×

කොවිඩ් 3 වැනි අදියරේ මරු කටටම ගොස් ගොඩ ආ චීනයේ ජයග්‍රාහී අසල්වැසියා – වියට්නාමයෙන් පාඩමක්

මිලියන 95 ක් ජීවත් වන වියට්නාමයෙන් කොවිඩ්-19 වසංගතය තුළ කිසිදු මරණයක් හෝ කිසිදු නව ආසාදිතයෙකු වාර්තා නොවන 21 වැනි දිනය අදයි.


චීන නව අවුරුද්ද අත ළඟටම පැමිණෙමින් තිබියදී වුහාන් හි සිට පැමිණි චීන ජාතිකයන් දෙදෙනෙක් ජනවාරි 13 වැනිදා සිට රට පුරා සංචාරය කර ජනවාරි 23 වැනිදා රෝහල්ගත වී සිටියහ. වියට්නාමයෙන් වාර්තා වූ පළමු කොවිඩ් රෝගීන් වූයේ මේ දෙදෙනා ය.

නමුත් අද උදෑසන වන විටත් වියට්නාමයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 271 කි. එයින් 232 දෙනෙකුම සුවය ලබා ඇති අතර, 39 දෙනෙක් පමණක් තවමත් ප්‍රතිකාර සහ වෛද්‍ය අධීක්ෂණය ලබමින් පසු වෙති.

නිරෝධායනයට ලක්වූ පිරිස 21,00 සිට 245 දක්වා මේ වන විට අඩු කර තිබේ. ඔවුන් නිරෝධායනයට ලක් කෙරුණේ ප්‍රධාන වශයෙන්ම ඒ සඳහා වෙන් වූ රෝහල්වල, හුදෙකලා කඳවුරුවල සහ සුළු පිරිසක් සිය නිවෙස් තුළ ය.

පැහැදිලිවම වියට්නාමය සිටින්නේ ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවලට වඩා ඉදිරියෙනි. ඔවුන්ගෙන් අපට උගත හැකි පාඩම් ගණනාවකි.

මේ සාර්ථකත්වය නිසාම, අප්‍රේල් 22 දා පටන් ඔවුන් විසින් සමාජ දුරස්ථකරණ සීමාවන් ලිහිල් කිරීමට සමත් විය. බස් රථ, ටැක්සි රථ පවා මගීන්ගේ උෂ්ණත්වය පිරික්සීම වැනි නියමයන් තුළ සුපුරුදු පරිදි ක්‍රියාත්මක ය.

බදාදා දිනයේ පටන් එරට මත්පැන් වෙළඳසැල් සහ කැරොකේ හැර සෙසු ඇතුළු අත්‍යාවශ්‍ය නොවන සේවාවන් ද සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන්නට අවසර ලබා දී ඇත.

රට ‘ස්ථාවර‘ වන තෙක් ගුවන් මගීන් තවදුරටත් සීමා කරන්නට ඔවුන් තීරණය කර තිබේ.

රහස විය හැක්කේ කුමක්ද?

වියට්නාමයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ Steering Committee on the Prevention and Control of Covid-19 හට මේ සාර්ථකත්වයේ සැබෑ ගෞරවය හිමි විය යුතුය.

වියට්නාමය 2003 සාර්ස් වසංගතයෙන් බැට කෑ රටකි. SARS හෙවත් උග්‍ර ශ්වසන තීව්‍රතා සහලක්ෂණයෙන් චීනයේ 349 දෙනෙකු මිය යද්දී වියට්නාමයේ මිය ගියේ 5 දෙනෙකු පමණි. මෙසේ වූයේ හැනෝයි අගනුවර වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබුණු පසුබිමක ය.

අතීතයෙන් පාඩම් උගෙන සිටි වියට්නාමය, කොවිඩ් සතුරා කලාපයේ හිස ඔසවන විට කල්තබාම එයට සූදානම් වූයේය. ඔවුන් රෝගයට මුහුණ දෙන්නට සූදානම් වූයේ පළමු රෝගියා වාර්තා වන්නටත් පෙර සිටම ය.

පළමු කොවිඩ් රෝගීන් දෙදෙනා වියට්නාමයෙන් වාර්තා වන්නේ ජනවාරි 23 වැනිදා ය. ජනවාරි 21 වැනිදා වන විට රෝහල් සහ සායන, කොවිඩ් රෝගය සඳහා අවශ්‍ය පහසුකම්වලින් සන්නද්ධ කර තිබිණි. ඔවුන් National Steering Committee on Epidemic Prevention පිහිටුවන්නේ ජනවාරි 30 වැනිදා ය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අන්තර්ජාතික අවධානයට යොමු විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ( Public Health Emergency of International Concern) ලෙස කොරෝනා ප්‍රකාශයට පත් කරන්නේ ද එදින ය.

රටේ තහවුරු කර ගත් රෝගීන් 6 දෙනෙකු පමණක් සිටියදී වියට්නාම් අගමැති නගුයෙන් ෂුවාන් (Nguyen Xuan Phuc), ජාතික වසංගතයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරයි. ඒ, පෙබරවාරි 01 වැනිදා ය.

පෙබරවාරි 09 වැනිදා වියට්නාම් සෞඛ්‍ය අමාත්‍යාංශ, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රට පුරා පිහිටි රෝහල් 700 ක් සමග ටෙලිකොමියුනිකේෂන් රැස්වීමක් තබා කළ යුතු දේ සාකච්ඡා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වසංගත රෝගයට කොවිඩ්-19 යැයි නිල වශයෙන් නම් තබන්නේ ඊට පසුව එනම් පෙබරවාරි 11 වැනිදා ය.

අනතුරුව රෝගීන් 16 දෙනෙකු පමණක් සිටියදී වියට්නාමය Aggressive preventive action වෙතට යයි.

චීනයෙන් පැමිණෙන සියලු ගුවන් යානා තහනම් කිරීම, ඔවුන් ඒ අතරේ ගත් පළමු ක්‍රියාමාර්ගයන්ගෙන් එකකි. අන්තර්ජාතික ගුවන් ගමන් මාර්තු 25 දා සිට තහනම් කෙරිණි.

වියට්නාම් කොවිඩ් සටනේ දැකගත හැකි තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ බලධාරීන්ගේ ‘අවංක ප්‍රකාශ‘ යි.

17 වැනි රෝගියා පිළිබඳ හෙළිදරව්ව

17 වන රෝගියා හෙවත් ‘patient 17‘ වියට්නාමයෙන් වාර්තා වන අවස්ථාවේදී ඔවුන් හැසිරුණු ආකාරය, වියට්නාමයේ තොරතුරු පාරදෘෂ්‍ය බවට වැදගත් සාක්ෂියකි.

මෙම patient 17 වූයේ, පෙබරවාරි 15 වැනිදා වියට්නාමයේ හැනොයි නුවර සිට එංගලන්තය, ඉතාලිය සහ ප්‍රංශය බලා ගොස්, මාර්තු 2 වැනිදා ආපසු හැනොයි නුවර බලා ආ වියට්නාම් ජාතියෙකි. ඔහු නිසි ලෙස නිරෝධායනයට ලක්වීම ප්‍රතික්ෂේප කර තිබූ අතර, මාර්තු 6 වැනිදා රෝහල් ගත වෙයි. දින 2කට පසු, මාර්තු 8 වැනිදා නියෝජ්‍ය අගමැතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා වන වු ඩියු ඩෑම් නිල වශයෙන් මෙසේ ප්‍රකාශයට පත් කරයි.

‘‘වියට්නාමය කොවිඩ්-19ට එරෙහි සටනේ දෙවන අදියරට පැමිණ සිටියි..‘‘

සෞඛ්‍ය තත්වය වාර්තා කිරීමට මොබයිල් ඇප් එකක්

ඒ සමගම පළමු අදියරේ මෙන්ම වසංගත තත්වය නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර, රෝග ව්‍යාප්ත වක්‍රය පැතලි කිරීම සඳහා මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය දැඩි සේ වේගවත් කළේය. ඒ අනුව මාර්තු 10 වැනිදා වියට්නාම් රජය health declaration mobile application NCOVI නමැති මොබයිල් ඇප් එක හඳුන්වා දෙන්නේ සිය සෞඛ්‍ය තත්වයන් පිළිබඳ මහජනතාව හට දැනුම් දීමේ පහසුකම් සපයමිනි.

වියට්නාමය මේ පියවර ගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 11 වැනිදා ගෝලීය වසංගතය නිවේදනය කිරීමට ද පෙර ය.

වසංගතයේ තෙවන අදියරටත්

මේ අතර පොකුරු පිටින් රෝගීන් හමුවීම හෙවත් වසංගතයේ තෙවන අදියරට ද වියට්නාමය ගමන් කළේය. ඒ, හැනෝයි හි බාක් මායි රෝහලෙන් සහ බුද්ධා බාර් ප්‍ර දේශයෙන් රෝගීන් පොකුරු හමුවීමත් සමග ය. ඔවුන්ගේ රෝගයේ ඉතිහාසය ද අපැහැදිලි විය.

මෙවිට මාර්තු 22 දා පටන් වියට්නාමය, සියලු විදේශිකයන්ට සිය රට තහනම් කලාපයක් බවට පත් කළේය. මාර්තු 23 වැනිදා අගමැතිවරයා ප්‍රජාව අතර රෝගය පැතිර යාමේ අවදානම ඉහළ ‘තුන්වැනි අදියර‘ට සිය රට පිවිස ඇතැයි නිල වශයෙන් නිවේදනය කළේය.

මාර්තු 28 දා මාක් මායි රෝහලෙන් ආසාදිතයන් 28 දෙනෙකු වාර්තා විය. මාර්තු 30 දා අගමැතිවරයා ජාතික වසංගතයක් නිවේදනය කළේය. මාර්තු 31 වැනිදා ඔහු නිවේදනය කළේ අප්‍රේල් 1 දා පටන් මුළු රටම ලොක්ඩවුන් තත්වයට පත් කරන බවයි.

අවසානයේ සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලින් කොවිඩ් ආසාදිතයන් දහස් ගණනක් වාර්තා වන විට වියට්නාමය සුරක්ෂිත රටක් බවට පත්ව සිටියේය.

මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙන්නේ කොවිඩ්-19 වසංගතය අතරතුර ගිනිකොණදිග ආසියාවේ හොඳම ආර්ථික වර්ධන වේගයක් ඇති රට බවට වියට්නාමය පත්වනු ඇති බවයි. වසර 2021වන විට වසංගතය ඉණිමගක් කර ගනිමින්, එහි 6.8%ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව Asian Development Outlook වාර්තාව මගින් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි. ආර්ථිකය නැවත ගොඩනංවා ගැනීම සඳහා වියට්නාමය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 10.8 ක ක්‍රෙඩිට් පැකේජයක් හඳුන්වා දී ඇත. බදු සහ ඉඩම් පරිහරණ ගාස්තු අඩු කිරීම සහ ප්‍රමාද කිරීම ද වියට්නාම් රජය විසින් සිදුකර තිබේ. වසංගතයෙන් අවදානමට ලක් වූ සේවකයන් සඳහා එරටදී සහන ලබාදීමට මුල් වී සිටින්නේ ආණ්ඩුවයි.

අඩු වියදමෙන් කොවිඩ් පැරදවූ රටක්

වියට්නාමයේ අසල්වැසියන් වන තායිවානය, දකුණු කොරියාව වැනි රටවල් පරීක්ෂා සඳහා ඩොලර් ලක්ෂ ගණන් වැය කළත් වියට්නාමයට එතරම් වත්කමක් තිබුණේ නැත. එතරම් මුදලක් ඔවුන්ට අවශ්‍ය වූයේ ද නැත. ඔවුන් යොදාගත් ක්‍රමය හැඳින්වෙන්නේ selective but proactive prevention ක්‍රමය යනුවෙනි. එනම් රෝගය බෝ වන ආකාරය සහ ස්ථාන ගැන මනා සිහිබුද්ධියෙන් කටයුතු කර ඒවා මනා ලෙස රැකවල් යෙදීමයි. රෝගය පැතිරෙන කොමියුන තෝරා වරණීය ලෙස මුල පටන් ක්‍රියා කරමින් අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය වේගයෙන් ක්‍රියා කළ නිසාම අප්‍රේල් 22 දා වන පටන් රට ස්ථිර ලෙසම නැවත යථා තත්වයට පත් කිරීමට ඔවුන්ට හැකි විය.

ලෝකයටම කොවිඩ් වසංගතය පැතිරුවේ යැයි ලෝකාපවාදයට පත්ව සිටින චීනය සමග දේශසීමා බෙදාන්නා අපේ ආසියානු අසල්වැසියෙකුගේ දුරදක්නා නුවණ එබඳු ය.

වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය (CPV) මෙසේ කියයි. ‘‘ආණ්ඩුව වසංගතය සමග සටන් වැදුණේ සතුරෙකු සමග සටන් වදින ආකාරයටයි..‘‘

මූලාශ්‍රය –
The Secret to Vietnam’s COVID-19 Response Success



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි