගුණික මෙන්ම සෞඛ්‍ය ව්‍යසනයන්ගෙන් ආරක්ෂාවීම සඳහා මිනිස් චර්‍යාවන්ගේ පැහැදිලි වෙනසක් සිදුවිය යුතු බව වීන්ස් අවසාන වශයෙන් අවධාරණය කරයි. කොරෝනා වයිරසය පැතිරීයාමත් සමගම ක්‍රියාවට නැංවුණු සමාජ දුරස්වීමේ ක්‍රියාකාරකම් නිසා මිනිසාට සිය ආදරණීයන් රැකීමට වෙනස් ක්‍රියාමාර්ග හා චර්‍යාවන් අනුගමනය කිරීමට සිදුවී තිබේ . ඒවා පරිත්‍යාගයන් ලෙස අර්ථකථනය කිරීමට අද වනවිට සමාජය පෙළඹී ඇත. එබැවින් මිනිසාගේ ජීවනාලිය වන සොබාදහමේ ඉදිරි පැවැත්ම සඳහා අප කෙබදු පරිත්‍යාගයක් කළ යුතු ද?ව්‍යසනයෙන් පවා පාඩමක් කියාදෙන පරිසරය අප කෙලෙසින් සුරැකිය යුතු ද? පිළිතුර, හුස්ම ගන්නා අප සතුය.

Main Image: REUTERS/Evgenia Novozhenina



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි