×

ගෝලීය කොරෝනා මරණ ගණන 21,000 පනියි – ලෝකයෙන් 1/3 ක් අඩපණයි – ගෝලීය කොරෝනා තත්ව වාර්තාව 2020/03/26

ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද වනවිට 21,000 කඩඉම ඉක්මවා ගොස් තිබේ.


තවද කොරෝනා සම්බන්ධිත තත්වයන් (ලොක්ඩවුන් වීම සහ නිවසේ සිට වැඩකිරීම ඇතුළත්ව) ලෝක ජනගහනයෙන් 1/3කට බලපා ඇති බව ද වාර්තා වේ.

ගෝලීය මරණ සංඛ්‍යාව 21,000 ක්

මේ වන විට ලෝක ජනගහනයෙන් 472,000 ක් දෙනා කොරෝනා වෛරසයෙන් ආසාදිතව ඇති අතර, 21,000 ක් මිය ගොස් තිබේ. මෙය, ජෝන් හොජ්කින්ස් සරසවියේ නිල වාර්තා මගින් හෙළිදරව් වේ.

ඇමරිකාවෙන් ඩොලර් ට්‍රිලියන 2 ක සහන පැකේජයක්

මෙයට අදාළ අනුමැතිය ඇමරිකානු සෙනෙට් සභාව විසින් ඊයේ ලබාදීම සිදුවිය.

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව මේ වන විට 65,000 ඉක්මවා ඇති අතර, මරණ ගණන 930 කි. නිව්යෝක් ජනපදය, ඇමරිකානු කොරෝනා වසංගතයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇත. ගතවූ දින 3 තුළ කොරෝනා රෝගීන් හමුවීම නිව්යෝක් ජනපදය තුළ තුන් ගුණයකින් වැඩි වී තිබීම මෙයට හේතුවයි.

ස්පාඤ්ඤය චීනය පරදවයි.

ස්පාඤ්ඤයෙන් මේ වනවිට චීනය ද පරදවා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබේ. මේ වන විට ස්පාඤ්ඤය දෙවැනි වන්නේ ඉතාලියට පමණි.

ඊයේ දිනයේ ස්පාඤ්ඤයෙන් ලෝකයේ එක් දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වන 700 ක් වාර්තා විය.

ආසියානු සහ ඇමරිකානු කොටස් වෙළඳපොළ කඩා වැටෙයි.

ඩොලර් ට්‍රිලියන 2 ක සහන පැකේජයක් හඳුන්වා දී තිබියදීත් ඇමරිකානු කොටස් වෙළඳපොළ සීඝ්‍රෙයන් කඩා වැටෙමින් තිබේ.

ආසියාවේ නික්කෙයි Nikkei 225 ජපන් කොටස් වෙළඳපොළ කලාපයේ වැඩිම කඩා වැටීම වන 3% වාර්තා කරයි. දකුණු කොරියාවේ කොස්පි Kospi හි කඩාවැටීම 1.1%කි.

ඇමරිකාවේ රැකියා වියුක්තිකයෝ සහන ඉල්ලති

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා වියුක්තිකයන්ට ලබාදෙන සහන සඳහා මිලියන 1 ක් දෙනා අලුතෙන් ලියාපදිංචි වී තිබේ. මාර්තු 21 වැනිදායින් මෙම ලියාපදිංචි කිරීම් අවසන් විය. මෙය, ඉතිහාසයේ වැඩිම ඇමරිකානු රැකියා වියුක්තියයි.

චීනයේ නව කොරෝනා රෝගීන් නැහැ!

චීනයෙන් ඊයේ දිනයේ ද නව කොරෝනා රෝගීන් 0 ක් ලෙස සටහන් විය. කෙසේ නමුත් විදේශවල වාසය කරන චීන ජාතිකයන් 67 දෙනෙකු ඊයේ දිනය තුළ ද කොරෝනා ආසාදිතයන් ලෙස (imported coronavirus cases) වාර්තා විය.

චීනයේ කොරෝනා වෛරස් අපිකේන්ද්‍රය වූ වුහාන් පළාතෙන් ද කිසිදු රෝගියෙකු වාර්තා නොවන තත්වය තවදුරටත් පවතියි.

චීනයෙන් අද වන විට,

තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව – 81,285
මරණ ගණන – 3,287 කි.
සුව වී රෝහලෙන් පිටවූ සංඛ්‍යාව – 74,051

ක් ලෙස සටහන් වේ.

ජපානයේ නව රෝගීන් 98 ක්

ඊයේ දිනය ජපානය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් අලුතෙන් වාර්තා වූ දිනය ලෙස ඉතිහාසයට එක් වේ. එය රෝගීන් 98 දෙනෙකි. මේ අනුව ජපානයේ මුළු කොරෝනා රෝගීන් ගණන 2,003 ක් වන අතර, එයින් 712 දෙනෙකුම ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් පැමිණියවුන් ය. මරණ ගණන 55 කි.

ඉතාලියේ කොරෝනා මරණ ගණන 7,503 ක්

ඉතාලයේ මේ වනවිට දිනපතා කොරෝනා මරණ 700 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබේ. ඊයේ දිනයේ එම අගය 683 ක් විය. මේ අනුව මේ දක්වා වාර්තා වූ ඉතාලි කොරෝනා මරණ සංඛ්‍යාව 7,503 කි.

ගාසා තීරයේ තත්වය අසාධ්‍ය වේවි

ගාසා තීරයේ සැපයුම් සඳහා ඇති කර තිබෙන අවහිරය ඉවත් නොකරන්නේ නම් ඉදිරි දිනවලදී ඛේදවාචකයක් බලාපොරොත්තු විය යුතු බවට අනතුරු අඟවා තිබේ. වෛද්‍යාධාර සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, වසංගත තත්වයකදී ගාසා තීරයේ අතිශය දුර්ලභ දේවල් බවට පත්වීමට විශාල ඉඩක් ඇත.

ඉන්දියාවේ මිනිසුන් කුසගින්නේ මියයාවි

ඊයේ දිනය, ලෝකයේ විශාලතම ලොක්ඩවුන් කිරීම සිදුවූ රට වන ඉන්දියාව, එය අත්විඳි පළමු දිනයයි.

ඉන්දියාවේ කොරෝනා වෛරස් රෝගීන් 606 දෙනෙකු මේ වන විට හමුවී ඇති අතර, බිලියන 1.3 ක ජනතාවක් දින 21 ක් සඳහා ලොක්ඩවුන්වී සිටින්නේ අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නියෝගය පරිදි ය. කෙසේ නමුත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත අවධාරණය කරන්නේ ඉදිරියේදී විශාල ඛේදවාචකයක් මේ නිසා බලාපොරොත්තු විය යුතු බවයි. මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් අවුට්බවුන්ඩ් ටුඩේ තුළින් බලාපොරොත්තු වන්න…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි