×

ගොපලු කොල්ලාගෙන් නොමිදී මොටෝරියක් එනතෙක් සිටීන ස්ත්‍රීන්

හරක් දක්කන ගොපලු කොල්ලන් ගැන අපි අහලා කියවලා තියෙනවා. ඒවගේම ඔවුන් ගැන හදපු චිත්‍රපට, කාටුන් වලින් ඒ පරිසරය ගැන යම් දැනීමක් තියෙනවා. මංකොල්ලකන්නෝ ඉන්න, හිරගෙවල් තියෙන නිතර මරාගන්නා මිනිස්සු ඉන්න කාන්තාරකලාප පරිසරයක් ‘කව් ද බෝයි කාටූන්’ එකේ අපිට පෙන්වනවා. 'බෆලෝ සෝල්ජර්' වගේ බොබ් මාලෙගේ සින්දු හින්දාත් යම්බදු ප්‍රසිද්ධියක් ලැබුණා.


ගෑනු ළමයින්ගේ ආසාව බවට පත්වුණේ හරක් දක්කන ගොපලු කොල්ලා. ඒ වචනවලින් නොකිව්වත් පහුවෙලා ඒ ගොපලු කොල්ලා දියුණුවෙලා අස්සයෙක් පිට නැගලා එන මට්ටම දක්වා පිරිමියාගේ වත්කමට වහල්වීමේ ආසාව විකාශනය වෙනවා. වර්තමානයේ නම් එය කාර් එකක් වගේ වාහනයක් දක්වාම ඇවිත්.

අස්සයා ගෝං ටික් ටික් කියලා අස්සයාගේ පිටේ ගෑනු ළමයාව තියලා පොඩිකාලෙදි දෙමව්පියො ඒ හැගීමට උල්පන්දම් දෙනවාද ? ගොපලු කොල්ලන්ගේ රළු, දඩයක්කාර පෙනුමට, සවි ශක්තිමත් මුහුණට, ශරීරයට ගැහැනු කැමැති වුණා. නමුත් ඒක තමන්ට වාසියක් කරගනිමින් ගොපලු කොල්ලන්වම බලාපොරොත්තුවන ගැහැනු ගත්තා. මේ කියන්නෙ ගොපලු කොල්ලන්ගේ රක්ෂාව ගැන නොවුණත්, ඔවුන්අත්පත් කරගත් පුරුෂබවට.

ප්‍රවීණ සිනමාවේදිනී අනෝමා රාජකරුණා පුවත්පතකට කළ සාකච්ඡාවකදී පවසා තිබුණා, ගෑනු ළමයි තවම ගේ ඇතුළේ ඉදන් අස්සයාගේ පිටේ නැගලා ගොපලු කොල්ලා එනකල් බලා ඉන්නවා කියලා. කර වටා ලේන්සුවක් බැදගෙන තුවක්කුව ලෙලෙවමින් දූවිලි විහිදුවමින් ඇවිත් අසු පිටින් බැහැලා ඇවිත් කලිසම් සාක්කුවට අත දමාගන්නා දඟකාර පුරුෂ රුවක් වෙනුවෙන් ගැහැනු බලා ඉන්නවා. ඒ ෆැන්ටසියෙ වැඩිපුර ඉන්නෙ බාලිකා පාසල්වල ගැහැනු. ආසා කළ දෙය නොලැබුණාම රණ්ඩු පටන්ගන්නෙ එතැනින්. අස්සයෙක් අරන් එන කොල්ලා වාහනයක් ගේනකම් දැන් ගැහැනු පිරිමියාට වද දෙනවා. ඒවගේම පෙම්වතුන් මනාලයන් තෝරාගැනීමේදී මව්පියවරු වාහන තියෙන අයට වැඩි ලකුණක් ලබාදී බෑනාගේ වත්කම ගැන සාඩම්බර ප්‍රීතියක් භුක්ති විඳිනවා.

මිනිස්සුන්ගේ හැසිරීම් හා ඉරියව්වලින් කියවෙන දේ ගැන පොතක් ලියපු කෙනෙක් කියනවා කලිසම් සාක්කු 2ටම අත දමාගෙන ඉන්න පිරිමි රූපය – එනම් කව්බෝයි ක්‍රමය අඟවන්නේ පිරිමිබව, පෞරුෂය පෙන්වීමේ ක්‍රමයක් විදියටලු. එය ඔහු හිතාමතා කරන්නේ නැති වුණත් එයින් මතුවන දෙය ඒක කියලා එහි කියවෙනවා. ඇතැම් පිරිමි ළමයි අත් දෙක එකතු කරලා එතන වසාගෙන වගේ ඉන්න ඉරියව්ව ඒකේ විරුද්ධාර්ථෙ කියවනවාලු. ඒ කිව්වේ පෞරුෂ හීනතාවය. නැතිනම් කවුරු හෝ පුරුෂ ලිංගය කපාදැමුවා වැනි හැගීම. පුතාට – පියා කෙරේ ඇතිවන හැගීම. ඊඩිපස් අදහසට බද්ධයි.

ලෝරා ඉන්ගල්ස් ලියූ, ගංගා නිරෝශිණී පරිවර්තනය කළ, “තැනිතලාවේ පිහිටි කුඩා නිවස” පොතේ මෙවැන්නක් තියෙනවා. එයා පුංචි කාලේ එයාලා රතු ඉන්දියානුවො ඉන්න කැලෑ පෙදෙසක ජීවත්වන කාලේ චාල්ස්ට- ඒ කියන්නේ ලෝරගේ තාත්තාට හමුවෙනවා ගොපලු තරුණයන් පිරිසක්ව. ඔවුන් මූණ වටා දූවිලි ඒම වළක්වන්න රෙදි බැදගෙන හරක් දක්කමින් කාන්තාරේ දුර ඈත දූවිලි විසිරුවනවා ගෙයි ජනෙල්වලින් ලෝරා දකිනවා. ඒ වගේම රෑට ඔවුන් හරකුන්ට නින්දයන්න සින්දු කියනවා ඇයට ඇහෙනවා. හරියට රුසියාවේ තණකොළ කපද්දි – අස්වැන්න ගනිද්දි කවි කියනවා වගේ. ලෝරාත් ‘හයි යිප්’ කිය කිය ලණුවක් අරන් හරක් පන්නන ගොපල්ලෙක් වගේ ගෙයි ඉදන් රඟපානවා. චාල්ස් කියන්නේ ඒ කාලෙට රතු ඉන්දියානුවොත් මහා හරක් දඩයමේ යනවා කියලායි.

මට තේරුණ හැටියට ඔවුන් කැලෑ හරක් හීලෑ කරන් තමන්ට නතු කරගැනීමේ උත්සාහයක යෙදෙනවා. නැතිනම් කෑමට ගන්න දඩයමේ යනවා. ඉතිං චාල්ස් අර ගොපලු තරුණයන්ට උදව් වෙන්න ගියාම ඒකට හිලවු වෙන්න ඔවුන් ඔහුට හරක් මස් සමඟ ඇට පෑදුණු එළනෙකුයි වහුපැටියෙකුයි දෙනවා. කව්බෝයි කාටුන් එකේ වගේ රතු ඉන්දියානු තැනිබිම්වල ගස් කොළන් නැහැ. කාන්තාර වගේ ශුෂ්ක පළාත්. කැළෑ තියෙන්නෙ ගොඩක් දුර. චාල්ස්ලට අස්සයො හිටියා ඔවුන්ගේ ගැල පැදන්යන්න. රතු ඉන්දියානු පෙදෙසට එද්දි ඔවුන්ට හිටියෙ පෝනියෝ. චාල්ස් දඩයමේ ගියේ උන් පිට නැගලා.

ඒ පෙදෙස අතෑරලා මිදි ඔයට පදිංචි වෙන්න ආවාම ඔවුන් පෝනියෝ දීලා හරක් ගන්නවා ගැල පදවන්න. තිරිඟු හාන්න හරකුන්ට බැරි නිසා ආයිමත් අස්සයෝ ගන්නවා. අල්මන්සෝට අස්ස කරත්තයක් තියෙනවා. අන්තිමට ලෝරා ලොකුවෙලා අල්මන්සෝ එක්ක කාර් එකක් ගන්නවා. සතුන් පිට ගිය ඔවුන් වාහන දක්වා පරිණාමනය වෙනවා. ලෝරා නිවසට වී පූර්ණ ගෘහණියක වීමේ තෘප්තිය බුක්ති විදින අතර, අල්මන්සෝ (දඩයක්කාරයා) නිවසට එනතෙක් බලා සිටිනවා.

අස්සයා පිටින් කවුරු හෝ එනතෙක් තමන්ගේ ශක්තිය විශ්වාස නොකරන ඇතැම් ස්ත්‍රීන් තවමත් ගල්ගුහාවේ ඔවුන් එනතෙක් බලා සිටිමින්…..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි