×

ගොවීන් දහස් ගණනක් නවදිල්ලිය වටලාගෙන – නව කෘෂිකර්ම නීති හකුළාගන්නා තෙක් අඛණ්ඩ විරෝධයේ

නව කෘෂිකර්ම නීති තමන් ගේ ජීවිකාව විනාශ කරන්නේ ය යන චෝදනාව මත දස දහස් ගණනින් ගොවියෝ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලි නගරයට එක්රැස් ව සති ගණනක් විරෝධතා පාන්නට සැරැසී සිටිති.


අසබඩ ජනපද වන පන්ජාබයෙන්, හර්‍යානාවෙන් සහ උත්තර් ප්‍රදේශ් සිට පසු ගිය සතියේ සිට ගොවියෝ ට්‍රැක්ටර්වලින් සහ පා ගමනින් නව දිල්ලිය වෙත පැමිණෙමින් සිටියහ. විරෝධතාකරුවෝ පාරවල් හරස් කරමින් තාවකාලික කූඩාරම්වල රැය පහන් කළහ. ඇතැමෙක් පාරේ සහ තමන් ගේ ට්‍රැක්ටර්වල නිදා ගත් අතර, ඇතැම් ආගමික ස්ථානයක් ඔවුනට ආහාරපාන ලබා දුන්නේ ය.

පොලීසිය විරෝධතාකරුවන්ට නගරයට ඇතුළු වීමට ඉඩ නොදුන්නහ. ඔවුන් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කදුළු ගෑස් සහ ජල ප්‍රහාර ගොවීන් වෙත එල්ල කළ අතර, විරෝධතාකරුවෝ ගල්මුල්වලින් පොලීසියට සංග්‍රහ කළේ පොදු දේපලවලට ද හානි කරමින් බව හර්‍යානා හි ජේෂ්ඨ පොලිස් නිලධාරියකු වන මනෝජ් යාදව් කීවේ ය.

© Biplov Bhuyan/Hindustan Times/Shutterstock

මේ ගොවියන් විරෝධය එල්ල කරන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ බලාත්මක කරන ලද නීතීන්වලට එරෙහි ව ය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදිට අනුව මෙය ගොවීන්ට තමන් ගේ ම මිලකට තම නිෂ්පාදන කෙළින් ම පෞද්ගලික ව්‍යාපාරවලට විකිණීමට හැකි වන ස්වාධිකාරයක් ලැබේ.

එහෙත් මෙම පියවර ඉන්දීය ගොවීන් ගේ දැඩි කෝපයට හේතු වී තිබේ. ඉන්දියාවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව එහි මිලියන 480කින් යුතු ශ්‍රම බලකායෙන් අඩකට වඩා සමන්විත වන කෘෂිකර්ම සේවකයන් විශාල ව්‍යාපාරවලින් දැඩි ලෙස සූරා කෑමට ලක්වන්නට මෙය හේතුවනු ඇතැයි ඔවුන් කියති.

ගොවි සංවිධාන 200කට වඩා නියෝජනය කරන All India Kisan Sangharsh Committee හි මාධ්‍ය සම්බන්ධීකාරක වන අශුතෝශ් මිශ්‍රාට අනුව, දස දහස් ගණනින් විරෝධතාකරුවන් නවදිල්ලියේ මායිම් තුන වටා රැස් ව සිටිති – එක් මායිමක සිටින විරෝධතාකරුවන් කිලෝමීටර් 30ක දුරට රැස්වී සිටින බව ද ඔහු පවසයි.

විරෝධතාකරුවන් නගරය තුළට පැමිණීම වළක්වන්නට පොලීසිය මාර්ග බාධක දමා ඇති නමුත්, ඉදිරි දවස් කීපය තුළ තවත් ගොවීන් තමා සමග එකතු වනු ඇතැයි මිශ්‍රා විශ්වාසය පළ කරයි.

© Mayank Makhija/NurPhoto/Getty Images

මෙය මෙසේ වන්නේ නව දිල්ලිය කොවිඩ් 19 රෝගයට අධි අවදානම් කලාපයක් ලෙස සැලැකෙන, මේ වන විටත් මිලියන 9.4ක ආසාදිතයන් සොයා ගෙන ඇති පසුබිමක ය.

“කොවිඩ් සම්බන්ධයෙන් ආරක්ෂාකාරී වන්නට අප උත්සහ දැරුවත් අපට වෙනත් ප්‍රතිකර්මයක් නැහැ – මෙය ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්,” උත්තර් ප්‍රදේශ්හි ගොවි සංවිධානයක සභාපති වන මුකුත් සිං කියයි. ඔහු උත්තර් ප්‍රදේශ්හි විරෝධතා මෙහෙයවන අතර මේ සතියේ අග භාගයේ දිල්ලි විරෝධතාකරුවන් සමග එක්වන බව කියයි.

“මුළු රට ම ලොක්ඩවුන් තත්ත්වයේ සිටියදී රටට ආහාර, කිරි, සහ එළවළු ලබා දුන්නේ අප යි. ඒ වන විටත් අප පොළොව සමග පොර බදමින් සිටියා,” ඔහු කියයි. “කොවිඩ් අතරතුර මේ නීති ගෙනවිත් අප අනතුරේ හෙළන්නේ ආණ්ඩුව යි.”

විරෝධතා කුමක් සඳහා ද?

වසර ගණනක් මුළුල්ලේ, ඉන්දිය රජය ඇතැම් භෝගවලට ඉන්දිය ගොවින් වෙත සහතික මිලක් ලබා දුන් අතර, එය ඉන්පසු භෝග චක්‍රවලට ද ආයෝජන කරන්නට හැකි වන පරිදි දීර්ඝ කාලින් නිශ්චිත බවක් ඔවුන්ට සැපයුවේ ය.

පෙරදී පැවැති නීතිවලට අනුව, ගොවීන්ට ඔවුන් ගේ නිෂ්පාදන, ප්‍රාන්තයේ කෘෂිකර්ම නිෂ්පාදන වෙළදසැල් කමිටුවේ දී වෙන්දේසි කිරීමට හැකියාව තිබූ අතර, මෙමගින් ඔවුන්ට අඩුම වශයෙන් රජයේ සහතික මිල හෝ ලැබේ. වෙන්දේසියේ මිලදී ගත හැක්කේ කාට ද යන්න පිළිබද රීති වූ අතර, අතවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් ද වුවේ ය.

මෝදි ගේ නව නීති මේ කමිටු ක්‍රමය ඉවත ලන්නේ ගොවීන්ට තමා කැමැති මිලකට කැමැති අයකුට තම නිෂ්පාදන විකිණීමට හැකියාව අත්කර දෙමිනි. අනෙක් ප්‍රාන්තවලට විකිණීම, ඍජුව ම මිල දී ගන්නන්ට විකිණීම වැනි දේ කිරීමට ගොවීන්ට මින් හැකියාව ලැබේ.

වැඩිවන වෙළදපොළ තරගය යහපත් දෙයක් ලෙස දකින මෝදි, ගොවීන්ට වැඩි ආදායමක් ලබන්නට ද, ඔවුන්ට නව අයිතිවාසිකම් සහ අවස්ථා ලබා ගන්නට ද එය හේතුවක් වනු ඇතැයි සිතයි.

“ගොවීන්, ඉන්දියාව ගෝලීය වෙළදපොළට විවෘත කරන විශාල සහ පුළුල් වෙළදපොළක වාසිය ලබා ගත යුතු යි” මෝදි පසුගිය සතියේ කියා සිටියේ ය. එය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජකයන් ආකර්ෂණය කරගනු ඇති බව ද ඔහු සිතයි.

එහෙත් මේ නව නීති විශාල සමාගම් තම නිෂ්පාදනවලට ඉතා පහත් මිලක් ලබා දෙන්නට හේතුවනු ඇතැයි ගොවීහු තර්ක කරති. ඉල්ලුම ඇති කළ වැඩි මිලකට භාණ්ඩ විකිණිය හැකි වුවත්, ඉල්ලුමක් නොමැති භාණ්ඩ අතිරික්තයක් තිබෙන විට සහතික මිලටත් පහත මිලකට භාණ්ඩ විකිණීමට සිදුවනු ඇතැයි ඔවුහු කියති.

උත්තර් ප්‍රදේශ්හි ගොවියකු වන සිංට අනුව, සහතික මිල ඉවත් කිරීම ගොවීන් ගේ ජීවිත අපහසු කරනු ඇත.

“ගොවීන් අතර දැඩි කෝපයක් පවතිනවා,” ඔහු කීවේ ය. “අපට සහතික මිලවත් ලැබෙන්නේ නැහැ. ආරක්ෂක උපක්‍රම ඉවත් කර සමාගම්වලට ඊට ඇතුළුවන්නට ඉඩ හැරීමෙන් අප සම්පූර්ණයෙන් ම විකිණී යනවා.”

උද්ඝෝෂකයන් සඳහා කෑම පිසිමින් © Biplov Bhuyan/Hindustan Times/Shutterstock

මෙය මෙතරම් දැඩි දේශපාලනික ප්‍රශ්නයක් වන්නේ ඇයි?

ඉන්දියාවේ බිලියන 1.3ක් වන ජනගහණයෙන් 58%ක ජීවිකාව කෘෂිකර්මාන්තය යි. මෙහි අදහස වන්නේ එරට විශාලතම ඡන්ද දායකයන් කණ්ඩායම ගොවියන් වන බවයි.

වසර ගණනක් මුළුල්ලේ ගොවීන් තම සහතික මිල ඉහළ දමන්නට ඉල්ලා සිටින අතර ඔවුන් එරට විශාලතම ඡන්ද දායකයන් විම ගොවිතැන ප්‍රධාන දේශපාලන ගැටලුවක් බවට පත් කර ඇත.

ගොවීන් දිනා ගනු පිණිස මොදි ගේ භාරතීය ජනතා පක්ෂය එහි 2014 වසරේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියා සිටියේ සියලු බෝග මිල ඒවායේ නිෂ්පාදන මිලට වඩා 50%කට වඩා වැඩි විය යුතු බවයි. 2016 වසරේ දී එරට කෘෂිකර්ම ක්ෂේත්‍රය නගා සිටුවා, 2022 වන විට ගොවීන් ගේ ආදායම දෙගුණ කරන බවට මෝදි පොරොන්දු වූයේ ය.

මෝදි සහ ඔහුගේ රජය ගොවීන්ට සහය දක්වන බව දිගින් දිගටම කියා සිටිති.

“අගමැති මෝදි ගේ නායකත්වය යටතේ ඉන්දිය රජය ගොවීන් ගේ ප්‍රශ්න විසදීමට කැප වී සිටිනවා” යැයි කෘෂිකර්ම සහ ගොවි සුබසාධන ඇමැති නරේන්ද්‍ර සිං තොමර් කියයි.

තොමර් ගොවීන්ට ඔවුන් ගේ විරෝධතා අතැර දමා රජය සමග සාකච්ඡා කරන්නට උනන්දු කරවූවත් අගමැති මෝදි ගොවීන්ගේ ඉල්ලීම්වලට ඉඩ දීමේ කිසිදු සලකුණක් පෙන්වා නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි