×

ගුවන්තොටුපොළේ කොවිඩ් ඉව කරන සුනඛයෝ – ‘‘සියේට සීයක් සාර්ථක ක්‍රමයක්‘‘ – ෆින්ලන්තය කියයි

ෆින්ලන්තයේ හෙල්සින්කි ගුවන් තොටුපොළේ කොරෝනා වෛරසය ඉව කිරීම සඳහා සුනඛයන් බල ඇණියක් යොදවා ඇති අතර, මෙය 100%කට ආසන්න නිරවද්‍යතාවයකින් යුක්ත බව තහවුරු වී තිබේ.


පර්යේෂකයන් පවසන්නේ සුනඛයන්ට කොරෝනා වෛරසය තත්පර කිහිපයක් ඇතුළත ඉවකළ හැකි බවයි.

ෆින්ලන්ත රජය විසින් අරමුදල් යොදවා සිදුකරන මෙම නියමු ව්‍යාපෘතියේ ආරම්භක පියවර වශයෙන් සුනඛයන් සිව් දෙනෙකුට හෙල්සින්කි ගුවන් තොටුපොළේ පවතින කොරෝනා වෛරසය හඳුනාගැනීමේ කටයුත්ත භාර කරනු ලැබිණි.

එහිදී කොවිඩ් පොසිටිව් තත්වයේ සිටින තැනැත්තන් උන්ට තත්පර කිහිපයක් ඇතුළත හඳුනාගැනීමට හැකි විය.

මෙය වියදම් අඩු – කාර්යක්ෂම ක්‍රමයක් බව නොකිව මනා ය.

හෙල්සින්කි සරසවියේ පර්යේෂිකා ඇනා-බ්ජොක්මන් ට අනුව උපරිම වශයෙන් තත්පර 10 ක් ඇතුළත සුනඛයන්ට වෛරසය ඉව කළ හැකි අතර, විනාඩියක් ඇතුළත එම හඳුනාගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට පුළුවන.

මෙය සැලකෙන්නේ මේ තාක් සොයාගැනුණු හොඳම screening method වශයෙනි.

වෛරසය හමු වූ විට සුනඛයාගේ හැසිරීම

Helsinki Airport coronavirus sniffing dogs

එඩ්, කොසී, මීනා සහ වාලෝ නමැති මේ සුනඛයන් සිව්දෙනා ගුවන්තොටුපොළේ සේවා මුර ක්‍රමයට සේවයේ යෙදී සිටිති. දිනකට සේවා මුර 2 ක් බැගින් ඔවුන් සේවයේ යෙදවීම ආරම්භ වූයේ මෙයට දින 2 කට පෙර බදාදා දිනයේදී ය.

මෙහිදී ෆින්ලන්ත ගුවන් තොටුපොළට ඇතුළු වන අන්තර්ජාතික මගීන් සියලු දෙනාටම ඔවුන්ගේ ගෙළ පිසදමන්නට ඉල්ලා සිටිනු ලැබේ.

ඉන්පසු එම ගෙළ පිසදැමූ වයිප් කඩදාසිය වෙනම බඳුනක දමා නිවැරදිව ලේබල් කර සුනඛයන් ඒ වෙත කැඳවාගෙන එනු ලැබේ.

වෛරසය එහි තිබෙන්නේ නම් සුනඛයා කෑ ගැසීමෙන්, බිම වැතිරීමෙන් හෝ පහුරු ගෑමෙන් එයට ප්‍රතිචාර දක්වනවා ඇත.

මෙවිට ඊළඟ පියවර වන්නේ මගියාව පොලිමරේස් චේන් රියැක්ෂන් polymerase chain reaction හෙවත් PCR පරීක්ෂණයට ලක් කිරීමයි. එහිදී මගියාගේ නාසය පිසදැමූ පුළුන් කැබැල්ලක් යොදාගැනෙයි.

මෙහිදී සොයාගැනුණේ මෙම පුහුණු සුනඛයන් සිව්දෙනා 100% ක නිරවද්‍යතාවයකින් කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි.

රෝග ලක්ෂණ පහළ වීමටත් පෙර..

ඇතැම් පුද්ගලයන් මේ ආකාරයට ආසාදිතයන් බව හඳුනාගැනුණේ ඔවුන්ට රෝග ලක්ෂණ පහළ වීමට දින ගණනාවකට පෙර වීමත් විශේෂත්වයකි.

මෙම සුනඛයන් කණ්ඩායම මීට පෙර ෆින්ලන්ත පර්යේෂකයන් විසින් දියවැඩියාව සහ පිළිකා සහිත රෝගීන් හඳුනාගැනීමට ද පුහුණු කළවුන් වේ. Wise Nose නමැති ෆිනල්න්තයේ සතුන් පුහුණුකිරීමේ විශේෂඥ ආයතනය මේ සඳහා පෙරමුණ ගෙන තිබේ. ඔවුන් විසින් මුල් අදියරේදී සුනඛයන් 16 දෙනෙක් මෙයට පුහුණු කර ඇත.

මීට පෙර ප්‍රංශය විසින් කොවිඩ්-19 සම්බන්ධයෙන් පළ කළ පර්යේෂණ වාර්තාවක දැක්වෙන්නේ කොවිඩ්-19 පොසිටිව් අයගේ දහදියේ විශේෂ ගන්ධයක් අන්තර්ගත වන බවයි. සුනඛයන් මෙම අනාවරණයන් සිදුකරන්නේ ඒ ඇසුරෙන් විය හැකි බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

Detection dogs as a help in the detection of COVID-19 Can the dog alert on COVID-19 positive persons by sniffing axillary sweat samples ? Proof-of-concept study

තවද හෙල්සින්කි ගුවන් තොටුපොළ බලධාරීන් පවසන්නේ PCR පරීක්ෂණවලදී භාවිතා කරනවාටත් වඩා කුඩා අණුවලින් පවා සුනඛයන්ට කොවිඩ් තත්වය හඳුනාගැනීමට හැකියාව තිබෙන බවයි. ඒ සඳහා උන්ට අණු 10-100 අතර ප්‍රමාණයක් පමණක් වුවත් සෑහෙයි.

ගතවූ මාස 4 තුළ පවුම් 300,000 ක වැයක් දරමින් මෙම පර්යේෂණය සිදුකර සුනඛයන් මේ රාජකාරිය සඳහා අනියුක්ත කර තිබේ. මෙය, කොවිඩ් සහ කොවිඩ් පරීක්ෂාවන් සඳහා ලෝකයේ වෙනත් රටවල් විසින් දැනටමත් වැය කර ඇති ඩොලර් බිලියන-මිලියන ගණන්වලට සාපේක්ෂව ඉතාම සුළු මුදලකි.

ඉදිරියේදී ගුවන් තොටුපොළවලට පමණක් නොව, රෝහල්, වැඩිහිටි නිවාස සහ ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු සිදුවන ස්ථානවලට ද මෙවැනි පුහුණු කළ සුනඛයන් යොදාගැනීමට අපේක්ෂිත ය.

කළ යුත්තේ ගුවන් තොටුපොළ වසා දැමීම නොවේ

2020 මාර්තු 22 වැනිදා ශ්‍රී ලංකාව තුළට ගුවන් යානා සහ නෞකා පැමිණීම සම්පූර්ණයෙන්ම නතර කළ අතර, ගුවන් යානාවල පැමිණීම මේ දක්වා දැඩි සේ සීමාකර තිබේ.

ලංකාවේ PCR පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවට ද විශාල චෝදනාවක් පළමු කොවිඩ් රැල්ල අතරවාරයේදී එල්ල විය. නමුත් මේ අඩුවියදම් – අධි කාර්යක්ෂම නව ක්‍රමය මගින් රෝගීන් PCR පරීක්ෂණවලට ලක් කිරීමට පෙර ම ඔවුන් හඳුනාගැනීම සිදුකරන්නේ ඔවුන්ට රෝග ලක්ෂණ පහළ වීමට ද පෙර ය. තවද මෙය රට තුළ ඕනෑම ස්ථානයක අත්හදා බැලිය හැකි ක්‍රමයක් වීමත් අතිශය වැදගත් ය.

සැබවින්ම කොවිඩ් වසංගතය හේතුවෙන් ලංකාව ද ඇතුළුව ලෝකයේ රටවල් කරන්නේ ගුවන් තොටුපොළ වසා දමමින් ජාත්‍යන්තර මගීන් ව අහුරාලීමයි. විශේෂයෙන්ම ලංකාවේ පළමු කොවිඩ් රැල්ල ඇතිවීමට හේතුව විදේශයන්ගේ සිට පැමිණෙන ජාත්‍යන්තර මගීන් (දේශීය හෝ විදේශීය සම්භවයකින් යුක්ත) කටුනායක ගුවන් තොටුපොළ තුළදී නිසි පරිදි ‘ස්ක්‍රීනින්‘ නොකිරීම බවට ද දැඩි චෝදනාවක් පසුගිය දිනවල එල්ල වී තිබිණි.

‘ෆින්ලන්තයෙ එහෙම වුණත් – ලංකාවේ එහෙම වෙන්නෙ නැති‘ තාක් කල් ලංකාවේ සංචාරක කර්මාන්තය පමණක් නොව විදේශයන් හි සිරවී සිටින ලාංකිකයන්ට ද අත්වන්නේ පොතේ පවා නැති ඉරණමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි