×

කොවිඩ්-19 වෛරසය 2013 වසරේදී චීනයේ වවුල් ගුහාවකින් හමු වීමේ කතාන්දරය

ගුහාව තුළට ඇතුල් වීමට පෙර විද්‍යාඥ කණ්ඩායම සිය සමේ සෑම අඟලක්ම හැස්මට් සූට්, මුහුණු වැසුම් සහ ගනකම් අත්වැසුම්වලින් වසා ගත්හ. වවුල් වසුරු හෝ වවුල් මුත්‍රා සමග ගැටීම ඔවුන්ට ලෝකයේ මාරකම වෛරසවලට නිරාවරණය වීමක් වනු ඇත.


එය, වෛරස් හන්ටර්ස් (virus hunters) හෙවත් වෛරස දඩයම් කරමින් ලොව පුරා යන්නන්ගේ සාමාන්‍ය ඉරණමයි.

උණ ගස්වලින් වැසී තිබූ වවුල් ගුහාව තුළට පිවිසීම සඳහා ඔවුන්ට හෙඩ්ලයිට්ස් භාවිතා කිරීමට සිදු විය. මේ, වයඹ දිග චීනයේ යුනාන් පළාතේ පිහිටා තිබෙන හුණුගල්වලින් සුසැදි මහා ගුහා පද්ධතියයි.

ඉන්පසු ඔවුහු ගොම්මන වැටෙන තෙක් ඉවසිල්ලෙන් පසුවූහ. හිරු බැසයත්ම,කෑම සොයාගොස් සිටි දස දහස් ගණන් වවුල්ලු සිය කැදලි සොයමින් ගුහාව වෙත පියඹා ඒම ඇරඹූහ.

මේ වන විට ස්මිත්සෝනියන් ආයතනය සතුව මියැන්මාරයෙන් සහ කෙන්යාවෙන් ගෙන ආ වවුල් සාම්පල් තිබේ. ඒවායේ තිබී නව කොරෝනා වෛරස ප්‍රභේද 6 ක් සොයාගැනීමට ඔවුහු සමත් වූහ.

අනතුරුව සිදුවූයේ වවුලන් මද නිද්‍රාවකට පත් කරමින් රසායන ද්‍රව්‍යයක් යොදා, ඉන්පසු උන්ගේ තටුවලින් රුධිර සාම්පල ලබා ගැනීමයි. ‘‘ඒ වගේම අපි උන්ගේ මුඛයෙන් වෑහෙන දේ සහ වසුරු සාම්පලත් එක් රැස් කර ගත්තා..‘‘ යැයි ලෝකයේ නව වෛරස හා වසංගත නිවාරණය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන EcoHealth Alliance හි ප්‍රධානියා වන පීටර් ඩාසැක් පවසයි.

To catch the bats, EcoHealth Alliance's scientists have to set up nets at the entrance of the cave. To avoid any contact with the bats, they wear hazmat suits, a respirator and gloves.

To catch the bats, EcoHealth Alliance’s scientists have to set up nets at the entrance of the cave. To avoid any contact with the bats, they wear hazmat suits, a respirator and gloves.

ඩාසැක් වෛරස් දඩයම්කරුවෙකි. වසර 10 ක් පුරාම… ලෝකයේ රටවල් 20 ක පිහිටා ඇති වවුල් ගුහාවන් පිරික්සමින්, ඒවා ලෝකය නොදන්නා වෛරස ගබඩා කර ගෙන සිටියිදැයි ඔහු සොයා බලා තිබේ. විශේෂයෙන්ම ඔහු කොරෝනා වෛරසය ගැන මේ දිනවල සොයයි.

ඔහු මෙසේ කියයි..

‘‘අපි වවුලන්ගෙන් සාම්පල 15,000 කට වඩා එක්රැස් කරගෙන තිබෙනවා. ඒ අතරින් නව කොරෝනා වෛරස 500 කට වඩා අපට හඳුනාගන්නට හැකි වුණා.

එයින් එකක් සොයා ගෙන තිබෙන්නේ 2013 වසරේ චීනයෙනි. එය, අද වන විට ලෝකයේ මරණ ලක්ෂ 2 ඉක්මවා සිදුකර ඇති කොවිඩ්-19 වෛරසයේ මුතුන්මිත්තා විය හැකි බවට සැලකෙයි.

කොරෝනා වෛරස් පරීක්ෂණ

2003 වසරේදී SARS වසංගතය ලොව පුරා පැතිරෙන තෙක් කොරෝනා වෛරස් කාණ්ඩය කිසිවෙකුගේ අවධානය දිනා ගත්තේ නැත. ඒ වන විට ලෝක ඉතිහාසය පුරාම කොරෝනා වෛරසයෙන් ආසාදනය වී තිබුණේ මිනිසුන් දෙදෙනෙකු පමණි. ඒ ද, 1960 දශකයේදී ය. මේ ආශ්‍රිත පර්යේෂණ සඳහා වසර 10කට අධික කාලයක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 200 කට වඩා වැය කර තිබේ. ඒ, මිනිසුන් අතරට මෙම වෛරසය පැතිරීමේ ඇති අවදානම ගැන සොයාබලන්නට සහ වෛරස පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගැනීම සඳහා ය.

වවුලන් තුළ කොරෝනා වෛරස ප්‍රභේද 15,000 ක්!

ඩාසැක් පවසන්නේ වවුල් සහ උන්ගේ නිකේතන ආශ්‍රිතව කොරෝනා වෛරස් ප්‍රභේද පහළොස් දහසක් පමණ තිබිය හැකි බවයි. එයින් අද වන විට දන්නේ සිය ගණනක් පමණක් බව ද ඔහු පවසයි. ඔවුන් යුනාන් පළාතේ පිහිටා ඇති මේ හුණුගල් වවුල් ගුහා පද්ධතිය කෙරෙහි සිය අවධානය යොමු කළේ එහි අති දැවැන්ත වවුල් ගහණයක් සිටින නිසා ය. තවද 2003 SARS වසංගතය ද චීනය මුල්කරගෙන ව්‍යාප්ත වූ නිසා ය.

මියැන්මාරය සහ කෙන්යාව දෙසටත් සැකයේ වාසිය

මේ අතර ස්මිත්සෝනියන් ආයතනය කේන්ද්‍රකරගත් තවත් කණ්ඩායමක් ලෝකයේ රටවල් 31 ක් මුල්කරගෙන තවත් මහා පරිමාණ පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණි. ඒ අතරින් මියැන්මාරයෙන් කොරෝනා වෛරස 6 ක් හඳුනා ගැනීමට ඔවුන්ට හැකි විය.

‘‘මේ පළාත් ජෛව විවිධත්වයෙන් අනූනයි. නමුත් මිනිසා අසාමාන්‍ය විදිහට එය ආක්‍රමණය කරමින් සිටියා. සතුන්ගෙන් මිනිසුන්ට මේ වෛරස පැතිරීමේ විභවය වැඩි වන්නේ ඒ අනුවයි..‘‘ යැයි එම පර්යේෂණ කණ්ඩායම කියයි.

වවුලන්ගෙන් මිනිසුන්ට…

ගිණිකොණ දිග ආසියාව සහ චීනය තුළ ජීවත් වන ජනතාව වන ජීවීන් දඩයම් කිරීම සහ විකිණීමට පමණක් නොව, මස් පිණිස පණ පිටින් සතුන් අලෙවි කිරීමට ද විශේෂ ඇලුම්කමක් දක්වති. මේවා විවෘත වෙළඳපොළවලදී සිදු කෙරෙන අතර, ‘‘තෙතබරිත වෙළඳපොළ‘ හෙවත් ‘වෙට් මාකට්ස්‘ යනුවෙන් ඒවා හැඳින්වේ. චීනයේ වුහාන් පළාතේ ද වෛරසය මුලින්ම ඔඩු දිව්වේ මෙවැනි වෙට් මාකට්ස් ආශ්‍රිතව බව ඔබට මතක ඇතැයි සිතමු.

2015 වසරේ චීනයේ යුනාන් පළාතේ ජිනින්ග් හි වවුල් ගුහා දෙකක් අසල ජීවත් වන මිනිසුන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී සොයා ගැනුණේ වවුලන් තුළ පමණක් සොයාගෙැනෙන වෛරසවලට ප්‍රතිරෝධී වන ප්‍රතිදේහ, එම පිරිස් අතරින් 3%ගේ ශරීරවල තිිබෙන බවයි. ඔවුන් එම වෛරස්වලට නිරාවරණය නොවිණි නම්, කිසිදාක ප්‍රතිදේහ නිපදවීමට ඉඩක් නැත!

‘‘එක්කෝ ඔවුන් නොදැනුවත්වම මේ වෛරස්වලට නිරාවරණය වෙලා සුවය ලබා තිබෙනවා. එසේත් නැතිනම් ඔවුන්ගේ ශරීරයේ සෛල අල්පයක් පමණක් ඒ සමග ගැටී තිබෙනවා..‘‘ යැයි ඩාසැක් පවසයි.

සාමාන්‍යෙයන් මෙවැනි වෛරසයක් මිනිස් ශරීරයකට ඇතුල් වීම සදහා මිනිස් ජනාවාස සමග සමීප ලෙස බැඳුණු සතෙකුගේ හෙවත් වාහකයෙකුගේ සහාය අවශ්‍ය ය. ඒ වාහකයා කැලෑ බළලෙක්, ඔටුවෙක්, කබල්ලෑවෙක් හෝ වෙනත් එවැනි ක්ෂීරපායියෙකු වීමට අවශ්‍ය ය.

වවුලන්ගේ මෙතරම් වෛරස් ගොඩක්?

පියාසර කරන එකම ක්ෂීරපායී සත්වයා වවුලා ය. පියාසැරියේදී උන්ට අධික ආතතියක් දරා ගැනීමට සිදු වේ. එවිට සිදුවන්නේ උන්ගේ රුධිරය, අධික වෛරස් තොගයක් දරාගත හැකි වන සේ අසාමාන්‍ය ලෙස ව්‍යූහගත වේ. එයට අමතරව, ලෝකයේ සිටින සමස්ත ක්ෂීරපායී ගහණයෙන් 20%ක්ම වවුලන්ගෙන් සමන්විත ය. අති දැවැන්ත ජනාවාස/කොලනිවල ජීවත් වීම, තදබදය අධික ගුහා සිය වාසය සඳහා තෝරාගැනීම යනාදිය නිසා උන් අතර ලෙහෙසියෙන් වෛරස් පැතිරයාම ද පහසු ය.

The Smithsonian Institution carries out bat sampling in Myanmar and Kenya, allowing them to discover 6 new coronaviruses.

The Smithsonian Institution carries out bat sampling in Myanmar and Kenya, allowing them to discover 6 new coronaviruses.

කොරෝනා වෛරස් පුස්තකාල

ඩාසැක්ගේ කණ්ඩායම විසින් වවුලන්ගෙන් සාම්පල ලබාගැනීමෙන් පසුව සිදුකළේ ඒවා ද්‍රව නයිට්‍රජන්වල සංචිතකර, ලොව පුරා විද්‍යා පර්යේෂණාගාර වෙත යැවීමයි.

ඇමරිකාවේ බයෝටෙක්නොලොජි තොරතුරු මධ්‍යස්ථානයේදී (US National Center for Biotechnology Information-NCBI) ඒවායේ වෛරස් DNA සිතියම් ගත කිරීම සිදු කරයි. මේ අනුව ලොව පුරා කොවිඩ්-19 වසංගතය හිස ඔසවන විට ඔවුන් සතුව මේ අන්දමින් කොරෝනා වෛරස් පිළිබඳ තොරතුරු ඇතුළත් පුස්තකාලයක්ම තිබිණි.

සාමාන්‍යයෙන් විද්‍යා ලෝකයේදී ‘නව වෛරසයක්‘ ලෙස හදුනා ගැනෙන්නේ ලෝකය මෙතෙක් දන්නා වෛරස්වල අන්තර්ගත DNAවලට වඩා 20%කට වැඩි ප්‍රමාණයක් අලුත් DNA රටාවක් පවතින වෛරස් අංශු ය.

වවුලන් ආශ්‍රිතව හඳුනාගත් මෙම නව වෛරසවලින් 50%කටත් වඩා වැඩි ප්‍රමාණයක් නිව්මෝනියාව ආශ්‍රිත රෝග තත්වයන් ඇති කරන බව ද සොයා ගැනුණි. මෙවිට බොහෝ විට රෝගියා සුවය ලබන අතර, ඒ රෝගය ගැන වැඩිදුර සෙවීම ද එතැනින්ම නතර වේ.

2005 වසරේදී හොංකොං රෝහලට ඇතුළත් කළ විශේෂ රෝගීන් දෙදෙනෙකු ගැන පර්යේෂකයෝ සොයා ගත්හ. මේ රෝගීන් දෙදෙනා නව කොරෝනා වෛරස් ප්‍රභේදයකින් ආසාදනය වී සිටියහ. එම වෛරසය HKU1 ලෙස හැඳන්වුවත් පර්යේෂකයන් පසුව සොයාගත්තේ මේ වෛරසය ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය යන රටවලින් ද හමුවී ඇති බවයි.

නිපා (Nipah) වෛරසය ද මේ අන්දමින් මිනිසාගේ වැඩි අවධානයක් නැතිව මිනිස් ගහණය අතරට ආ ගිය විෂ අංශුවකි. 1998 වසරේදී මැලේසියාවෙන් හිස එසවූ නිපා වසංගතය මරණ 105කට පමණ වගකීවේය. ඩාසැක් විශ්වාස කරන්නේ මැලේසියාවෙන් හිස එසවීමට බොහෝ කලකට පෙර මෙම නිපා වෛරසය බංග්ලාදේශයේ කඳුකරබද ප්‍රදේශවල තිබෙන්නට ඇති බවයි.

කොවිඩ්-19

කොවිඩ්-19 හිස ඔසවන විට චීනයේ වෛරස් විද්‍යාව පිළිබඳ වුහාන් සරසවියේ වෛරස් විද්‍යාඥවරියක එකෝහෙල්ත් අලායන්ස් මගින් ‘පුස්තකාලගත කර තිබූ‘ වෛරස් ලයිබ්‍රිය පෙරළා එය පෙර හමුවී තිබූ එකක්දැයි සොයා බැලුවාය.

ෂී සෙන්ජිලි නමැති එම විද්‍යාඥවරිය මෙසේ කියයි.

‘‘නව කොරෝනා වෛරසය 2013 වසරේ යුනාන් පළාතේ අශ්වලාඩම් වවුලෙකුගෙන් ලබාගත් සාම්පලයක් සමග සැසඳුණා. එය 96.2%ක් හරියටම හරි!‘‘

එහි අදහස වන්නේ මෙම වෛරසය එක්කෝ මෙම වෛරසය අද අප දන්නා කොවිඩ්-19 හි පූර්වජයෙකු බවයි. නැතිනම් ළඟම ඥාතියෙකු බවයි. ‘‘අතරමැදි ධාරකයෙකු ලෙස ක්‍රියාකරන සතෙකු හරහා ඒ වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව ගෙනෝමයේ (ජාන සැකසුමේ) 3.8% ක ජාන වෙනස මගින් සනාථ වෙනවා..‘‘ යැයි පර්යේෂකයෝ කියති.

වෛරසයක සම්භවය කොතැනද සහ එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන්නේ කෙසේද යන්න වෛරස් විද්‍යාවේ අතිශය වැදගත් කාරණයකි. එය වසංගතයක් කල් තබා හඳුනා ගැනීමට සහ එහි ව්‍යාප්තිය වළක්වා ගැනීමට අවශ්‍ය කරන තොරතුරු සැපයීමේදී මහඟු මෙහෙයක් ඉටු කරයි.

ලයිබීරියාවෙන් හමු වූ ‘එබෝලා වවුලා‘

මේ බව සනාථ කරන පූර්වාදර්ශයක් ද අප සතු ය. එනම්, 2019 ජනවාරි මාසයේදී කොලොම්බියා සරසවියේ මහජන සෞඛ්‍යය සහ පාරිසරික සෞඛ්‍යය පිළිබඳ මාලිමාන් විද්‍යාලය නිවේදනය කළේ එබෝලා වෛරසයේ සයිරේ මාදිලියේ වෛරසයක් සහිත වවුලෙකු තමන්ට ලයිබීරියාවේදී හමු වූ බවයි. මෙම එබෝලා වසංගතය 2013-2016 කාල සීමාවේදී බටහිර අප්‍රිකාවේ මරණ 11,000 කට වඩා සිදු කළේය.

මාදිලිවල භයානකකම – අතරමැදි ධාරකයෙකු නොමැතිව කෙළින්ම මිනිස් ශරීර තුළට!

සාර්ස් හෝ මර්ස් වෛරස (SARS or MERS) සමග ගෙනෝමය (ජාන අනුපිළිවෙළ) අතින් සමානකම් දක්වන කොරෝනා වෛරස් මාදිලි වඩාත් භයානක වේ. මන්ද ඒවා පහසුවෙන්ම මිනිස් ශරීරයට පැන ගැනීමට ඉඩ ඇති හෙයිනි. ‘අපේ පර්යේෂණය අතරවාරයේදී අපි සාර්ස්වලට සබඳකම් දක්වන විෂබීජ 50 ක් පමණ  සොයාගත්තා‘ යැයි පර්යේෂකයෝ කියති. ‘‘ඒ අනුව ඉහළ අවදානමක් සහිත වෛරස නිවාරණය අනාගත ලෝකය තුළ කොතරම් වැදගත්දැයි පෙනී යනවා..‘‘

මෙවැනි මාරක වෛරස් දෙකක් එකට සහසම්බන්ධ වුවහොත්, ඒවාට මිනිස් ශරීරවලට ඇතුල් වීමට අතරමැදි ධාරකයෙකු පවා අවශ්‍ය නොවනු ඇතැයි PLoS Pathogens ජර්නලයේ පළ වූ ලිපියකින් පැවසෙයි.

‘‘ඒ නිසා වහලවල් ඔස්සේ වවුලන්ට නිවෙස් තුළට පැමිණීමට හැකි නොවනු පිණිස සියලු සිදුරු වසා දමන ලෙස අපට කෙන්යාවේදී උගන්වන්නට සිදුව තිබෙනවා. ඒ වගේම ඔඨු කිරි පානයට පෙර ඒවා අනිවාර්යයෙන්ම උණු කළ යුතු බවත් කියාදෙන්නට සිදුව තිබෙනවා..‘‘ යැයි පර්යේෂකයෝ කියති.

එසේම වෛරස් රැගෙන යන පැන්ගොලින් (කබල්ලෑවන්) වැනි සතුන් නීති විරෝධී ලෙස දඩයම් කිරීමේ එක් ආදීනවයක් ලෙස උන්ගෙන් විෂබීජ ශරීරගත වීමේ අවදානම ගැන ද EcoHealth Alliance ආයතනය දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරයි. වවුලන් විසින් ආහාරයට ගත් පළතුරු කෑමෙන් වළකින ලෙස ද එහිදී උගන්වනු ලැබේ. මේ වන විට ආසියාවේ සහ අප්‍රිකාවේ විද්‍යාගාර 60 ක් තුළ ඔවුහු සිය පර්යේෂණ කටයුතු සිදු කරති. මේ පර්යේෂණ අනාගත වැක්සිනයන් නිපදවීමේ අවශ්‍යතාවයේ දී ද බෙහෙවින් වැදගත් වනු ඇත.

වවුලන් තුළ ප්‍රතිදේහ

‘‘වවුලන්ගෙන් ලබාගත් රුධිර සාම්පල තුළ ප්‍රතිදේහ අඩංගු වෙනවා. ඒ නිසා උන්ට වෛරස්වලට එරෙහි ප්‍රතිශක්තියෙන් යුතුව සටන් කරන්නට පුළුවන්..‘‘ ඒ, මිනිසුන්ට තවමත් අහිමි, සොබාදහම විසින් වවුලන්ට හිමිකර දී ඇති ‘ඔරොත්තු දීමේ වාසනාව‘ ගැන කතාවයි.

වෛරස් දඩයක්කාරයන්ට හොඳ කාලයක්

කොවිඩ්-19 වසංගතය ලොව පුරා පැතිරීමට පෙර මෙම වෛරස් දඩයම්කරුවන්ගේ පර්යේෂණවලට අරමුදල් නොමැති වීමේ අවදානමක් පැන නැගී තිබිණි. ඔවුන්ට ඒ සඳහා ලබා දී තිබූ අරමුදල්, 2020 මාර්තු මාසයේදී අවසන් වන්නට නියමිත ව තිබිණි.

නමුත් දැන් තත්වය සපුරා වෙනස් ය. ලෝකය ඔවුන්ගේ කාර්යයේ වටිනාකම හොඳින් වටහාගෙන සිටියි. ඒ අනුව ඉදිරි මාස 6 සඳහා ඔවුන්ට දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 2.26 ක් ලැබී තිබේ. ඉදිරියේදී ඔවුන්ට තවත් අරමුදල් ලැබෙනු ඇත. මේ මොහොත වන විට ඔවුන් සිය හැස්මට් සූට් ගළවා දමා, ලොව පුරා සිදුකෙරෙන කොවිඩ්-19 වැක්සින් පර්යේෂණ සඳහා සිය දායකත්වය ලබා දෙමින් සිටිති.

CNN පුවත් සේවයේ පළ වූ සම්පූර්ණ ඉංග්‍රීසි ලිපිය මෙතැනින් කියවන්න..

The virus hunters who search bat caves to predict the next pandemic



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි