×

ගඳ සුවඳ නොදැනීම සහ රසය නොදැනීම කොරෝනා වසංගතයේ අලුත්ම රෝග ලක්ෂණයි!

රෝගීන්ගෙන් 2/3 ක් මේ තත්වයට ගොදුරු වන බව සොයාගෙන තිබේ.


හුස්ම ගැනීමේ අපහසුතාවය, හිසේ කැක්කුම, සෙම්ප්‍රතිශ්‍යා ගතිය යනාදී කොරෝනා රෝගයේ අප දන්නා රෝග ලක්ෂණ ලැයිස්තුවට දැන් අලුත්ම රෝග ලක්ෂණ 2 ක් ද එකතු වී තිබේ. ඒ, ගඳ සුවඳ නොදැනීම සහ රසය නොදැනී යාමේ තත්වයයි.

මේ බව අවධාරණය කරන්නේ ලන්ඩනයේ කිංස් කොලෙජ් හි පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි.

කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත හාර ලක්ෂයක් දෙනා (400,000) යොදාගෙන සිදුකළ පර්යේෂණයක් වන නිසාම, මේ සොයාගැනීම අපට ලෙහෙසියෙන් බැහැර කළ නොහැක.

ඔවුන්ට අනුව මෙම තත්වයට ගොදුරු වන අයගෙන් 20%කට ආසන්න ප්‍රමාණයකට මෙම ගඳ සුවඳ නොදැනීම සහ රසය නොදැනීම යන තත්වයන් අත්දැකීමට සිදු වේ.

මේ සඳහා පර්යේෂකයන් විසින් Covid Symptom Tracker app නමැති යෙදවුමක් (ඇප් එකක්) භාවිතා කළ අතර, එහිදී රෝග ලක්ෂණවල සුබලතාවය ලැයිස්තුගත වූයේ මේ අන්දමිනි.

53% – දැඩි විඩාබර ගතිය සහ මහන්සිය

29% – නොනවතින කැස්ස

28% – කෙටි හුස්ම (දීර්ඝ ලෙස සුපුරුදු පරිදි හුස්ම ගැනීමේ නොහැකියාව)

18% – ගඳ සුවඳ හෝ රසය නොදැනී යාම

10.5% – උණ ගතිය

මෙම නියැදිය සඳහා තෝරාගත්තේ කොවිඩ්-19 වැළඳී ඇතැයි සැක කරන අය හාරලක්ෂයක් බව ඉහත සඳහන් කළෙමු. මේ අතරින් 1,702 ක් දෙනා කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්වූ අතර, එයින් 579 දෙනෙක් කොවිඩ්-19 පොසිටිව් බව, එනම් රෝගයට ගොදුරු වී ඇති බව සොයා ගැනුණි. නියැදියෙන් බහුතරක් වන 1,123 ක් දෙනා පරීක්ෂණයේදී නෙගටිව් බව පළ කළහ. එනම් ඔවුන් රෝග ලක්ෂණ පළ කළත් රෝගයට ගොදුරු වී තිබුණේ නැත.

ඒ අනුව මෙහිදී වඩා වැදගත් වූයේ, රෝගයට ද ගොදුරු වූවන්ගේ රෝග ලක්ෂණ අතරින් ගඳ සුවඳ සහ රසය දැනීම අහිමි වූවන්ගේ තත්වයයි.

එවිට හෙළි වන්නේ කොරෝනා වසංගතයට ගොදුරු වූවන්ගෙන් දළ වශයෙන් 2/3 ක්, එනම් 59%ක් දෙනා ගඳ සුවඳ නොදැනීමේ ලක්ෂණය පෙන්වා ඇති බවයි.

ඒ අනුව මෙය කිසිසේත්ම නොසලකා හැරිය හැකි තත්වයක් නොවේ.

කොවිඩ්-19 ආසාදනයේ රෝග ලක්ෂණ අතරින් මුල් තැනක් මේ අනුව ගඳ සුවඳ නොදැනීමට හිමිවිය යුතුය. සැබවින්ම මේ වන විට වසංගතයෙන් වැඩිපුරම බැට කමින් සිටින එක්සත් රාජධානිය වැනි රටවල් සලකා බලමින් සිටින්නේ මෙයට අදාළව කොවිඩ්-19 මාර්ගෝපදේශන අලුතෙන් නිකුත් කිරීම පිළිබඳව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි