×

කෝවිඩ් වසංගතය මැද ලෝකයේ බිලියනපතීන් ට්‍රිලියනපතීන් බවට පත් වෙලා !

ලොව බිලියනපතීන් කොරෝනා වයිරස වසංගතය සමයේ “ඉතා ම හොඳින් ආදායම් උපයා‘‘ ඇති බවත් ඔවුන් බිලියනපතීන් ට්‍රිලියනපතීන් බවට පත්ව ඇති බවත් වාර්තා වේ.


ලන්ඩන් ගාඩියන් පුවත්පත ඒ බව වාර්තා කරන්නේ “did extremely well” යනුවෙනි.

මේ අනුව ඔවුන්ගේ  සුවිශාල ධනස්කන්ධය වසංගතය අතරවාරයේදී වාර්තාගත ට්‍රිලියන 10.2 ක් දක්වා වර්ධනය වී තිබේ.

UBS ස්විස් බැංකුවේ වාර්තාවකට අනුව, අර්බුදයේ උච්චතම කාලය වන අප්‍රේල් සිට ජූලි යන කාලවකවානුව තුළ ඔවුන් ගේ ධනය 27.5%කින් ඉහළ ගොස් තිබේ. ඒ ලොව පුරා මිලියන ගණනක් ජනතාව රැකියා අහිමි ව රජයේ සහන පතමින් සිටි කාලය යි.

බිලියනපතීන් වැඩි වශයෙන් ම ලාභ ලබා ඇත්තේ ලොව පුරා ලොක්ඩවුන් තත්ත්ව පැවැති මාර්තු සහ අප්‍රේල් කාල වකවානුවල ගෝලීය කොටස් වෙළඳපොළ ප්‍රතිසාධනය කර ගැනීමට ඔට්ටු තැබීමේදී බව මෙම වාර්තාව පෙන්වා දෙයි. බිලියනපතීන් ගේ ධනය 2017 අග භාගයේ පැවැති ට්‍රිලියන 8.9ක අගය ද පසු කර නවතම ඉහළ අගයකට පිවිස ඇතැයි UBS ස්විස් බැංකුව කියා සිටියි. ලෝකයේ බිලියනපතීන් සංඛ්‍යාව ද 2017 දී පැවැති 2,158 ගණනින් 2,189 දක්වා ඉහළ ගොස් තිබේ.

ලොව ධනවත් ම පුද්ගලයන් සමග කෙලින් ම කටයුතු කරන UBSහි ලෝක පවුල් කාර්යාලීය දෙපාර්තමේන්තුවේ මුල් පුටුව දරන ජෝසෆ් ස්ටැඩ්ලර් කියා සිටින පරිදි, “කොවිඩ් අර්බුදය සමයේ බිලියනපතින් ඉතා ම හොඳින් ආදායම් ඉපයුවා.”

බිලියනපතීන්ට මෙසේ ට්‍රිලියනපතීන් කොවිඩ් අර්බුදයෙන් ලාභ ලබන්නට හැකිවූයේ ලොව පුරා කොටස් වෙළඳපොළ කඩා වැටෙන විට ඒ කොටස් මිල දී ගන්නට ඔවුන්ට හැකියාව තිබූ නිසා බව ස්ටැඩ්ලර් තවදුරටත් පවසයි. මේ වන විට ලෝක වෙළඳපොළ අහිමිවීම් පියවා ගනිමින් නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. බිලියනපතියන්ට අයත් තාක්ෂණය සම්බන්ධ සමාගම්වල කොටස් මිල ඉතා ඉහළ මට්ටමකට පත්ව ඇතැයි ද සඳහන් ය.

ස්ටැඩ්ලර් පවසන අන්දමට බිලියනපතියන්ට “විශේෂිත අවදානම් අභිරුචියක්” (significant risk appetite) ඇති අතර විශාල මුදල් සම්භාරයක් ඔට්ටු තබන්නට තරම් ආත්ම විශ්වාසයෙන් සිට ඇත.

අධිකතර වේතන සම්බන්ධයෙන් වන චින්තන තටාකයක් වන High Pay Centreහි විධායක අධ්‍යක්ෂ ලූක් හිල්‍ යාඩ් කියා සිටින්නේ, ධනය එක් කණ්ඩායමක් වෙත කේන්ද්‍රගත වීම සදාචාරාත්මක දෘෂ්ටිකෝණයකින් පිළිගත නොහැකි වනවා සේ ම, එය ආර්ථික සහ සමාජයීය වශයෙන් ද විනාශකාරී බව යි.

“ජීවිත කාල කීපයක් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන්නට ප්‍රමාණවත් ධනස්කන්ධයකට බිලියනපතියකු ගේ ධනය සමාන වනවා,” හිල් යාඩ් කියයි.

“මෙතරම් ධනයක් එක්රැස් කරන ඕනෑ ම කෙනකුට තම සේවකයන් ගේ වේතන ඉහළ දමන්නට හෝ, බදු ගෙවීමෙන් මහජන සුබසාධනයට කටයුතු කරන්නට හෝ හැකියාව තිබෙනවා.”

“UBS වාර්තාවට අනුව අති ධනපතියන් තව තවත් ධනවත් වීම, ධනවාදය එයින් බලාපොරොත්තු වන අන්දමට ක්‍රියා නොකරන බවට සාධකයක්”

ලොව මිලියන සිය ගණනක් ජනතාව බලවත් පරිශ්‍රමයක යෙදී සිටින අවස්ථාවක ධනය සුළුතරයක් අත කේන්ද්‍රගත වීම, මහජන සහ දේශපාලනික කෝපයට තුඩු දෙනු ඇතැයි ස්ටැඩ්ලර් පවසයි.

අති ධනපතියන්ට එරෙහිව ගෝලීය නැගී සිටීමක් පිළිබඳ ස්‍ටැඩ්ලර් අනතුරු ඇඟවූ කාලවකවානුවේ සිට වසර තුනක් ඇතුළත බිලියනපතියන් ගේ ධනය 70%කින් ඉහළ ගොස් තිබේ.

“අප සිටින්නේ නැවත ආවර්ජනය කළ යුතු කාලයකයි,” ඔහු පවසයි.

‘‘මෙවැනිම තත්වයක් 1905 වසරේදීත් ලෝකයේ ඇති වී තිබෙනවා…‘‘

‘‘මෙහි ප්‍රශ්නය පොළියට පොළිය එක්වීමෙන් ධනය තව තවත් එක් රැස් වීමයි.”

Super-rich හෙවත් අති සුපිරි ධනපතියන් විසින් මේ වන විට ලෝකයේ ඇති ධනයෙන් වැඩිම සාන්ද්‍රණයක් අත්පත් කරගෙන සිටිති. 20 වන සියවසේදී ලෝකයේ ධනස්කන්ධයෙන් වැඩි කොටස කානගී, රොකෆෙලර් සහ වැන්ඩර්බිල්ට් යන පවුල් අත පැවතියේ කෙසේ ද, මේ වන විට ඒ උරුමය පවතින්නේ ප්‍රකට කෝටිපතියන් කිහිප දෙනෙකු අත ය.

වසංගතයත් සමග කොටස් මිල ඉහළ යාම නිසා ජෙෆ් බෙසොස් තවත් ධනවත් වෙලා !

UBS වාර්තාව මගින් එම අති-සුපිරි කෝටිපතියන්ගේ ලැයිස්තුවක් එළිදක්වා නැත. නමුත් ඉතාම පැහැදිලි කාරණයක් වන්නේ මේ ලෝකයේ සිටින අංක 1 කෝටිපතියා වන්නේ ඇමසන් හිමිකරු ජෙෆ් බෙසොස් (Jeff Bezos) බවයි. ඔහුගේ ධනස්කන්ධය ඇ.ඩො. බිලියන 189 කි. බ්ලූම්බර්ග් කෝටිපතීන්ගේ දර්ශකයට අනුව ඔහුගේ ධනස්කන්ධය මේ වසර තුළදී පමණක් ඩොලර් බිලියන 74 කින් වැඩි වී තිබේ. එයට හේතු වී තිබෙන්නේ මුළු ලෝකයම ඔන්ලයින් වෙළඳපොළ වෙත කෝවිඩ් වසංගතයත් සමග යොමු වෙද්දී ඇමසන් සමාගමේ කොටස් මිල ඉහළ යාමයි.

ජෙෆ් බෙසොස්

ටෙස්ලා සමාගමේ අධිපති එලන් මස්ක් ද සිය ධනස්කන්ධයෙන් වැඩිම කොටසක් උපයා තිබෙන්නේ මේ වසරේදී ය. ඒ අනුව ඔහුගේ ධනස්කන්ධය ඩො.බිලියන 76 සිට ඩො. බිලියන 103 දක්වා මේ වන විට වැඩි වී තිබේ.

ඇතැම් ධනපතීන් දානපතීන් බවට

මේ අතර, ඇතැම් ධනපතියන් විසින් සිය ධනස්කන්ධයෙන් කොටසක් නොපමාව කෝවිඩ්-19 වසංගතය මර්දනය කිරීම සඳහා පරිත්‍යාග කර ඇති බවත් UBS වැඩිදුරටත් හෙළි කර සිටියි.

‘‘අපේ පර්යේෂණය හෙළි කරන ආකාරයට බිලියනපතීන් 209 දෙනෙක් ප්‍රසිද්ධියේම මාස තුනක් ඇතුළත (2020 මාර්තු සිට 2020 ජූනි දක්වා කාලයේදී) ඇ.ඩොලර් බිලියන 7.2 ක් වසංගතය සහ එයින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා පරිත්‍යාග කර තිබෙනවා.‘‘ යැයි එම වාර්තාව සඳහන් කරයි. ‘‘ඔවුන් නොපමාව ක්‍රියාත්මක වී තිබෙනවා..‘‘

එක්සත් රාජධානියේ ධනපතීන් මෙම පරිත්‍යාගයන් සඳහා දායක වී ඇත්තේ වෙනත් රටවලට සාපේක්ෂව අඩුවෙන් බව ද UBS නිරීක්ෂණය කරයි. ඇමරිකා එක්සත් ජනපදයේදී ධනපතීන් විසින් පරිත්‍යාග කළ මුදල ඩො. බිලියන 4.5 ක් වන අතර, චීනයේදී බිලියනපතීන් 12 දෙනෙක් විසින් ඩො. මිලියන 679 ක් පරිත්‍යාග කර තිබේ. ඔස්ට්‍රේලියානු බිලියනපතීන් අතරින් මේ සඳහා දායක වී ඇත්තේ දෙදෙනෙක් පමණි. නමුත් ඔවුන් විසින් ඩොලර් බිලියන 324 ක් පරිත්‍යාග කර තිබේ. මේ අතර එක්සත් රාජධානියේ බිලියනපතීන් 9 දෙනෙකු විසින් පරිත්‍යාග කර තිබෙන්නේ ඩො. මිලියන 298 ක් පමණි.

මුල් ලිපිය කියවන්න..

Billionaires’ wealth rises to $10.2 trillion amid Covid crisis



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි