×

“ගින්න සමඟ සෙල්ලම් කරන අය පිළිස්සේනු ඇත” ෂී ජින් පින්, ජෝ බයිඩන් වෙත අනතුරු අඟවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණෙ තායිවානය සම්බන්ධයෙන්, එක්සත් ජනපද ප්‍රතිපත්තිය වෙනස් වී නැති බවත්, පවතින තත්ත්වය වෙනස් කිරීමට හෝ තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට ගනු ලබන ඒකපාර්ශ්වික උත්සාහයන්ට එක්සත් ජනපදය දැඩි ලෙස විරුද්ධ බවත්ය.


ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර සීතල යුද්ධයකට අවශ්‍ය පසුබිම මේ වන විට ගොඩ නැගෙමින් ඇති බව දේශපාලක විචාරකයන් අනතුරු අඟවමින් තිබේ. ඊයේ (28)වන දින ජෝ බයිඩන් හා ෂී ජින් පින් අතර පැය දෙකයි මිනිත්තු 17ක දුරකථන සාකච්ජාවක් පැවති අතර මෙය මෙම වසර තුළ ඔවුන් අතර පැවැති පස්වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාව බව චීන මාධ්‍ය අනාවරණය කර තිබේ.

මෙහිදී දෙපාර්ශවය අතර වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමුව පැවැති අතර දේශගුණික විපර්යාස, යුක්රේනයේ යුද්ධය හා ආර්ථික තරඟකාරිත්වය, සෞඛ්‍ය ආරක්‍ෂාව ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳව ද නායකයන් දෙදෙනා සාකච්ඡා කර තිබේ.

නමුත් තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේදී ෂි ජින් පින් ප්‍රකාශ කර ඇත්තේ “ගින්න සමඟ සෙල්ලම් කරන අය පිළිස්සේනු ඇත” යනුවෙනි.

තායිවානය සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරය හා චීනයේ ස්ථාවරය දෙයාකාරය. චීනය විසින් තායිවානය සිය රටේම කොටසක් ලෙස සලකනු ලැබේ. එය ඔවුන්ගේ අභ්‍යන්තර කටයුත්තක් වශයෙන් චීනය අර්ථ දක්වා ඇත. මේ වන විට තායිවානය චීනයේ ජාතික ආරක්ෂක නීතියක් යටතේ පාලනය වෙමින් ඇත. චීනය විසින් තායිවානය සලකන්නේ අවශ්‍ය නම් බලහත්කාරයෙන් නැවත ලබා ගැනීමට හැකි කැඩී බිඳී ගිය රාජ්‍යක් වශයෙනි.
නමුත් තායිවානයේ නායකයන් පවසන්නේ ඔවුන් ස්වෛරී රාජ්‍යක් බවයි. තායිවානය වෙනුවෙන් එක්සත් ජනපදය පෙනී සිටින්නේ මිත්‍ර ගිවිසුමක් සමඟය. අවස්ථා ගණනාවකදී ඇමරිකාව තායිවානය වෙනුවෙන් පෙනී සිටින්නට විය. ඇමරිකාව තායිවානයට ආරක්ෂක අවි සැපයීමට පොරොන්දු වෙමින් තායිවාන් සබඳතා පනත අත්සන් කර ඇත. චීනය විසින් තායිවානයට එරෙහි වීමක් ඇමරිකාව සලකන්නේ තමන්ට එරෙහිව යාමක් වශයෙනි. මෙහිදී කලාපීය වශයෙන් චීනයේ වර්ධනය වීම පාලනය කිරීමක් වශයෙන්ද ඇමරිකාවේ තායිවාන මිත්‍රත්වය විග්‍රහ කෙරේ.

මෙම ගැටුමට දිගු ඉතිහාසයක් තිබේ. 1996 දී තායිවානයේ පැවත්වන ලද ප්‍රථම සෘජු ජනාධිපතිවරණයට එරෙහිව චීනය විසින් මිසයිල අත්හදා බලන විට එවකට ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් එක්සත් ජනපද මිලීටරි බලය චීනයට එරෙහිව ප්‍රදර්ශනය කිරීමට නියෝග දෙනු ලැබීය. ඇමරිකාව විසින් තායිවානය පිළිබඳ තීන්දු තීරණ ගැනීම චීනය දැඩිව ප්‍රතික්ෂප කරන මුත් ඇමරිකාවේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක නිරත වීමට නියමිත බවට පැතිර යන කටකතා වලට පෙර මෙම ගැටලුව සම්බන්ධයෙන් මතභේදයන් ඇවිළී තිබේ. කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණෙ තායිවානය සම්බන්ධයෙන්, එක්සත් ජනපද ප්‍රතිපත්තිය වෙනස් වී නැති බවත්, පවතින තත්ත්වය වෙනස් කිරීමට හෝ තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට ගනු ලබන ඒකපාර්ශ්වික උත්සාහයන්ට එක්සත් ජනපදය දැඩි ලෙස විරුද්ධ බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි