×

ගාසා තීරයේ ගැටුම: තවත් යුද්ධයකට මුල පුරයි ද?

ඝාතනයට ලක්වූ පිරිස අතර පලස්තීන ජාතික දරුවන් 16 දෙනෙකු ද ඇතුලත් ය.


ඉකුත් දින කිහිපය තුළ විදෙස් පුවත් උණුසුම් කළ ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ ගාසා තීරයේ ඊශ්‍රායලය හා පලස්තීනය අතර නැවත වරක් හටගත් යුධමය වාතාවරණයයි.

එක්සත් ජාතීන් දැනටමත් අනතුරු අඟවා ඇත්තේ මෙම බිහිසුණු මිසයිල හුවමාරුව තවත් යුධ තත්ත්වයක් දෙරට තුළ ඇතිකිරීමට හේතුවිය හැකි බවයි.

දහසකට අධික රොකට් මිසයිල දෙපාර්ශවය අතර හුවමාරු වීමක් සිදුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතරම, ගාසා තීරය අසළ මුර කුටි තුනක් මෙමඟින් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත. පලස්තීනයේ ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරීන් ද මින් මරණයට පත්වූ බවට වාර්තා වේ.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම යුධමය වාතාවරණය මත ඉකුත් සඳු දින සිට මේ දක්වා පලස්තීනුවන් 65 දෙනෙකු ද ඊශ්‍රායල ජාතිකයන් සය දෙනෙකු පමණ ද ඝාතනයට ලක්ව තිබේ.

ඝාතනයට ලක්වූ පිරිස අතර පලස්තීන ජාතික දරුවන් 16 දෙනෙකු ද ඇතුලත් ය.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණස්සල්ලට පත්වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කර සිටියේය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා ට කළ දුරකථන ඇමතුමකින් ප්‍රකාශ කර සිටියේ මෙම හමාස් රොකට් ප්‍රහාර හෙළා දකින බවයි. නමුත් ඒ තුළ සිවිල් වැසියන් හට හානි සිදුවීම වළක්වා ගැනීමට ඊශ්‍රායලට වගකීමක් ඇති බවද හෙතෙම සඳහන් කර සිටියේය.

දෙරට අතර පැවති ගැටුම්කාරී වාතාවරණය නැගෙනහිර ජෙරුසලමෙන් පුපුරා යාම ආරම්භ වූයේ ඉකුත් සඳු (10) දින ය. ඒ නැගෙනහිර ජෙරුසලමේ ශුද්ධ වූ භූමියක් අසළ මුස්ලිම් ජාතිකයන් හා යුදෙව් ජාතිකයන් අතර හටගත් ගැටුමක් දුරදිග යාමේ ප්‍රතිඵලක් වශයෙනි.

මෙම ශුද්ධ භූමිය මුස්ලිම් ජාතිකයන් විසින් හඳුන්වනු ලබන්නේ හරාම් අල්-ෂරිෆ් හෙවත් ශුද්ධ වූ අභයභූමිය නමිනි. යුදෙව් ජාතිකයන් විසින් හඳුන්වනු ලබන්නේ ටෙම්පල් මවුන්ට් හෙවත් කන්දේ දේවස්ථානය යනුවෙනි.

ෂෙයික් ජරාහ් නම් අරාබි දිස්ත්‍රික්කය පිහිටා තිබෙන්නේ මෙම ශුද්ධ භූමිය අසළ ය. යුදෙව් ජාතිකයින් ගෙන් පලස්තීනුවන් හට විවිධ කෙනහිලිකම් මෙම කලාපයේ සිදුවන බව පෙන්වා දෙමින් අදාළ ප්‍රදේශයෙන් ඊශ්‍රායල පොලීසිය ඉවත් කර දමන ලෙස පලස්තීන හමාස් සංවිධානය ඉල්ලීමක් කර තිබිණි.

ඊශ්‍රායලය මීට එකඟතාව පළ නොකිරීම ප්‍රචණ්ඩ තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති අතර, අවසාන වී තිබෙන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය ට රොකට් මිසයිල නිකුත් කිරීමෙනි.

පලස්තීනයේ උරණ වීම ඊට පෙර සිටම නැගෙනහිර ජෙරුසලමේ ශුද්ධ භූමිය අසල හටගත් කෝලාහල මත උත්සන්න වී තිබිණි. මෙම තත්ත්වය එළඹෙන රාමසාන් උත්සවය හා සමගාමී ව සිදුවීම ඉතාම කණගාටුදායක තත්ත්වයකි.

පලස්තීනුවන් මෙසේ යුධ ප්‍රකාශ කර සිටීම උත්සන්න වීමට තවත් හේතුවක් වී තිබෙන්නේ එම කලාපයේ ජීවත් වන යුදෙව් පදිංචිකරුවන් විසින් පලස්තීන පවුල් නිවෙස්වලින් නෙරපා හැරීමයි.

එමෙන්ම, 1967 වර්ෂයේ හටගත් මැද පෙරදිග යුද්ධයේදී නැගෙනහිර ජෙරුසලම අල්ලා ගැනීම පිළිබඳව ජෙරුසලම් දිනය නමින් ඊශ්‍රායලය විසින් වාර්ෂිකව සැමරීම ද පලස්තීනුවන්ගේ මෙම උරණ වීම තව තවත් උත්සන්න කිරීමට තුඩු දී තිබිණි.

එමඟින් හුදෙක් ආගමික මත ගැටුමකට සීමා නොවී දේශසීමා අරගලයක් දක්වා මෙම තත්ත්වය ව්‍යාකූල වී තිබේ.

මිශ්‍ර යුදෙව් සහ අරාබි ජනගහනයක් සහිත ඊශ්‍රායලයේ නගරවල හටගත් ප්‍රචණ්ඩකාරී වාතාවරණය තුළ සිය ගණනක් දෙනා අත්අඩංගුවට පත් ව තිබේ.

එමෙන් ම ටෙල් අවිව් අසල ලොඩ් හි හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු ප්‍රකාශ කර සිටියේ සතුරු ප්‍රහාර වලින් තම රටේ පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට රජය උපරිමෙන් කැපවී කටයුතු කරන බවයි.

ඉකුත් සඳු දින ගාසා තීරයේ සිටි හමුදා කඳවුරු විසින් ඊශ්‍රායලට රොකට් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කළේය. ඊට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර දියත් කර තිබිණි.

මෙම සන්නද්ධ අරගලය 2014 වර්ෂයේ සිට සිදුවූ බිහිසුණුම ප්‍රහාර දාමය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ගාසා තීරය අසළ ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින මෙම ගැටුම්කාරී වාතාවරණයේ අවසානයක් දක්නට ලැබෙන බවක් නම් නොපෙනේ..

පලස්තීන හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රහාර වලින් සිය අණදෙන නිලධාරී ඇතුළු සෙබලුන් රැසක් ඝාතනයට ලක්වූ බවත්, සටන අතනොහැර දිගටම රැගෙන යන බවත් ය.

කෙසේවෙතත්, ස්වදේශික පලස්තීනුවන් නැගෙනහිර ජෙරුසලමෙන් නීතිවිරෝධී අන්දමින් නෙරපා දැමීමට යුදෙව් ජාතිකයින් කටයුතු කිරීම සහ එම පවුල් වලට එරෙහිව රැගෙන යන ප්‍රචණ්ඩ ක්‍රියා නතර කර දැමීමට ඊශ්‍රායලය කටයුතු කරන්නේ නම් තම රාජ්‍යය සටන් විරාමයකට සූදානම් බවට හමාස් සංවිධාන මාධ්‍යප්‍රකාශකවරයකු අවධාරණය කළ බවද රුසියානු විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි